Monday, January 27, 2014

මහානුභාවසම්පන්න “ රත්නමාලා බන්ධන ගාථා “

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන ගාථා සජ්ජායනය සහ ශ්‍රවණය කිරීම තුලින් මහත්වූද විවිධාකාර වූද අර්ථ සිද්ධි ඉටුකරගත හැකි බව පැවසේ.

මෙම රත්නමාලා බන්ධන ගාථා “ ශ්‍රී දළදා දැහැන“ ලෙසද හැඳින්වේ.
සිරි දළදා මන්දිරයේ රන් තඹ පතක නෙළුම් මලක් සිතුවම් කර ඒ මත ප්‍රස්ථාරයක්ව සටහන් කර ඇති මෙම අති බලවත් ගාථා රත්නයන් අප දළදා වහන්සේගේ රැකවරණයට එසේ තබා ඇති බව පැවසේ.
එසේම සේරුවිල චෛත්‍ය රාජයාණන්වහන්සේගේද රන් තඹපත් 3ක ලේඛන ගත කර ඇති බව පැවසේ.
මෙම මහානුභාවසම්පන්න ගාථාව සර්ව ජන වශීයකි. උදේ සවස සජ්ජායනය කිරීමෙන් සියලුම අභිවෘද්ධිය සමෘද්ධිය ඇති වෙන බව කියවේ.

සිංහල තේරුම දළ වශයෙන් මෙසේය.

1. අනන්ත සංසාරය නම් වූ සැඩ පහර විනීතව මැඬ පවත්වා,
සැප සහිත මනාකොට පමුණුවන ලද අති උත්තම වූ, උතුම් ප්‍රඥාව ඇති, ධෛර්ය සම්පන්න ශරීරයක් ඇති උතුම් දම් දෙසන ලොවට නෙළුම් මලක් බඳු අපගේ බුදුපියාණන්වහන්සේට නමස්කාර කරමි.

2. ප්‍රශංසා කල හැකි මගක් ඇති, මෝහය නසන, මාර යුද්ධයේ, විශේෂිත වූ, යුධ ඇඳුමක් වැනි, මනා කොට ආශ්‍රය කරන ලද, ඉෂ්ඨ වස්තු ප්‍රාර්ථනයක් වූ, උතුම් සතුටක් වූ, කෙලෙස් නසන ශ්‍රී සද්ධර්මය සැමදා සැමකල්හිම පණමෙන් වඳිමි.

3. යහපත් සේවකයෙකු මෙන් ගමනක් තිබෙන, නැසිය යුතු අකුසල් නැසූ, කෙලෙස් වලින් දුරුවුනු, සංසාරය දිගටම රඳන බැඳීමෙන් නිදහස් වූ, මනාලෙසම සසරින් එතෙර යන, ශ්‍රේෂ්ඨව වාසය කරන, නිවන් රසයට කැමති ආර්ය සංඝරත්නය දිනපතා පණමෙන් නමස්කාරය කරමි.

++ ජනප්‍රවාදය මෙසේය.

සෙංකඩගල නුවර රජතුමා දිනපතා ශ්‍රී දන්ත ධාතූන්වහන්සේට කල යුතු පුද සත්කාර නිසිලෙස කරමින් සමන් පිච්ච ඇතුළු මල් පහන් සුවඳ දුම් පූජා කරන කෙනෙකි. 
කාලයක සිට උදෑසන බලන විට මලසුන අවුල් වී ඇති බව දකින්නට ලැබී ඇත. මුරට සෙබළුන් සිටියද සොයාගත නොහැකි වුනු නිසා, දිනක් රජුම තිරයකට මුවාවි දළදා මන්දිරය තුළ රැයක් ගත කලේය. මැදියම් රැය ඉක්මවුන පසු හාත්පස ආලෝකයක්ද විහිදුවමින් යම් කෙනකු මලසුන මත දිගාවිය.
නමස්කාර ගාථා කියන්නට මෙන් සැරැසී දිවගින් බැබලෙන ගුළියක් මලසුන මත තැබූ එම පුද්ගලයා දන්ත ධාතුන්වහන්සේට වන්දනාමාන කළේය. 
බැබළෙන එම ගුළිය රජතුමා රැගෙන පසෙක තිරයකට මුවාවී සිටියේය.

ආ පුද්ගලයා සියල්ල අවසානයේ කලබලයට හා විමතියටත් භීතියටත් පත්ව හාත්පස බැලුවද බැබලෙන ගුලිය පේන්නට නැත. ඉන්පසු කෙළවරක තිරයකට මුවාවී උන් රජතුමා දැක අඬා වැලපී තමා ඉතා ඈත හිමාල වනයේ සිට දළදා වන්දනාවට යනෙන බවත් අහසින් යෑමට ඒමට එම බෙහෙත් ගුළිය අවශ්‍යම බවත් තමා සිද්ධ්‍ය විද්‍යාධරයකු හෙවත් ඍෂිවරයෙකු බවත් හෙළි කළේය.

එය අසා එම බැබලෙන බෙහෙත් ගුලිය ඍෂිවරයාට දුන් රජුට රත් නෙළුමක් පුබුදුවා පත්‍රවල ගාථා තුනක් ලියා රජතුමාට ඇසෙන සේ කියා මෙම මාහැඟි අනගිතම ගාථා පිරිවැහීමෙන් රජතුමාටත්, රටවැසි ජනතාවටත් රටටත් රත්නත්‍රයේ සරණත් දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදයත්, නවග්‍රහයන්ගේ ආශීර්වාදයත් ඒකාන්තයෙන්ම ලැබී නිදුක් නිරෝගීව ශත වර්ෂාධික කාලයක් යහතින් සකල විධ අභිමතාර්ථයන් සඵල කරගනිමින් ජීවත් වීමේ වාසනාව භාග්‍ය උදාවන්නේ යැයි පවසා සෘෂිතුමා අහසින් හිමාල වනය බලා ගියේය.

රත්නමාලා බන්ධන ගාථා සෑම කල්හිම සියලු අභිවෘද්ධිය ලගා කිරීමට හේතුවන බව අප අත්දැකීමෙන් දන්නෙමු.
ඒ ඇසුරින් ලබාදෙන රත්නමාලා බන්ධන යන්ත්‍රයද බොහෝ සුභ පල ලබා දෙන්නකි. සියලු දොස් දුරුව සියලු යහපත ඇතිවීමට හේතු වාසනා ඇති කරවයි. 

දිනපතා සජ්ජායනය කර, යහපත් පැවැත්මෙන් හිඳ යහපත උදා කරගන්න.

No comments:

Post a Comment