Thursday, July 10, 2014

_ ලග්න 12ට යෙදෙන රාජ යෝග _

● මා සදහන් කරන්නේ රජවීම යනුවෙන් අදහස් කරන්නේ සිංහාසනාරූඪවීමම නොවේ. ආර්ථික සමාජීය වශයෙන් පුද්ගලයෙකු ඉහලට ඒමට එම පුද්ගලයාට උප්පත්ති ග්‍රහචාරය අනුව යම්කිසි ග්‍රහ උත්තේජනයක් අවශ්‍ය බව සනාථ කිරීමටය.
රාජ යෝගය සම්බන්ධව මෙම කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු ඔබටද මනා වැටහීමක් ලැබෙනු ඇත.

● මේෂ ලග්නය

මේෂ ලග්නයට රාජ යෝග නම්, කුජ-ගුරුගේ යෝගයයි. තවද ශනි 7 වැන්නේ බලවත් නම් සස යෝගය යෙදේ. එය අතිමහත් ජනප්‍රසාදය ලබන දේශපාලන රාජ යෝගයකි. එසේම අඟහරු/කුජ 10 වැන්නේ සිටීමෙන් රුචක යෝග බලය උදාවේ. පාලන බලය හිමිවේ.

● වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ රාජ යෝග යෙදෙන්නේ කවුරු කෙසේ කීවත් බුධ සහ සිකුරුගෙනි. අපගේ අත්දැකිම් අනුව බොහෝවිට මේ දෙදෙනාගේ බලය ඇතිවේ. එවිට ව්‍යාපාරික ක්ෂෙත්‍ර වලින් සහ විවිධ රැකියා වලින් ඉදිරියට යනු දක්නට ඇත.

● මිථුන ලග්නය

මේ ලග්නයේ රාජ යෝගය නම් බුධ ග්‍රහයාගේ සහ සිකුරුගේ රාජ යෝගයයි. මේ යෝගය නිසා බුද්ධිමතුන්, දේශකයින්, නළු නිලියන්, විද්‍යාඥයින්, විවිධ උසස් ඉහල පෙලේ වෘත්තිකයන් බිහිවේ.

● කටක ලග්නය

කටක ලග්නයේ රාජ යෝගය නම් කුජගෙන් සහ ගුරුගෙන් සහ සිකුරුගෙන් යෙදේ. රවිත් තරමක් දුරට සුභව බලපායි. කටක ලග්නයේ අය දේශපාලන ක්ෂෙත්‍රයේ ඉහලින් සිටී. අප රට පාලනය කල චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කේන්දරය දිහා බලන විට මේ තත්වය පෙනේ.

● සිංහ ලග්නය

සිංහ ලග්නයට රාජ යෝගය යෙදෙන්නේ තනි අඟහරු/කුජ ගෙනි. මේ ලග්නයට කුජ අනිත් ග්‍රහයන්ගේ එනම් කුජට මිත්‍ර ගුරු, සිකුරු, කේතු ඒ අයගේ බලය ගෙන තමා සන්නද්ධ වී ඉදිරියට පැමිණේ. මේ නිසා පරිවාර සම්පත්තිය, අන් අය පාලනය කිරීමේ හැකියාව, දේශපාලන බලය නිරන්තරයෙන්ම හිමිකර ගනී.

● කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයේ රාජ යෝගය රාහුගෙන් සිකුරුගෙන් බුධගෙන් යෙදේ. කන්‍යා ලග්නයේ අයද බුද්ධිමත්ය. ප්‍රඥාවන්තය. අද රට පාලනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙම ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත. කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ බලවත් වුවහොත් අතිමහත් ජන ප්‍රසාදය ලබන ජනයා ආකර්ෂණය කරන වාග් චාතුර්යය ඇති පුද්ගලයෙක් බවට පත් කරයි. විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාට එය ඇත. එසේම සිකුරු ග්‍රහයා 7 වැන්නේ උච්ච වීම නිසා මාලවී යෝගය යෙදේ. උසස් පෙලේ විවාහයක් සිද්ධ වීම නිසා පුද්ගලයාගේ ජිවිතය බබලයි. එසේම රූමත් කෙනෙක් ලැබේ.
අර අපේ ගමේ ගොඩේ කියනව වගේ සමහරුන්ට ලස්සන කෙල්ලෙක් ලැබෙනවා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබෙනව වගේ නේද... ?

