Sunday, October 12, 2014

සතියේ ලග්න පලාපලය - ඔක්. 14


●  මේෂ
ඔයාලට සතිය සුබයි.
සතිය පුරාම බොහොම ප්‍රියමනාප ආදායම් තත්වයක් තියෙනව. ඒවගේ තමයි තමන්ගේ උත්සහය අනුව තමන්ට ගොඩාක් සල්ලි හම්බ කරන්න පුලුවන් සතියක් තමයි මේක. දුර බැහැර ගමන් බිමන් නිතර යෙදෙන්නත් පුලුවන්. ඒ වලිනුත් යම්කිසි ආදායමක් හොයාගන්න වාසනාව තියෙනව.
ගෙදර දොරේ ජිවිතය බොහෝම සතුටුදායක කාලයක් තමයි මේක. තමන්ගේ සහෝදරයෙක් එහෙම නැත්නම් බිරිඳගේ සහෝදරයෙක්ගෙන් උදව් උපකාර ලැබෙනවා වගේම ඒ අය එක්ක කිට්ටු සබඳතාවක් ඇති කරගන්න පුලුවන්. දරුවන්ගේ වැඩ කටයුතු නිසා සතුටු වෙන්න පුලුවන් කාලයක් මේක.
සෞඛ්‍ය ගැටළු තියෙනව. ඒ ලේ කෝපවීම ඒවගේම තමයි වාත අමාරු ඔන්න ඔය වගේ දේවල්. පපුවේ සෙමත් ටිකක් තියෙන්න පුලුවන්.

● වෘෂභ
සුභ සතියකි.
ආර්ථික තත්වය මේ සතියෙත් යහපත් කරගන්න පුලුවන්. සතියේ මුල් කොටසෙදි තමන් බලාපොරොත්තු වෙන විදියට ආදායම් දියුණු වෙනව වගේම සතිය පුරාම ඒ ස්ථාවරත්වය තියෙනව. සතිය අගදී සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙනව. ආර්ථික තත්වය ගැන නම් බය වෙන්න දෙයක් නෑ.
ගෙදර දොරේ ජිවිතය, තරමක් කලබලකාරි උනත් ඒ කියන්නෙ වැඩ රාජකාරි අධික නිසා. තමන්ගේ දුවා දරුවන් එක්ක සතුටින් ඉන්න පුලුවන්. ඒවගෙම තමයි නිවසට අලුත් බඩු භාණ්ඩ මිලදී ගන්න පුලුවන්. සෙම් ගෙඩි, ඒවගේම සෙම් අමාරු, උගුරේ අමාරු, හිසේ කැක්කුම ආදියට ප්‍රතිකාර කරගන්න.

●  මිථුන
ඔයාටත් සුභයි.
අලුතින් ආදායම් මාර්ග පහල වෙනව වගේම, තියෙන ආදායම් මාර්ග වැඩි දියුණු කරගෙන ඉදිරියට යාමේ හැකියාව තියෙනව. 2 වැන්නාධිපතියා ලග්නයේ සිට මේ සතිය ආරම්භ වෙන්නෙ. ඒනිසා උත්සාහයෙන් හම්බ කරන්න පුලුවන්.
ඒවගේම තමයි ගෙදර දොරේ කටයුතු වලට යහමින් මුදල් ලැබෙනව වගේම ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනව.
දුවා දරුවන් බොහොම සතුටින් ඉන්න කාලයක් මේක.
සෞඛ තත්වය ගත්තම උදරාබාධ ගැන පරිස්සම් වෙන්න ඕන, ඒවගේම තමයි සෙම අමාරුවත් තියන්න පුලුවන්. මේ දවස් වල වහින වැස්සට තෙමෙන්න එපා.

