Friday, January 3, 2014

2014 ඔබට කොහොමද ?

මේෂ ලග්නය
වසර ආරම්භයම යම්කිසි සුබාසුබ මිශ්‍රව ප්‍රතිඵල ලැබෙන කාලයකි. කරන කියන වැඩ කටයුතු සාර්ථක වීමට නව වසරේදී පුලුවන.

ධනය :
ධන තත්වය යහපත් වේ. ඒ 2014 වසරේ මුල් භාගයේ සිටම වෙයි. කරන කියන කටයුතු පහසුවෙන් කල හැක. එමෙන්ම අමතර ආදායම් ලැබීමට නියමයි. තවද දෙමාපියන්ගෙන් උරුමහරුමකම් ලැබේ. ඒ 2014 මැයි වල සිටය.
රැකි රක්ෂා :
රැකි රක්ෂා කටයුතු යහපත් වේ. නව රැකියා බලාපොරොත්තු වෙන අයට අලුත් රැකියා ලැබේ. මෙම වසරේ ඔබ රැකියාවෙදි හෝ රැකියාවක් බලාපොරොත්තු වන අයත් උත්සහවන්තව වැඩ කල යුතුය. ඔබ මන්දගාමි වීමට යම් ග්‍රහචාරයක් ලග්නයෙන් පෙනේ.
ගෘහ ජිවිතය : 2013 වසර පුරාවටම පැවති යම් යම් බාධක කරදර 2014 මැයි මසින් පසු පහවී යයි. නිවාස ඉදි කිරීමේ කටයුතු කර ගැනීමට පුලුවන. එසේම නව ගෘහ භාණ්ඩ හෝ සැප පහසුවට අවශ්‍ය වන බඩුභාණ්ඩ මිලදී ගත හැක. මව්පස ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. වසර මැද තෙක්ම විවාහ ජීවිතය තුල ඉවසීමෙන් කටයුතු කරන්න. අනියම් කම් සැප ලැබෙන කාලයකි. එයින් ගෘහ ජිවිතයේ සමගියට බාධා ඇතිවීමට පුලුවන.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරග විභාග ආදියෙන් ජුනි ජූලි මාස වලදි එයින් ජය ලැබේ.
සෞඛ්‍ය
වසර පටන් ගන්නේ, ඔබට යම් යම් සෞඛ්‍ය ගැටළු ඇති කරමින්ය. ලේ කෝප වීමේ රෝග සමේ රෝග, කලක් යටගොස් තිබුනු රෝග නැවත මතුවිම සෙම් රෝග, වැළදීමට ඉඩකඩ ඇත. මෙවැනි තත්වද 2014 මධ්‍ය කොටසෙදි පහවී යයි.
ශුභ දවස් : ඉරිදා, බ්‍රහස්පතින්දා


වෘෂභ
මේ වසර ඔබට ඉතාම ශුභයි.

ධනය :
මිල මුදල් ලැබේ, ආදායම් තත්වය යහපත් වේ. පෙර කුසල් ඵල දෙන කාලයකි. යම් කෙනෙක් නිසා ආදායම් වලට බාධා ඇතිවී ඇත්නම් ඒවා මඟහැරී යයි. මුදල් ඉතිරිය සිදුවේ. කලක් අමතකවී සිටි අයෙක්ගෙන් ආදායම් ලැබීමට නියමයි.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු තරමක් සතුරු කරදර නිසා අවුල් වීමට පුලුවන. මෙම තත්වයත් 2014 මධ්‍ය කොටසේ සිට හරියයි. රැකියාවෙදි අනවශ්‍ය වගකීම් තමන් විසින්ම පටවා ගැනීම නොකල යුතුයි. එයින් අනවශ්‍ය කරදර වලට මුහුණ පෑමට සිදුවේ.
ගෘහ ජීවිතය : මේ වසර පසුගිය වසරේ මෙන් තරමක් දුරට නිවී සැනසිල්ලේ වාසය කිරීමට හැකියාව ලැබේ. සාමකාමිව ගතවේ. විසේස වශයෙන් ගත් කල සම ඵල ඇතිවේ.
සෞඛ්‍ය
යටි බඩේ අමාරු, මුත්‍රා අමාරු, ස්නායු වේදනා ඇතිවීමට පුලුවන. කුඩා දරුවන්ගෙ යටි පතුල් වල දද කුෂ්ඨ මතුවීමට පුලුවන.