● තුලා ලග්නය

තුලා අයට ශනි ඉතාම බලවත්ය. දුක් විඳලා කම්කටොලු මැදින් ඇවිත් ජීවිතයේ එක්තරා තැනකදි කූට ප්‍රාප්තියට ලගාවේ. මෙම ලග්නයට අඟහරු/කුජගෙන්, චන්ද්‍රයාගෙන් රාජ යෝගය යෙදේ. කුජගෙන් යෙදෙනවා කියල කිව්වම තුලා ලග්නයේ ඉපදුන සරත් ෆොන්සේකා මැතිතුමාගේ කේන්දරයේ 4 වැන්නේ අඟහරු/කුජ බලවත්ය. අඟහරු කියන්නෙ සටන්කාමී සේනාධිපතියා. එතුමන්ගේ අඟහරු බලවත්වීම නිසා වෘත්තිමය ජීවිතයේ ඉහලටම යෑමටත් ලොව ප්‍රබලම ත්‍රස්තවාදි සංවිධානය වූ එල්ටීටීඊ සංවිධානය අතුගා දැමීමටත් මෙ ග්‍රහ බලය හේතු වී ඇත. අද දේශපාලනයට ඇවිත් විවිධ බාධක මැද යම්කිසි විදියකින් තෙවන බලවේගය වෙලා ඉන්නෙත් ඔය නිසා තමයි.

● වෘශ්චික ලග්නය

අත්දැකීමේ හැටියට මේ ලග්නයට චන්ද්‍රයා, රවි, ගුරු, බලවත් ග්‍රහයෝ. මේ නිසා දේශපාලනයෙන්ද ව්‍යාපාරික පැත්තෙන්ද ඉහලට යෑමට පුලුවන්. ස්වභාවයෙන්ම වෘශ්චික ලග්නය කියන්නේ විචක්ෂණශීලි ලග්නයක් ඉගෙන ගන්නා දරුවන්ට ඥාන යෝග පිහිටනවා මේ ලග්නයෙන්. මේ අය දියුණු වෙන්නේ බුද්ධිමත්ව වැඩ කරලා. එසේම ගුරු බලවත් වෘශ්චික ලග්න හිමියන්ට වාසනාවන්ත පින්වත් දරුවන් ලැබෙනව.

● ධනු ලග්නය

ධනු ලග්නයට රාජ යෝගය රවි බුද යෝගයයි. බුද්ධිමතුන්, ලේඛකයින්, ආයතන පාලක ධූර හොබවන අයද විශේෂයෙන්ම තානාපති ධූර හොබවන අයට මේ යෝගය යෙදී තිබෙනව. මේ අයගේ ග්‍රහ බලය වැඩි කරන්න මම කියනව පද්මරාග ගලකුයි, පච්ච ගලකුයි අල්ලල මුද්දක් දාන්න කියල.
ඒවගේම විෂ්ණු දෙවියන්ට භාර විමෙන් ධනු ලග්නයට හොද බවයි මගෙ විශ්වාසය.

● මකර ලග්නය

රාජයෝගය සෙනසුරුගෙන් ගුරුගෙන් රාහුගෙන් යෙදෙනව. බුධගෙන් සිකුරුගෙන් යෙදෙනව. පර්යේෂණාත්මකව බලනකොට විශාල කර්මාන්ත ශාලා හිමිකරුවන් මකර ලග්නයෙන් ඉපදිලා, ඒ අයගෙ කේන්දරයේ සෙනසුරු 10 වැන්නේ උච්ච වෙලා ඉන්නවා, ඉතින් ඒකත් රාජ යෝගයක් තමයි. තවද කේන්දරයක බුධගෙන් සිකුරුගෙන් එහෙම යෙදුනම ඒ අය විවිධ ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල හොද තැන්වල ඉන්නවා.
ගුරු බලවත් උනාම 7 වැන්නෙදි හොද විවාහයක් සිද්ධ වෙලා ඒ අයගෙ ජීවිත බබලනව.