●  කටක
සමඵල සතියකි.
සතිය මුලදි ආරම්භ කරන දේවල් සාර්ථකයිම කියල කියන්න බෑ. ඒනිසා ඔයා උනන්දු වෙන්න සතිය මැදදි ශුභ කටයුතු කරන්න. සතිය මැදදි ඔයාට ගජකේශරි යෝගය ලග්නයට යෙදෙන නිසා ඔයා ගොඩ තමයි. ඒවගෙම තමයි හදිසිවෙලා එක එක්කෙනාට ඇපයට එහෙම අත්සන් කරලා අනුන්ගේ කරදර තමන්ගෙ කරදර කරගත්තොත් අංගොඩ තමයි.
ගෙදර දොරේ ජිවිතය මෙන්න මේ විදියටම සමාන කරන්න පුලුවන්. සතිය මැදදී ප්‍රීතිමත් උත්සව ඒවගෙම ගමන් බිමන් සතුටින් ඉන්න ලැබෙනවනේ, ඒනිසා ප්‍රශ්නයක් නෑ !
විශේෂ සෞඛ්‍ය ගැටළු නෑ, ඒත් නිදන් ගත රෝග තියෙනව නම් ඒව පාලනයට මහන්සි වෙන්න.

●  සිංහ
මේ සතිය සමඵලයි.
සතිය මුලදි ආදායම් මාර්ග වල පොඩි අඩුවක් සතිය අගදී තියෙන්න පුලුවන්. ඒත් කොහොමත් තමන්ගෙ වියදමට යම් යම් ආකාරයට මුදල් ලැබෙනව. ඒවගේම තමයි දැඩි කැපවීමෙන් යම් යම් විදියට මුදල් හම්බ කරගැනිමේ වාසනාව තියෙනව.
ගෙදර දොරේ ජිවිතයෙදි ගැටළු ප්‍රශ්න එන්නෙ මේ නිසා, මොකක්ද අඟහරුවා/කුජ 4 ඉදලා සෙනසුරුගේ දෘෂ්ඨි වැටෙනව විවාහ ස්ථානයට. ඒනිසා යම් යම් ආකාරයට ගැටළු ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන පරිස්සම් වෙන්න ඕන.
සෞඛ්‍ය තත්වයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. කලබලවීම සහ ආතතිය ඇතිවෙන්න පුලුවන් ඒ ගැන කල්පනාවෙන් ඉන්න.

●  කන්‍යා
ගොඩක් නෙමෙයි ටිකක් හොඳයි.
මහා නරකාදි කල දසාවක්නේ කන්‍යා ලග්න කාරයන්ට මේ ගිහින් තියෙන්නෙ. ඒ කියන්නෙ මේ වෙලාවෙ ඔළුවෙ ග්‍රහචාරය එක්ක පිස්සුමයි කෙලින්නෙ. හැබැයි හොඳින් නරකින් හැමදෙයින්ම සල්ලි හම්බ කරන්න පුලුවන්, ධාර්මික විදියට ඔයා සල්ලි හම්බ කරන්න. පොදුවේ කන්‍යා ලග්න කාරයට මේ කාලයේ එන්නෙ ඕන නැති ජරා සිතිවිලි.
ගෘහ ජිවිතයේ ගැටළු ඇතිවෙනව. ගෙදර විතරක් නෙමෙයි කන්‍යා ලග්න අයගෙ රැකියා කරන තැනත් ගැටළු ඇතිවිය හැකි නිසා, සේවා ස්ථාන වලදි කට පරිස්සම් කරගෙන තමන්ගෙ හොද ගුණය රැකගන්න එක වටිනව. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. තව අවුරුදු 2ක්වත් ඉවසන්න ඕන.
සෞඛ්‍ය ගැටළු වශයෙන්, ස්නායු රෝග ඒවගේම කන්‍යා ලග්නයේ ඔයා කලකට ඉහතදී අංගොඩින් බෙහෙත් එහෙම අරගෙන තියෙනව නම් ආයෙත් යන්න වේවි. ඒනිසා හිත සෑහෙන්න හදාගෙන නුවණින් වැඩ කරන්න. බුද්ධියට මුල් තැන දෙන්න. කෙලියොත් කෙලවෙනවම තමයි. හොදට කල්පනා කරල කියන්නෙ.

