Sunday, August 23, 2020

නව ග්‍රහයින්ට අධිපති සිරි විෂ්ණු දිව්‍ය රාජයා 🙏

 

- විශේෂයෙන් සෙනසුරුට සහ කේතුට අධිපති, සදුදා, බදාදා, සෙනසුරාදා දින වලට මූලික ආශිර්වාද දෙන, මතු බුදු බව පතන දෙවි කෙනෙක්ය..

සම්බුදු සසුන, සිරි ලංකාව බලා ගැනීමට සක් දෙව් රජගේ අණින් කටයුතු කරයි..
රටට වින කරන බලවේග, කර්මය අනුව, කල්යල් බලා විනාශ කරන්නට අවැසි කටයුතු වල මූලිකත්වය දරන්නෙ මෙම දෙවියන්ය. දැනට දුෂ්ට බලවේග වලට රිසිසේ තම කර්මය අනුව අකුසල පුරවා ගැනීමට ඉඩ දී බලා හිදී..

#විෂ්ණු #ලංකාව #බුදුදහම #vishnu #srilanka #buddhism

Saturday, August 1, 2020

වැසි සළු පූජාව - 2020


මේ වසර තුළ උතුම් වස්සාන කාලය තව සතියකින් උදාවෙනවා.
සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා.

● වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්.මෙහිදි ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන මෙන් ආරාධනා කිරීම සිරිතයි.

මොකක්ද මේ වැසි සළු පූජාව....?

● වස් වසන භික්ෂූන්වහන්සේලාට ජලස්නාන කරන අවස්ථාවල දී භාවිතා කිරීම සදහා වස්ත්‍රයක් පූජා කිරීම, වැසි සළු පූජාව නමින් හැඳින්වේ. එය ආරම්භ වී ඇත්තේ විසාඛාවගේ ඉල්ලීමක් නිසාය.
'ඉච්ඡාමහo භන්තේ සoඝස්ස යාවජීවo වස්සික සාටිකo දාතුo' ,
ස්වාමිනි,මම දිවි ඇති තාක් භික්ෂූන්ට වැසි සළු පූජා කරන්න කැමැත්තෙමි යයි විසාඛාව විසින් කරන ලද ඉල්ලීම, බුදුරජාණන් වහන්සේ විසින්,
'අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකo' යයි අනුමත කළහ. ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන අවස්ථාවේදි ජල ස්නානය සදහා භාවිතා කළහැකි වස්ත්‍රයක්(නානකඩයක්) වැසි සළුවක් වශයෙන් පූජා කරනු ලබයි.එය පූජා කෙරෙන්නේ බුලත්වලින් සකස්කරන ලද දැහැත් ගොටුවක් සමගය.

● භික්ෂූන් වහන්සේලාට වස් තුන්මාසයක්, චීවර මාසයත් යන මාස හතරක් සදහා වැසි සළුව අධිට්ඨාන කළ හැකිය. එනම්,
'ඉමo වස්සිකසාටික චීවරo වස්සානo චතුමාසo අධිට්ඨාමි' යනුවෙනි.

● ඇසළ මස පුරපසළොස්වක දින පෝය කිරිමෙන් පසුව (මෙවර නම් නිකිණි පුරපසළොස්වක දින), භික්ෂූන් වහන්සේලාට දායකයෝ වැසිසළු පූජාකර වස් ආරාධනා කරති..වස් ආරාධනා කරන අවස්ථාවේ දි සංඝයා ඉදිරියට පැමිණි දායකයෙක් වැසි සළුව අතැතිව,
'ස්වාමින්වහන්ස, මේ වස් කාලයේ අපගේ ආරණ්‍යයේ වස් වසන ලෙස අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. වස් කාලයේදි ඔබ වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමු. අපටත් දාන, සීල, භාවනාදි පින්කම් කරගැනීමට අනුග්‍රහ පිණිසත් මෙහි වස් වසන ලෙස සියලුදෙනා වෙනුවෙන් ආරාධනා කරන්නෙමු' යැයි කියා වැසිසළු භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ඇත.

● ඉතින් ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ මාර්ගඵල නිවන් අවබෝධය උදෙසා වීර්ය වඩන ආරණ්‍යවාසි, ඒකවිහාරිය සහ ග්‍රාමවාසි මහා සංඝරත්නය ඇසුරින් බොහෝ පින් රැස් කර ගැනීමට ඔබටද අවස්ථාව මෙලෙසින් උදා වෙනවා.ඒ නිසා ඔබගේ සාංසාරික දුක් පිපාසාව සංසිදවා ගැනීම වෙනුවෙන්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෝෂණය කර ගැනීම උදෙසාම මේ උතුම් වස් කාලය ප්‍රයෝජනයට ගන්න. එසේනම් අප්‍රමාදිව මේ උත්කෘෂ්ට අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් උතුම් ශීලයක් අඛණ්ඩවම ආරක්ෂා කරගනිමින්, උපරිම අයුරින් සංඝෝපස්ථානයේ නිරතවන්න.

තෙරුවන් සරණයි....!!!

උපුටා ගැනීම - @Hiniduma Sarada හාමුදුරුවන්ගෙනි.