මිථුන
මෙම වසර ශුභයි.

ධනය : පසුගිය වසරට කලින් වසර එනම් 2012 වසර, යම් යම් ආර්ථික වශයෙන් ඔබව පහලට ඇද දමන තත්වයක් තිබුනි. නව වසර උදා වන්නේ ඔබට ශුභදායක වෙනසක් ඇති කරගෙනය. එමනිසා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කිරීම ධන තත්වය දියුණු කරගැනීමට හේතුවේ. 2014 මැයි මස සිට ඉතාම යහපත්ය.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත් වේ. කරන රැකියාවේ උසස්වීම් ලැබේ. අලුත් නිලතල ලැබේ. රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලැබීමට පුලුවන. ඒ අතර විදේශ රැකියාද ඇත.
ගෘහ ජිවිතය
තරමක් ඉවසීමෙන් ගත කිරිමට පුලුවන. ඔබගේ ඇති පණ්ඩිතකම නිසා හෝ කේන්ති යාම නිසා ගෘහ ජිවිතය තුල ගැටුම් ඇතිවිමට පුලුවන. එය සෑහෙන කලකට පවතී. බුද්ධියෙන් මේ තත්වය සංසිඳවා ගත යුතුය. ඔබට එය කල හැක. දරුවන්ට සැරවැර වී තේරුමක් නැතිව ඔවුන්ට දඬුවම් දීමට සිත් ඇතිවේ. එවැනි පාපක්‍රියා නොකර දරුවන් ඉන්නා අය ඔවුන්ට ආදරේ කරන්න. ඔවුන් වෙනුවෙන් මහා පරිමාණයෙන් දියුණුවට මුදල් දීමට ඔබට පුලුවන. ඒ 2014 මධ්‍ය කොටසේ සිටය.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොපවතී. නිදන් ගත රෝග ඇති අය, රෝග පාලනයකට යොමුවීම යහපති.

කටක
ඔබට 2013 වසර මෙන්ම 2014 මධ්‍ය කොටස තෙක්, ප්‍රතිඵල රහිත වසරකි.

ධනය
තත්කාල ග්‍රහචාරයේ කිසිම සුභ ඵලයක් නොමැත. ආර්ථික වශයෙන් බිංදුවට ඇද දැමීමට පවතින ග්‍රහචාරය ඉවහල්ය. මෙහි සදහන් කරන්නට පුලුවන් කිසිම ශුභ ඵලයක් පෙනෙන්නට නම් නැත.
රැකි රක්ෂා
රැකි රක්ෂා අහිමිවීමට පුලුවන. බොහෝ කටක ලග්න අයගේ රැකියා ස්ථාන වල සතුරු කරදර පවති. යටින් උල්පන්දම් ඇල්ලීම කේලම් කියා රැකියා වලට වින කිරීම, ආයතන ප්‍රධානින් සමග සිත් බිදවීම විය හැකිය. රේගුව පොලිසිය ත්‍රිවිධ හමුදාව එමෙන්ම දේශපාලනඥයන් ඒ අය රැකියාවේ සුරක්ෂිත භාවය පිලිබදව විශේෂ අවදානයෙන් පසුවන්න.
ගෘහ ජිවිතය
ආරවුල් සහිත වේ. වැඩකට නැති යම් යම් කරුණු කාරණා නිසා ගෘහ ජීවිතයේ අනවශ්‍ය ගැටළු මතුවේ. ඉහත කීවාක් මෙන් අඹු දරුවන් හා අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. කටක ලග්නයේ උපන් අය මෙන්ම ඔවුන් හා විවාහ වී සිටින ස්වාමි භාර්යා යන දෙකොට්ඨාශයම ‘මනා ඉවසීමෙන්‘ කටයුතු කල යුතුය.
සෞඛ්‍ය
පපුවේ දැවිල්ල, ගෑස්ට්‍රයිටීස් රෝග, දණිස් අමාරුව වළලු කරේ ආබාධ, කෙණ්ඩ පෙරලීම, නිදන්ගත රෝග ඇති අයගේ රෝග සංකූලතා වැඩිවීම සිදුවිය හැක.

