Saturday, June 14, 2014

යුද්ධය දිනල...

යුධ ජය ලබාගෙන අදට වසර 5 ක් ගෙවී ඇත. මැසේජ් එවන අය අතර යුධ ජයග්‍රහණය ජෞතිෂ්‍යයට අනුව විග්‍රහ කරන ලෙස පැවසූ අය සිටි අතර ජෞතිෂ්‍යයට අනුව පැහැදිලිව යුද ජය සිදුවුනු ආකාරය විග්‍රහ කල හැකි වුවද, මහා කැපවීමකින් නිමවූ ත්‍රස්තවාදි යුද්ධය ජෞතිෂ්‍යයට අනුව පමණක් ලඝු කරන්නට අපට සිත් නොදේ.

යුධ ජය ගැන කතා කරන්නෙ නම් අපට මතක අතීතයේ අපේ අතපසුවීම් අඩුපාඩු සියල්ල ගැන කතා කල යුතු වුවද යුද ජය ලේසියෙන් කරගැනීමට තිබූ අවස්ථාවල ඒවා වැලකුණේ ඉන්දියාවේ තමිල්නාඩුවේ බලපෑම නිසාය. කෙසේ වුවද 2009 වකවානුව වන විට ඉන්දියාවට බලවත් ප්‍රහාරයක් ත්‍රස්තවාදින්ගෙන් ලැබීමත් ඊලග ප්‍රහාරයක් තමිල්නාඩුවේ මදුරාසියට ලැබෙන බව ප්‍රකාශයට පත් කිරීමත් සමගම කලබල වූ තමිල්නාඩු ජනතාව, මැතිවරණයේදි කොටින්ට කඩේ ගිය කරුණානිධි හා ජයලලිතාගෙ පක්ෂ මෙන්ම ඍජුවම කොටින්ට සහය දැක්වූ නැදුමාරන්, වයිකෝ ආදීන්ටද ලබාදුන්නෙ බරපතල පරාජයකි. එනිසා කොංග්‍රහස් රජය ලංකාවට බලපෑම් කලේ නැත. එය ජයග්‍රහණයට සෑහෙන හේතුවක් විය.

ඊට අමතරව කාලයක් තිස්සෙ පැවති කුලල් කා ගැනීම් වලින් තොරව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම් වරයා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සේවය කැපී පෙනුනි. එහිදී යුද්ධයට ඍජුව මුහුණ පෑ යුද හමුදාවේ අණදෙන නිලධරයාවු සරත් ෆොන්සේකා මහතාගෙ දායකත්වය කැපී පෙනුනු අතර අද මොනවා කීවද එදා එතුමා ඉතාම වැදගත් චරිතයක් ආණ්ඩුවේ හෙබවූ බව නොරහසකි. එසේම ගුවන් හමුදාව මගින් කොටි බලකොටු විනාශ කිරීම හා නියමිත ඉලක්ක ඇති තැන් පාබල හමුදාවට පැවසීම වැදගත් වූ අතර ගුවන් හමුදාවේ මූලික ශක්තියට හේතූවූ සෑම් මිසයිල් ත්‍රස්තවාදින් අතට පත් නොවීමට කටයුතු කිරීම ගැන ඇමරිකානු එෆ්බීඅයියටද ස්තූති වන්ත විය යුතුය. ඒ සබදකම නිවරදිව ස්ථාපිත කිරීමට 2002-04 එජාප රජය ගත් ක්‍රියාමාර්ගයද සැලකිය යුත්තකි. එසේම කොටි සන්නද්ධ නායක කරුණා කොටින්ගෙන් වෙන් කිරීමද රනිල් වික්‍රමසිංහයන්ගෙ කූට බුද්ධියේ ප්‍රතිඵලයකි. නාවික හමුදාව මගින් කොටින්ට අවශ්‍ය ආයුධ පැමිණීම වැලැක්වීම නිසාද යුධ ජයට හේතුවක් විය.

ඊට අමතරව කෙතරම් දූෂිත යැයි හංවඩු ගැසූවද පොලිසියේ කාර්යභාරයද, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම සිවිල් ආරක්ෂක කමිටු ආදිය නිසා රට ඇතුලත සිදුවීමට තිබු ප්‍රහාර බාධා අවම වීම ජයග්‍රහණයට මූලික හේතුවක් විය.

ඒ සියල්ලම සමග මීට පෙර රටට ආදරයක් නොතිබුනු අදටත් ආත්මාර්ථකාමිත්වයේ සිටින සමස්තයෙන් අතිබහුතර ජනතාව යුද්ධය ගැන උනන්දු වීමද යුධ ජය බලාපොරොත්තු වීමද ජාති ආලය නිසා රට ගැන සිතීමට පෙළඹීමද සුවිශේෂී කාරණයකි. එයට “අපි වෙනුවෙන් අපි“ දැන්වීම් ඉමහත් පිටුවහලක් වීය.
යුධ ජය පොදු ජයකි. එය තනි ජයක් නොවේ. එකමුතු නොවුනේ නම් දිනිය නොහැකි බැවිනි...

No comments:

Post a Comment