● කුම්භ ලග්නය

කුම්භ ලග්නයට අගහරු/කුජ 10 වැන්නේ සිටියොත් සිකුරු 4 වැන්නේ බලවත් උනොත් මේ අයගෙ ජීවිත නිරන්තරයෙන්ම බබලනව. ලෞකික සැප සම්පත් ලැබෙනව. කුම්භ ලග්නයට ටිකක් තියෙනව කම්මැලිකම සහ පෙරට යන ගතිය අඩුබව. මේ ග්‍රහ බලපෑම නිසා ඇතිවන නිසර්ග තත්වය කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන ඔය මම කිව්ව ග්‍රහ යෝග තියෙන අය ඉන්නව නම් ඒ අය බබලනව.
1969දි මාතරදී ඉපදුනු පුද්ගලයා ලෝක පූජිත වෙලා ඒවගේම ආර්ථික පැත්තෙනුත් මහා විශාල වශයෙනුත් ඉදිරියට ආපු සනත් ජයසූරියගේ කේන්දරය බලනකොට හොදටම තේරෙනවා මේ බලය. එයාට ප්‍රසිද්ධ වෙන්න රාහුත් හොදටම උදව් කරල තියෙනව.

● මීන ලග්නය

මීන ලග්නයේ රාජ යෝගය, ගුරුගෙන් බුධගෙන් ලැබෙනව. ඒත් සිකුරුත් කොච්චර කලත් උදව් කරනව. හැබැයි සිකුරු උච්ච වෙලා හිටියොත් මීන ලග්නයේ පොඩ්ඩක් පරිස්සම් වෙන්නත් ඕන. ගෑණු ළමයෙකුට නම් කොල්ලන්ගෙන් ඕනවට වඩා කරදර. කොල්ලෙකුට නම් කෙල්ලොන්ගෙන් ඕන තරම් කරදර. මේ අනවශ්‍ය දේවල් වලට පැටලුනොත් තමන්ගෙ ජිවිතයට යම්කිසි ප්‍රමාද දෝෂයක් එකතු කරන්න පුලුවන්. ඒත් ඉතින් විශ්වාස කරන්නම පුලුවන් ග්‍රහයා ගුරුනෙ. ඉතින් ගුරු හොදට හිටියොත් ජිවිතේම සැප තමයි. ඒවගේම කුජ-ගුරු රාජ යෝගය 10 වැන්නේ මීන ලග්නයට යෙදුනොත් ප්‍රදේශයක් පාලනය කරන පාලක ධූරයක් එයාට ලැබෙනව. ඒවගේම මීන ලග්නය ස්වභාවයෙන්ම අහිංසක නිසා මිනිසුන්ගේ ආදරය, අනුකම්පාව ලැබෙනව.

_ ඔන්න ඔහොමයි ලග්න 12 තත්වෙ _

ඕක තමයි රාජ යෝග කියල කියන්නෙ රජවීමම නෙමෙයි දරුවො. ඉතින් මේ ගැන තව ගොඩක් කියන්න තිබ්බත් වැඩිපුර ලිව්වම පත්තර වල වගේ අපේ අය කියවන්නෙ නැහැනෙ. ඔයාලගේ කේන්දර වලත් බලන්න මේ තත්ව තියෙනවද කියල. සමහරවිට ඔයාල නොදන්න දේවල් ඔයාලගේ කේන්දර වල ලියවිලා ඇති. ඒ තත්ව බලල අඳුරේ අතපත ගානවට වැඩිය කේන්දරය බලල යම් දෙයක් කරනව නම් ඔයාලගේ ජීවිතයේ යම්කිසි විප්ලවීය වෙනසක් ඇතිකරන්න පුලුවන්. උදාහරණයක් විදියට වතුරෙන් කෙනෙකුට හම්බ කරන්න වාසනාව තියෙනව. එයා ගල් වලක් කරන එක, එහෙම නැත්නම් යකඩ වැඩ කරන එක එයාට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒ ගැන පොඩ්ඩක් බලන්නකො. බලල පොඩ්ඩක් හිතන්න කරන දේ ගැන.

තෙරුවන් සරණයි !

#ඉරු පර්යේෂණ අංශයේ වැඩක් !

No comments:

Post a Comment