සිංහ
මෙම වසර පසුගිය වසර මෙන්ම සුබ අසුබ මිශ්‍රව ලැබෙන වසරකි.

ධනය : ආර්ථික තත්වය යහපත් වේ. ඒ නැතත් ආර්ථික තත්වයට බාධා වන ආකාරයට කිසිවක් සිදු නොවේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු බාධාවකින් තොරව කරගත හැකිය. තමන්ගේ පවුලට සම්බන්ධ තමන්ගේම සහෝදරයෙක්ගෙන් ආර්ථික වාසි හෝ රැකියාවකට උදව්වක් ලැබේ. නව රැකියා බලාපොරොත්තු වන අයට දැන් දැන් සිටම එම තත්ව හිමිවේ.
ගෘහ ජිවිතය
යහපත් ලෙස ගතවනු ඇත. විශාල වශයෙන් අවුල් ඇති නොවේ. මැයි මසින් පසු අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. එසේම මේ ලග්නයේ අයට අනියම් ආකාරයට කම් සැප විඳීමට හැකි වන කාලයකි. එයින් පරිස්සම් වන්න.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වය, ඇඟ මහත්වීම බ්‍රහස්පති/ගුරුගේ බලපෑම නිසා සිදුවිය හැක. උෂ්ණාධික රෝග, මුත්‍රා රෝග ඇතිවීමට ඉඩකඩ ඇත.

කන්‍යා
ශුභ අසුබ මිශ්‍රව පවති.

ධනය
2013 වසර මෙන්ම මේ වසරද ආර්ථික වශයෙන් මහා පරිමාණ ගැටළු ඇති නොවේ. රැකියාවෙන් උපයා ගන්නා මුදල් ආරක්ෂා වේ. මහ පරිමාණ බිද වැටීමක් සිදු නොවේ. 2014 සිට ඉතාම ඉහල තත්වයට පත්වේ. විවාහ වී ඇති අයට භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ යන පාර්ශව 2න්ම මිල මුදල් උදව් උපකාර ලැබේ. වරදක් නැත.
රැකි රක්ෂා
ආර්ථික තත්වය යහපත් වේ. රැකියාවල උසස් වීම් ලැබේ. තමන්ට ලැබෙන සමාජ සබදතා නිසා එයින් වාසි අත්වේ.
ගෘහ ජිවිතය
ප්‍රීතිමත්ව ගත වනු ඇත. විවාහස්ථානාධිපති බලවත් වන නිසා මැයි මස සිට යහපත් වේ.
සෞඛ්‍ය
ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගැනීම යහපත්ය. තරබාරුවීමට පුලුවන. එය පාලනය කරගන්න.

තුලා
සුබාසුබ මිශ්‍ර පල ලැබෙන වසරකි.

