Thursday, September 24, 2015

බුධ මහ දශාවේ හැටි - 2 ලිපිය

බුධ ග්‍රහයා ඔබ අප සියලුම දෙනා දන්නා ආකාරයට ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහ ලොව සුරතලා වශයෙන් විරුදාවලිය ලැබූ ග්‍රහයාය.

බුධ මහ දශාව වසර 17ක් ඉදිරියට පවතින මහ දසාවක්ය.
බුධ මහ දසාව කෙනෙකුට ලබන්නේ සෙනසුරු මහ දසාව අවසන් වීමෙන් අනතුරුවය. සෙනසුරු මහ දසාවේ ඇති කලාවූ මහා පීඩාකාරි තත්වයන් පරදා බුධ ග්‍රහයාගේ ශුභ සෙත සැලසෙන මෙම දසාව එම සෙනසුරු මහ දසාවෙන් පීඩාවිඳි අයෙකුට නම් ඉතාම සහනය ගෙන දෙන බව කිව යුතුය.

අප මේ සදහන් කරන්නේ බුද මහ දසාවේ කාල පරිච්ඡේදයන් තුලදි සිදුවන දළ සංක්ෂිප්තය සහ ක්‍රියාවලියයි. මෙහිදි ඔබ සිහි තබාගත යුතුයි, උප්පත්ති ග්‍රහචාරය අනුව එම ග්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙය සමහරවිට යම් යම් වෙනස් වීම් ඇතිවිය හැකි බව.
තවද සදහන් කල යුතු විශේෂ කාරණාවක් වන්නේ මෙම ග්‍රහයා තවත් ග්‍රහයන් සමග එකතු වි සිටිමෙන් (බුද- සිකුරු, බුධ - රවි, බුධ - ශනි ආදි ), මෙම බුධ ග්‍රහයා තමා සමග සංයෝග වන ග්‍රහයාගේ ලක්ෂණ ගනී.
 කුඩා දරුවෙක්ට උපමා කර ඇත්තේ කුඩා දරුවෙක්ද තමා සමග සම්බන්ධ වන වැඩිහිටියන්ගේ ලක්ෂණ ගන්නා නිසාය.
උදා :- බුධ - සිකුරු සංයෝග නම් බොහෝ හුරතල් කතා ඇති වාග් චාතුර්ය ඇති කෙනෙක් වේ.
බුධ - කුජ නම් කපටි සිත් ඇති අයෙක් වේ.

* බුද මහ දසාවේ අතුරු දසා විග්‍රහය දැන් බලමු.

● බුධ මහ දසාවේ බුධ අතුරු දසාව

- වසර 02 මාස 04 දින 27කි.

මෙම අතුරු දසාවෙදි පුද්ගලයාගේ පුද්ගල සංවර්ධනය ඉතාම යහපත්ව සිදුවේ. බුද්ධිමත්ව කටයුතු කරගැනීමට හැකිවන මෙම කාලයේදී විශේෂයෙන්ම ව්‍යාපාර වස්තු වලින් ඉතාම ලාභ ලබයි. තවද අධ්‍යාපනය ලබන අයට බුද්ධිය දියුණු වී වාසනාව සෙත සැලසෙන කාලයකි. ප්‍රීතිමත්ව සිටිමට අවස්ථාව උදාවේ.

● බුධ මහ දසාවේ කේතු අතුරු දසාව

- මාස 11 දින 27කි.

හම ආශ්‍රිත රෝග වැළදීමට ඉඩ ඇත. යම්කිසි උදරාබාධ සැත්කම් ආදියට භාජනය විය හැක. විශේෂයෙන්ම අන් අය රැවටීමට හැකියාව ඇති කාලයකි. එසේම කරගෙන ආ වැඩකටයුතු වල යම් මන්දගාමි ස්වරූපයක් ඇතිවිමට ඉඩ ඇත. ආර්ථික දියුණුව පහතට වැටේ. මාස 11ක කෙටි කාලයක් වුවද වසර 2ක පමණ පසුබෑමක් සමහරවිට පුද්ගලයන්ගේ හඳහන් අනුව ඇතිවේ.

● බුධ මහ දසාවේ සිකුරු අතුරු දසාව

- වසර 02 මාස 10කි.

ඉතාමත්ම වාසනාවන්ත කාලයකි.  ව්‍යාපාර වස්තු වල දියුණුව සැලසෙන මෙම කාලයෙදි හවුල් ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇතිවේ. තමන් ඉතාම ජනප්‍රිය වේ. උරණ වී සිටි නෑදෑයන් මිත්‍රයන් තමන් කරා පැමිණෙන කාලයකි. විවාහ වන වයසේ අයට මෙම කාලයෙදි මංගල යෝග උදා වේ. ඉතාම හොද කාලයකි.

