Friday, February 21, 2020

බෝධි පූජා කරන්නට පන්සලට ගිය විට සාමාන්‍ය ලෙස කරන දෙයකි බෝමළුව ඇමදීම. එය මහත්ඵල මහානිසංස පින්කමක් ලෙස කුඩා කල සිට ඔබ අසා ඇතිවාට සැක නැත. මෙහිදී වැදගත් වන්නේ, ඔබගේ සිත සන්සුන් වීමය. පන්සලක තිබෙන පරිසරය සැනසිලිදායකය. ඒතුල ඔබ විසින් යහපතක් ජිවිතයට එක්කර ගැනීමට ගොස් සිටින විටෙක, බෝමළුව ඇමදීම ඉතා වටිනා කටයුත්තකි.
- බෝමළුව ඇමදීම, බෝධි පූජා කටයුතු වලට පෙර පැයක පමණ කාලයක් ගෙන ඉවසීමෙන් කිරීම ඉතා වැදගත්ය.

●  බෝධියකට බොහෝ අය පැමිණෙති. බොහෝ අය බෝධියට පූජා පවත්වති. එනම් බෝධිය පොදු තැනකි. පොදුවේ භාවිත වන තැනක් පිරිසිදු කිරීම ඉතා වටිනා පින්කමකි. වෙරළ පිරිසිදු කිරීම, බස් ස්ටෑන්ඩ් පිරිසිදු කිරීමද, අවට පරිසරය පිරිසිදු කිරීමද එවන් වැදගත් කටයුතු වේ.
සක්දෙව් රජ පදවිය ලැබූ මාඝ ගැන කතාවෙන් පොදු ජනතාව වෙනුවෙන් සේවා කිරීමේ වටිනාකම අපට පෙන්වා දී ඇත.
ඉතින් හිත සනසාගෙන, බුදුන්වහන්සේට බුද්ධත්වය ලැබෙන්නට උදව් කල බෝධින්වහන්සේ අවට පිරිසිදු කිරීම ඉතා හොද පින්කමකි !

තවද බෝධි පූජාව අවසානයේ, සියලු බෝධින්වහන්සේලා රැක බලාගන්නා “ කළු දේවතා බණ්ඩාර දෙවියන්ට“ පින් අනුමෝදන් කිරීමද වැදගත්ය.

බෝමළුව ඇමදීමේ ආනිසංස මෙසේය.
(අපදාන පාලි 421 වන අපදානය)


01) සමාධිගත සිත් ඇත්තෙකු වේ.
02) නිර්මල පුද්ගලයෙක් වේ.
03) ශෝක නො දැනේ.
04) චිත්ත පීඩා දැවිලි ඇති නොවේ.
05) කුෂ්ඨ රෝග, ගෙඩි රෝග, කැසිලි රෝග නොසෑදේ.
 06) මී මැස්මොර යනාදි ලෙඩ නොසෑදේ.
07) වැලපීම් නැත්තෙක් වේ.
08) තැති නොගන්නා සිතක් ඇති වේ.
09) සෘජු සිත් - පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
10) කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.


#ඉරු