ධනය
ආර්ථික තත්වය යහපත් වේ. ඔබගේ කේන්තිකාර සහ ඉවසීමක් නැති යම් යම් ක්‍රියා නිසා ඔබට ලැබිය යුතු යම් යම් වරප්‍රසාද ඔබ විසින්ම අහිමි කරගනු ඇත. හිත පාලනය කරගැනීම ධන තත්වය දියුණු කරගැනීමට හේතු වේ. අනවශ්‍ය වියදම් වලින් පරිස්සම් වන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත්ය. එයට ඔබගේ කැපවීම සහ ඉවසීම උනන්දුව මේ කාලයේ තිබිය යුතුය. පෙර පින් බලය නිසා යම් යම් අවස්ථාවන් ලැබීමට පුලුවන. විදේශ රැකියාද ලැබීමට නියමයි. අනවශ්‍ය කලබලයෙන් ඈත් වන්න.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතයද ප්‍රිතිමත්ව ගත කිරිමට පුලුවන. එයට ඔබගේ ඉවසීම අවශ්‍යයි. නිවසට අලුත් ගෘහ භාණ්ඩ යම් යම් දේවල් ලැබීමට පුලුවන. විවාහපේක්ෂක අයට වසරේ මුල් කොටසේදී විවාහවීමට හැකියාව ඇත. සිකුරු මහ දසා, බුද මහ දසා, ගුරු මහ දසා ගත කරන අයට එය එසේම වේ.
සෞඛ්‍ය
හිස සම්බන්ධ රෝග, මානසික ආතතිය, මානසික ගැටළු කේන්ති යාම නින්ද නොයාම දෙපා දණහිස් වේදනාව ඇතිවීමට පුලුවන. එමෙන්ම මුල් මාස 3-4 තුලදි අනතුරු වලක්වා ගැනිමට ක්‍රියාකල යුතුයි.

වෘශ්චික
මෙම ලග්නයේ අයට මෙම වසරේදි මුල් කොටස ඉතාම අයහපත්ය.

ධනය
ධන තත්වය ඉතාම පහත් මට්ටටේ පවති. කිසිම දියුණුවක්, ඉතිරියක් නැත. රැකියාවෙන් ලැබෙන වැටුප් තමන්ටත් හොරා වැයවේ. එසේම කිසිම ඉතුරුවක් නැතිව තවත් අයට ණය විමට පුලුවන. එමෙන්ම ගැරන්ට් ආදියට අත්සන් කොට එනම් ඇපයට අත්සන් කොට එම මුදල්ද තමන්ට ගෙවීමට හෝ නඩුහබ වලට පැටලීමට පුලුවන. ආර්ථික තත්වය දියුණු කරනවාට වඩා යම් හෝ හොදක් ඇත්නම් දැනට එය ආරක්ෂා කිරීම වටී.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු ද දැඩි අවුල්කාරි තත්වයක පවතී. රැකියා ආරක්ෂා කරගන්න. වෙළද සමාගම් වල සේවයේ නියුතු අය රැකියා වෙනස් කිරිම මහා පරිමාණයෙන් දුකට වැටිමට හේතුවකි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතයේද ඒ තරම් යහපත් නොවේ. මෙම තත්වය මැයි මසින් පසු යම් තරමක් දුරට යහපත් වේ. ස්වාමි බිරිඳ දෙදෙනා අතර ගැටුම්ද දරුවන් දෙමාපියන් සමග ගැටුම්ද ඇතිවේ. ඒවා අවම කිරිමට වග බලාගන්න.
සෞඛ්‍ය
සෞඛය තත්වය සාමාන්‍යය වේ. හර්නියා, වෘෂණ කෝෂ වල ආබාධ
කාන්තාවන්ට ගර්භාෂගත රෝග, යටි බඩේ රෝග ඇතිවිය හැක. මේවා ඇත්නම් ප්‍රතිකාර කරවා ගන්න.

ධනු
ඔබට වාසනාවන්ත වසරකි 2014.

ධනය
ධන තත්වය යහපත් වේ. අලුත් ආදායම් මාර්ග ලැබේ. වසරේ මුල් භාගයේදිම තමන්ගේ ක්‍රියා කලාප නිසා මුදල් හදල් එන ආදායම් මාර්ග ඇතිවේ. වචනයෙන් පවා මුදල් ලැබේ. නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට සැපයට අවශ්‍ය සියලුම දේවල් වලට මුදල් ආයෝජනය කිරීමට ලැබේ. ස්විප් දිනුම් ඇතිවේ. උත්සහ කරන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු දියුණු වේ. ආයතන ප්‍රධානින් සමග සුහදව වැඩ කිරිමට හැකියාව ඇත. තමන්ට වැඩි වැටුප් සමග නිලතල තාන්න මාන්න ලැබේ. ත්‍රිවිධ හමුදා පොලිසියේ නිලලත් ආයතන වල සේවයේ නියුතු අයට විශේෂ උසස්වීම් ලැබේ. එමෙන්ම දේශපාලනය කරන අයට 2014 සුබයි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතය යහපත් වේ. විවාහ බලාපොරොත්තු ඉෂ්ඨ වේ. විවාහපේක්ෂිත ධනු ලග්න පිරිමි පාර්ශවයට ගැහැණු පාර්ශවයන්ගෙන් දෑවැදි ලැබේ. සුබ කාලයකි.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වයද එතරම් පිරිහීමට ලක් නොවේ. සුළු සුළු අසනීප හැරුනු කොට මහ පරිමාණ සෞඛ්‍ය ගැටළු නොපෙන්වයි.

