Tuesday, October 9, 2018

හැමෝම බලා ඉන්න “ ගුරු මාරුව “

ග්‍රහ ලොව සුරගුරු එනම් ගුරුවරයා වන ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා සෞභාග්‍යයට අධිපති වෙනවා.  මිනිසුන්ගේ පැවැත්මටද යහපත් තත්වයන් සහ ආර්ථික සමාජීය කරුණු වලට ගුරු ග්‍රහයාගේ බලපෑමක් තිබේ.
ගුරු මාරුව සිදුවන්නේ වසරකට වරකි. තමන්ගේ සතුරු රාශියක් වූ තුලාවෙන් මිදී වෘශ්චිකයට පැමිණීම මෙහිදී සිදු වෙයි.  ඔක්තෝබර් 12 වනදා සිට පුරා වසරක කාලයක් මෙය බල පවත්වයි.
-

( මේ සියලු කරුණු පොදු කරුණු බව සලකන්න - කේන්දරය අනුව මේ තත්වයන් වෙනස් විය හැක)

-
ඒ අනුව ලග්න 12ට පොදුවේ මෙසේය.
-
● මේෂ
ගුරු පැමිණෙන්නේ 8 වැන්නටය.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නට රාහු පැමිණීම තරමක් අසුබය. විශේෂයෙන් ඔබ ඔබගේ සෞඛ්‍ය තත්වය( අස්ථි සහ යටි බඩ ආශ්‍රිත), හදිසි බාධක, හදිසි අනතුරු යනාදිය ගැන අවදානමත් විය යුතුය. වියදම වැඩි වන කාලයකි. යම් ගැටළු වලට සුබදායි ප්‍රතිපල අත්පත් කරගැනීමට ඔබ වෙහෙසෙන කාලයකි. විටෙක කාලය විවේකීව ගත කිරීමටද හැකියාව ඇත. කටයුතු වලදී ඉවසීමෙන් සිතා බලා කටයුතු කල යුතුය.


-
● වෘෂභ
ගුරු පැමිණෙන්නේ 7 වැන්නටය.
විවාහය - හවුල් ව්‍යාපාර ගැන කියවෙන 7 වැන්නට ගුරුගේ පැමිණීම සුබදායක වෙයි. ඒරාෂ්ටකය පැවතියද මෙම මාරුව ඔබට යහපත්ය. මංගල යෝග උදාවන කාලයකි. රැකියා කටයුතු වලටද යහපත්ය. ඉගෙනීමේ කටයුතුද සාර්ථකව කරගන්නට හැකි වන්නේ දැඩි කැපවීමෙන් කටයුතු කිරීමෙනි. ව්‍යාපාර යනාදියටද යහපත් කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.


-
● මිථුන
ගුරු පැමිණෙන්නේ 6 වැන්නටය.
සතුරු ස්ථානය වන 6 වැන්නට ගුරු පැමිණිම සමඵලය. සතුරු බාධක ගැන අවදානමත් විය යුතුය. නෑදෑයන්ගෙන් උපකාර හිමි කරගත හැකි වන්නේ බුද්ධිමත්ව ඒ තත්වය ගැන කටයුතු කලොත්ය. තරමක කම්මැලිකම් ඇතිවන කාලයක් වන අතර, උවමනාවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම තුලින් තමන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යා හැක. දහමට අනුව කටයුතු කල යුතු කාලයකි.

-
● කටක
ගුරු පැමිණෙන්නේ 5 වැන්නටය.
අධ්‍යාපනය සහ පුත්‍රස්ථානය වන 5 වැන්නට පැමිණීම බොහෝ සුබයි. තරමක කලබල වීම්, ආවේගශීලි ගති තිබුනේ නම් දැන් ඒ තත්වයන් පහව යනු ඇත. ගන්නා තීරණ අනුව ජයග්‍රහණ ලබාගැනීමටත්, වාසනාව ඇති කරගැනීමටත් හැකියාව ලැබෙන කාලයකි. වාසනාවන්ත දරු ඵල ලැබෙන්නට හැකියාව පවති. මංගල යෝගද බහුල නිසා යහපත් තත්වයක් ඇති වෙයි. දියුණුව ඕනෑම අංශයකින් අත් කරගැනීමටත් වාසනාව තිබේ.

-
● සිංහ
ගුරු පැමිණෙන්නේ 4 වැන්නටය.
මෙතෙක් කලක් 3 වැන්නේ සිටි කාලයේ ලෙඩක් නොතිබුනත්, ලෙඩක් තිබුනා හා සමාන තත්වයන් තිබුනු කාලයක් ගෙවා අවසන්ය. දේපල ලාභ ලැබෙන කාලයකි. යාන වාහන වාසනාවද පවති. කෙසේ වුවද බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුමය. පෙර කුසලය ඉස්මතු වීමට ඉඩ පෑදෙන කාලයකි. මංගල යෝගද උදා වන නිසා ඒ ගැනද තරමක් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතු වලට යහපත්ය.

-
● කන්‍යා
ගුරු පැමිණෙන්නේ 3 වැන්නටය.
මෙය සාපේක්ෂව සිතු කල තරමක් අයහපත්ය. වෙනදාට වඩා සනීපාරක්සාව ගැන අවදානයෙන් සිටිය යුතු කාලයකි. කරන කටයුතු මනාව සිතා බලා කල යුතු කාලයකි. වෙනදාට වඩා තම පවුල ගැන සැලකිලිමත් විය යුතුමය. ඒ අයට අවශ්‍ය කරන උදව් කල යුතුය. විවාහ කටයුතු වලට යහපත් නිසා ඒ ගැනද සැලකිලිමත්ව කටයුතු කරන්න. පෙර පින මතු කරගැනීමට අවශ්‍ය කටයුතු මේ කාලයේ සිද්ධ කරගැනීම වඩා හොදයි.