● බුධ මහ දසාවේ රවි අතුරු දසාව

- මාස 10 දින 06කි.

මෙම කාලයෙදි ජන්මියාගේ බුද්ධිය දියුණු වන අතර සමහර දේ උපාය මාර්ගිකව අත්පත් කරගැනීමට ජන්මියාට වාසනාව උදා වේ. ඉතාම බුද්ධි ගෝචරව කටයුතු කරන මේ කාලයෙදි ඉගෙන ගන්නා වයසේ අයට බොහෝ අධ්‍යාපනික ජයග්‍රහණ හිමි කරගැනීමේ භාග්‍යය පවති. පොදුවේ ගත්කල හොද කාලයක් වශයෙන් සදහන් කල හැක.

● බුධ මහ දසාවේ චන්ද්‍ර අතුරු දසාව

- අවු 01 මාස 05

මෙම කාලය තුල ජන්මියාට වනිතා පක්ෂයෙන් උදව් උපකාර ලැබේ. ඔවුන් සමග සංගම් වැඩිවේ. මෙම කාලයෙදි ඉතාම කෙලිදෙලෙන් සහ ප්‍රීතියෙන් සිටින බව කිව යුතුයි. කිසිම බරක්පතලක් නොතේරේ. හොද කාලයකි.

● බුධ මහ දසාවේ කුජ අතුරු දසාව

- මාස 11 දින 27

උප්පත්ති කේන්දරයේ ලග්නයට කුජ පාපියෙක්ව සිටියහොත් අභ්‍යන්තරික වශයෙන් ඉන්ද්‍රීය දුර්වලත්වය ඇතිවන්නට පුලුවන්. තවද ජන්මියාට හම ආශ්‍රිතව දූෂිත වන රෝග ඇතිවිය හැක. මෙම ග්‍රහයන් 2 යහපත්ව සිටි නම් විශාල ආදායම් මාර්ග ලැබීමට, ආර්ථික දියුණුවට උපායමාර්ගිකව විශාල දියුණුවකට වාසනාව පවති.

● බුධ මහ දසාවේ රාහු අතුරු දසාව

 - වසර 02 මාස 06 දින 18

මෙම කාලය තුලදී බුද්ධිමත්ව කටයුතු කිරිමට අපහසුතා ඇතිවේ. බුද්ධිය දුර්වල වේ. කලබල වේ. සමහරවිට උන්හිටිතැන් අතැර වෙනත් ප්‍රදේශවලට යෑමට සිත් වේ. ඒ අතරතුර විදෙස්ගතවීම්, විදේස රැකියා, විදේශ අධ්‍යාපනික කටයුතු වලට වාසනාවද හිමිවිය හැක. මෙය උප්පත්ති ග්‍රහචාරයේ බුධ සහ රාහුගේ තත්වය අනුව තීරණය වේ. එම ග්‍රහයන් 2 දුර්වල නම් බොහෝසෙයින් කරදර පැමිණිය හැක.

● බුධ මහ දසාවේ ගුරු අතුරු දසාව

- වසර 02 මාස 03 දින 06

මෙම කාලය ඉතාම යහපත් බව කිව යුතුය. දියුණුව ඇතිවේ. ධන-ධාන්‍ය තත්වය දියුණු වේ. ආර්ථික පදනම යහපත් වේ. එසේම සමාජයේ හොද පිලිගැනීමක් ඇතිවේ. විශේෂයෙන්ම කිව යුතුයි, පදවි - නිලතල - තාන්න මාන්න ලැබෙන සුභ කාලයකි.
අපගේ අත්දැකීමේ හැටියට මෙම ග්‍රහයන් 2 කුමන තත්වයක කේන්දරයේ සිටියත් මෙම කාලය ඉතා හොද කාලයක් බව කිව යුතුයි.

● බුධ මහ දසාවේ ශනි අතුරු දසාව

- අවු 02 මාස 08 දින 09

බුද මහ දසාවේ අවසාන අන්තර් දශාවයි. බුද්ධිමත්ව කටයුතු නොකලහොත් බුධ මහ දසාවේ අනිත් කාල වල ලබාගත් ශුභ පල මෙම කාලයෙදි නැතිවිමට පුලුවන්. එසේ නම් වස්තුව දේපල යාන වාහන , නිශ්චල චංචල දේපල සියල්ල ආදියයි.
ජන්මියා බුද්ධිමත්ව කටයුතු නොකලහොත් යම්කිසි ගැටළු සහගත තත්ව ඇතිවෙන කාලයකි. විමසීමෙන් සිටිය යුතු කාලයකි.


* මෙම සියලු කාරණා තම කේන්දර සටහන අනුව වෙනස් වීමට ඉඩ ඇත.

No comments:

Post a Comment