මකර
සියලුම මකර ලග්න හිමියන්ට සුබ වසරක්ම වෙයි මේ වසර 2014.

ධනය
ධන තත්වය වරින් වර වසර තුලදී උච්චාවචනය වේ. එය ගණන් ගතයුතු දෙයක් නොවේ. තමන්ගේ උත්සාහයෙන් තමන්ට වාසි සලසා ගත හැක. ඉදිකිරීම් කටයුතු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් එමෙන්ම සංචාරක කටයුතු කරන අයට ආර්ථික වාසි ඇතිවේ.

රැකි රක්ෂා
රැකියාවල නියුතු අයට විශේෂයෙන් වගකීම් සහගත අයට මෙම කාලයේදි යම් යම් දුෂ්කරතා මතුවේ. “එමෙන්ම වයසක ආයතන ප්‍රධානින්ගෙන් ලාබාල තරුණ තරුණියන් දෙපක්ෂයටම යම් යම් අතවර හෝ යම් යම් බලපෑම් ඇතිවීමට ඉඩ හැක. එයින් බේරීමට ඔබට බුද්ධිය තිබිය යුතුය“. මෙය විශේෂයෙන්ම අවධාරණය කරමු. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අයට දුෂ්කර ප්‍රදේශ වල සේවයට අනුයුක්ත වීමට සිදුවිය හැක. මෙම තත්වයන් වසර මැදදී වෙනස් විය හැක.
ගෘහ ජිවිතය
සාමාන්‍ය පරිදි ගත වනු ඇත. මකර ලග්නයේ පිරිස් ගෙදරදී කලකිරිමට අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කරගැනීමට ඉඩ ඇත.
සෞඛ්‍ය
උදරාබාධ නිදන්ගත රෝග උත්සන්න වීම්, ශරීරයේ මදුමේහය ඇතිවීමට යම් යම් කරුණු කාරණා ඇතිවීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න. ගැබිණි මාතාවන්, විශේෂයෙන්ම පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම කල යුතු බව දන්වමු.

කුම්භ
මෙම වසර ඔබට සුබ වසරකි.