●  තුලා
තුලා ලග්න අයට වැලේ වැල් නැති කාලයක් තමයි මේක.
යන්තම් එදාවේල හොයාගෙන, එල්ලිලා දවසේ මැච් එක ගහගන්න පුලුවන්. ඒ උනාට හම්බ කරන සතයක්වත් හිටිනේනෙ නෑ ලග. එදා වේල ටුවර්ස් තමයි තාම. ලොකු ලොකු බිස්නස් කරන අය මේක බලනව නම් වැඩිපුර සල්ලි හම්බ කිරීම ගැන කෙසේ වෙතත් තියෙන පනම් 4 රැකගන්න වැඩපිලිවෙලක් යොදාගන්න. ඒක තමයි කියන්න තියෙන්නෙ.
ගෘහ ජිවිතයත් හොදක් නෑ. නරකක් නැ ඉතින්. ඇල්මැරිල තියෙන්නෙ නිකන් පතෝල වගේ. ඉතින් සෙනසුරු ඔළුවෙන් යන්නම ඕන ඉතින් ගෙදර දොරේ උනත් ප්‍රීතියෙන් ඉන්න.
සෞඛ්‍ය ගැටළු විශේෂයෙන් නැති උනත් ලොකුම ප්‍රශ්නෙ තමයි ඔළුවෙ අප්සෙට් එක, ඇයි තමන්ට මේක උනේ කියල. ගොඩාක් තුලා ලග්න අයට මේ කාලෙ අමාරුයි. සමහර අයට විවිධාකාර මානසික රෝග. ඒව නැති කරගන්න දෙයක් කරගන්න.

●  වෘශ්චික
හොදයි කියල කියන්න පුලුවන්.
සතිය මුලදි වැඩිහිටියන්ගේ ආධාර උපකාර ලැබෙනවා වගේම, තමාගේ පින වැඩි දියුණු වෙනව. මගේ මේ දවස් වල ප්‍රියතම ලග්නය තමයි වෘශ්චිකේ. ඇයි කියන්නෙ ගොඩක් කට්ටිය ගොඩ වෙලා ඉන්නෙ. අනිත් අය අංගොඩ හිටියට. ඒ අයට සෑහෙන කාලෙක ඉදන් හොදයිනේ. ඒනිසා ප්‍රශ්නයක් නෑ ආදායම් තත්ව දියුණු කරගෙන යන්න පුලුවන්.
කසාද බැදලා පවුල් පන්සල් වෙච්ච වෘශ්චික අයට මේ වෙලාවේ පොඩි පණිවිඩයක් දෙනව. ඔයාලගේ තියෙන සුභ ඵල වැඩි දියුණු කරගන්න, මේ කඨින පිංකම් කරන වස් කාලෙදි කඨින පිංකමට ක්‍රියාකාරිව දායක වෙන්න. පුලුවන් හැටියට පුද පූජා කරලා මේ අටමහ කුසලයට දායක වෙන්න. ඔයාට එතකොට තුනුරුවනේ රැකවරණයත් දෙවියන්ගේ ආශිර්වාදයත් නිබඳවම ලැබෙනව. අනේ දෙයියනේ තව 1ක් ඒක එහෙම ඔයාල කරනව නම් කිව්ව අපිටත් ගොඩක් පිනක් සිද්ධ වෙනවනේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැති  උනත් වෘශ්චික පොඩි බබාලා වතුරින් පරිස්සම් කරගන්න. සෙම් අමාරු වලින් පරිස්සම් වෙන්න. කොළඹ පැත්තේ ඉන්න අය මේ දවස් වල වැස්සට තෙමෙන්න එපා. ඒක එච්චර හොද නෑ.

●  ධනු
ඔයාට නම් මේ සතිය හොදයි.
ආදායම් මාර්ග වලට දොර ඇරෙනව. ඒවගේම තමයි නිකන් ඇවිදලා බිස්නස් කරන අයට, මාකටින් කරන අයට කටින්ම තමන්ගෙ මැච් එක ගහන්න පුලුවන්. ඔයා ඒක විශ්වාස කරන්න. හොදින් මහන්සි වෙලා වැඩ කරන්න ආදායම් තත්වය දියුණු වෙනව.
ඒවගේම තමයි ගෙදර දොරේ ජිවිතය බොහොම සතුටින් සමාදානයෙන් ගත වෙනවා. ඒවගේම තමයි ඔය කසාද බදින්න හිතාගෙන ඉන්න අයගෙ ප්‍රේම සබදතා ස්ථිර වෙනව. ඒවගේම යාළු වෙලා ඉන්න කොල්ලොන්ට කෙල්ලන්ට උදලු දාපු වැඩිහිටියෝ කැමැත්ත දෙනව මේ සතියෙදි. ඉතින් සංතෝෂයෙන් ඉන්න  පුලුවන්.
සෞඛ්‍ය ගැටළු නැති උනත් ඔය ලිස්සල වැටිලා අත පය උලුක්කු වෙන්න පුලුවන් පරිස්සම් වෙන්න.
ඇයි දන්නවද අතපය පරිස්සම් කරගන්න කියන්නෙ ? නැත්නම් නැන්දල මාමල බලන්න යන්න වෙන්වෙන බැන්ඩේජ් දාගෙන.