-
● තුලා
ගුරු පැමිණෙන්නේ 2 වැන්නටය.
ගුරුගේ සුභ ඵල ලැබෙන්නටත් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්නටත් වාසනාවන්ත කාලයකි. විශේෂයෙන් රැකියා ව්‍යාපාර යනාදිය දියුණු කරගන්නට වඩාත් හොද කාලයකි. වෙනදාට වඩා අන් අයගේ උදව් ලැබෙන මෙන්ම මංගල යෝගද උදා වන කාලයකි. එසේම හදිසි ධනලාභද ලැබෙන යහපත් කාලයකි. බුද්ධියෙන් යුතුව මේ තත්වයන් වඩා යහපත් කරගන්නට කටයුතු කරන්න.

-
● වෘශ්චික
ගුරු පැමිණෙන්නේ 1 වැන්නටය.
ගුරුගේ පැමිණීම තරමක් යහපත් බව කිව හැක. සෙනසුරු ඒරාෂ්ටකයේ අවසාන කාලය ගත කරන ඔබට මේ කාලයේ ඉවසිලිවන්තව කටයුතු කිරීම තුල දියුණුව ලබාගැනීමට හැකියාව ඇත. රැකියා - ව්‍යාපාර යනාදිය සාමකාමිව කරන්නට උත්සහ දැරීම තුලින් ජයක් උදා කරගන්නට හැකියාව ඇත. අන් අය සමග කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. දෝෂ භංග වන කාලයක් නිසා තම දියුණුවට අදාල කටයුතු කරන්නට මෙන්ම සැලසුම් කරන්නටද සුභ කාලයකි.

-
● ධනු
ගුරු පැමිණෙන්නේ 12 වැන්නටය.
ගුරුගේ පැමිණීම 12 වැන්නට තරමක් බාධා තිබෙන කාලයකි. ඒරාෂ්ටකය සහිතව ගත කරන කාලයක් නිසා ගුරුගේ 12 වැන්නට පැමිණීම වියදම් අධික වීමට ඉඩක් ඇත. විශේෂයෙන් ඉදිරිය ගැන සිතා බලා තීරණ ගත යුතු කාලයකි. විශේෂයෙන් කිව යුත්තේ කරන කටයුතු ගැන අවදානමත් වන ලෙසයි. ඉවසීමද වැදගත් වනු ඇත. ආගම දහමට වැඩිය නැඹුරු වන කාලයකි. එනිසාම සැනසීමද ඇතිවන කාලයකි.
-

● මකර
ගුරු පැමිණෙන්නේ 11 වැන්නටය.
තරමක් යහපත් කාලයක් ලෙස ගුරුගේ ගෝචරය සැලකිය හැකිය.
වෙනදාට වඩා අන් අය සමග සුහදශීලිව දියුණුව වෙනුවෙන්ද කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි. ආර්ථික දියුණුවද අත්පත් කරගන්නට වාසනාව ලැබෙන්නට වැඩි ඉඩක් පවති. කලින්ට වඩා බුද්ධිමත් තීරණ ගන්නට හැකියාව ඇති නිසා ඒ කටයුතු සම්බන්ධ ඒවායෙන්ද දියුණුව ලැබෙන්නට හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වයද යහපත් වෙයි.

-
● කුම්භ
ගුරු පැමිණෙන්නේ 10 වැන්නටය.
තරමක් සුභ ඵල ලැබෙන පිහිටිමකි. තමන් කරන කටයුතු ගැන අවබෝධයකින් සහ ඉවසීම සහිතව කටයුතු කල යුතුය. විශේෂයෙන් වේගවත්ව කටයුතු කරන්නට නොයා සන්සුන්ව කටයුතු කිරීම වඩා හොදයි. අධ්‍යාපන කටයුතු වල දියුණුව ලැබෙන කාලයකි. ආගම දහමට අනුව කටයුතුද කරන කාලයකි.
සෞඛ්‍ය ගැටළු විසදෙන කාලයකි - ඒ වෙනුවෙන් කැපවිය යුතුය.

-
● මීන
ගුරු පැමිණෙන්නේ 09 වැන්නටය.
මෙය බොහෝ සුභ ඵල ලැබෙන කාලයකි. වෙනදාට වඩා සංචාරයටත් ඒ කටයුතු වලට ආර්ථික ශක්තියද සැලසෙන්නට වාසනාව තිබෙන කාලයකි. ඔබගේ නම රට - ලෝකය පුරා ප්‍රචලිත වන්නට වාසනාව තිබෙන කාලයකි. වාසනාවන්තව කටයුතු කිරීමට හැකියාව ඇති අතර ඒ වාසනාව තේරුම් ගෙන ධාර්මිකව කටයුතු කල යුතුය. දහමට අනුව කරන කටයුතු වලින්ද සැනසීම ඇතිවන කාලයකි. ඉගෙනීම් වල යෙදෙන අයටද බොහෝ යහපත්ය.
සෞඛ්‍ය තත්වයටද යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

-

#ඉරු
irusewaya@gmail.com


-