ධනය
ආර්ථික තත්වය දැනටද මහා පරිමාණයෙන් දුර්වල වී නොමැත. සාමාන්‍ය පරිදි ඇත. වැඩිහිටි ඥාතින්ගෙන් උරුමහරුමකම් ලැබේ. සහෝදරයන්ගෙන් සමාජයෙන් උදව් උපකාර ලැබේ. ආනයන අපනයන වෙළඳ කටයුතු කරන අයට මෙම කාලය යහපත් වේ. ශුභ පලයි. ස්විප් දිනුම්, හදිසි ධන ලාභ ලැබෙන කාලයකි.
රැකි රක්ෂා
කටයුතු යහපත් වේ. නව රැකියා ලැබේ. වෙලද ආයතන වල විදේශ රැකියාවන්හි සහ නාවික, ගුවන් එසේම යම් ක්ෂෙත්‍ර වල සේවයේ නියුතු තවද කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ නියුතු සහ එහි පාලකයන්ට ඉතාම සුභ පලයි. ධනය ලැබේ. ඉතිරි කරගැනීම මෙම ලග්න හිමියන් සතු වගකීමයි. යහපත් යටත් සේවකයන් ලැබේ. තමන්ට හිතවත් එම සේවකයින් තමාට සංවේදි වන්නේ මෙම වසරේ ජුනි වලින් පසුව බව කියමි.
ගෘහ ජිවිතය
යහපත් වේ. අඹු සැමි ප්‍රීතිය ඇතිවේ. ප්‍රීති සම්භාෂණ වලට සහභාගි වීමට හැකි වේ. සමහරවිට පවුලේ අය සමග පිටරට සවාරි යාමට හැකියාව ඇත. එසේම පවුලට අලුත් සාමාජිකයින් ඇතිවේ. දරු සම්පත්ද ඇතිවේ. විවාහ කටයුතු මල් ඵල ගන්වයි. අවිවාහක එසේම, විවාහ කටයුතු නොමැතිව සිටි පසුතැවෙමින් සිටි අයට එම කටයුතු සඵල වේ. ප්‍රබලවම එම කටයුතු සාර්ථක වනු ඇත. නව පෙම් සබදතා ඇතිවිය හැක (තරුණියන්ට නව තරුණයන්ද, තරුණයන්ට නව තරුණියන්ද මුණ ගැසේ).
සෞඛ්‍ය
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කිරීමට උත්සහ කරන්න. සැප වැඩිවීම නිසා මෙම රෝග උත්සන්න වීමට ඉඩ ඇත. ඒ හැරුණු කොට සෞඛ්‍ය ගැටළු මහ පරිමාණයෙන් හට නොගනී.

මීන
මීන ලග්න ඔබට සුබයි.

ධනය
ආර්ථික තත්වය යහපත් වේ. නිකන් ඉදගෙන වාගේ මුදල් හම්බකිරිමට හැකියාව ඇත. බ්‍රෝකර් වැඩ වලින් දුරකථන ඇමතුම් වලින් යම් යම් වෙලද ව්‍යාපාර කටයුතු එනම් සම්බන්ධීකරණ කටයුතු කරන අයට මෙම කාලය වාසිදායකය. එමෙන්ම නව නිවාස වාහන ගැනීමට මුදල් ලැබේ. පොදුවේ ආර්ථික තත්වය යහපත් වේ, හදිසි ධනලාබද ඇතිවේ. මෙම සුබ පල මැයි මසින් පසු සීග්‍රග්‍රාමි වේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතුද දියුණු වේ. නව රැකියා ලැබේ. තානාපති ධූර සම්බන්ධීකරණ ලේකම් ධූර දේශපාලනික ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම ශුභයි. කාන්තාවන් බහුතරයක් සමග එක්වී රැකියා කරන අයට ඔවුන්ගේ උදව් උපකාර ලැබේ. මීන ලග්නයේ අයට උසස් වනිතා පක්ෂයේ උදව් උපකාර ලැබේ.
සියලුම රැකියා කරන අයට ශුභයි.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. වසරේ මුල් මාස 2, විවාහ ජිවිතයෙදී දෙදෙනා අතර ඉවසීම අවශ්‍ය වේ. ඉන්පසු සුභයි. අවිවාහක අයට, මංගල යෝග ලැබේ. ප්‍රේම සම්බන්ධතා සපල වේ. ප්‍රේම සබදතා ස්ථිර වේ. ඊට සම්බන්ධ සියලුම කටයුතු සාර්ථක වේ. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට අවස්ථාව ලැබේ. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉතාම ශුභයි ! නිවසට නවීන ගෘහ භාණ්ඩ සැපයට අවශ්‍ය සියලුම උපකරන ලැබේ. හදිසි ධනලාභ ලැබේ.
සෞඛ්‍ය
ඇගේ ඌෂ්ණාධික රෝග, අර්ශස් රෝග තිබෙන අයට එම සංකූලතා වැඩිවීමට නියමයි. ඇගේ දාහ ගතිය ඇතිවේ. සෙම් රෝග ඇතිවේ. හිසේ බර ගතිය ඇතිවේ. මේවා පාලනය කරගන්න. විවාහ වන අය මැයි මසින් පසු දරුවන් බලාපොරොත්තු වීම මැනවි.

No comments:

Post a Comment