●  මකර
ඔයාට නම් පොඩි අවුලක් තියෙනවා.
සතියේ මුල් දවස් 2-3දි පොඩ්ඩක් සෞඛ්‍ය තත්වය දුර්වල වෙන නිසා ආදායම් තත්වය ටිකක් දුර්වල වෙන්න පුලුවන්. රැකියා කරන අයට නම් ප්‍රශ්නයක් නෑ. නමුත් මුදල් ගනුදෙනු කරන අයට පොලු වැටෙන්න පුලුවන් පරිස්සම් වෙන්න. කවුරුහරි සුපිරිම පොල්ලක් තියන්න පුලුවනි සතිය මුලදි.
ගෙදර දොරේ ජිවිතයෙදි තමන්ගේ ගෙදර එක්කෙනාට එහෙම නැත්නම් හාමිනේට අසනීප හැදෙන්න පුලුවන්. ඒව ඒ උනාට සතිය මැදදි එකලස් වෙනව. ඒවගේම තමයි මංගල යෝජනා එනව.
සෞඛ්‍ය ගැටළු වල ලොකු ගැටළුවක් නැතත් සෙම් රෝග වලින් ආරක්ෂා වීම හොදයි.

●  කුම්භ
සතිය මුලදි හොදයි.
මේ කාලයෙදි නැන්දල මාමලගෙන් උරුමහරුමකම් වලින් මුදල් ලැබෙන කාලයක්. ඒවගේම තමයි ඔය කුම්භ ලග්න කාරයොන්ගෙ දේපල එහෙම තියෙන ඥාතින් ඉන්නව නම්, ඒ අයගෙ දේපල උරුමහරුමකම් ලැබෙන්න පුලුවන් කාලයක් මේක. ඉතින් ආදායම් ගැන ලොකු කරදරයක් නෑ. උත්සහයෙන් වැඩ කරන්න.
ගෙදර දොරේ ජිවිතයත් ඒ විදියම තමයි. ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න පුලුවන්. ඒවගේම තමයි අනියම් කම් සැප ලැබෙන්න ඉඩ තියෙන කාලයක්. හිතල වැඩ කරන්න.
සෞඛ්‍ය ගැටළු නැති උනත් භූත පෙරේත දෝෂ ඇතිවෙන්න පුලුවන්, සෙම් අමාරු ගැන බලාගන්න ඕන.

●  මීන
ප්‍රශ්නයක් නෑ !
සතිය පුරාම සුපිරි මැච් එකක් ගහන්න පුලුවන්. ඒවගේම තමයි කාන්තාවන් මාර්ගයෙන් ආදායම් වැඩි දියුණු කරගන්න පුලුවන් යෝගයක් යෙදිල තියෙනව. ඒනිසා කාන්තාවන් වැඩිපුර ආශ්‍රය කරන එක ඇගට ගුණය කියල හිතෙනව.
ගෙදර දොරේ ජිවිතයත් ප්‍රීතියෙන් ගත වෙනව වගේම ගෙදරට බඩු මුට්ටු හම්බ වෙන්න යෝගයක් තියෙනව. දුවා දරුවන් එක්ක හොදින් ඉන්න පුලුවන්.
සෞඛ්‍ය විදියට ලෙඩ රෝග ඒව මේව නෑ. හැබැයි ඉතින් ඇස්වහ කටවහ දෝෂ තියෙන්න පුලුවන්. නිදන් ගත රෝග ඇති අය ඒව ගැන සැලකිල්ලෙන් ඉන්න.

* කේන්දර සටහන් අනුව පලාපලය වෙනස් වේ !

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment