Thursday, December 18, 2014

“ සඳ - හිරු සතුරු රාහු ගැන රසවත් කතාවක් “


මේ ලිපියට කලින්, රාහු කේතු යන ඡායා ග්‍රහයන් ගැන පූර්ව කථනයක් සිදුකර ඇත. එහිදී මෙම ග්‍රහයන් පෘථිවියට බලපාන අයුරු සහ පුද්ගලයාට බලපාන ආකාරයන් සදහන් කර ඇත. නමුත් ප්‍රබන්ධයක් අතින් ගත්කල හින්දු දේව පුරාණයේ මේ රාහු - කේතු සම්බන්ධව රසවත් කතාවක් ඇත.

* රාහු යනු, මහා යෝධ අසුර රාජයෙකු බව සදහන් අතර, ඔහුට යම්කිසි දේවත්වයක්ද තිබුනි. මොහුගේ නම එකල ස්වර්ණබානු වූ අතර, මෙම දෙවියා භාවනායෝගීව සෑහෙන කලක් ලෝක පාලක එසේම ලෝකය නිර්මාණය කල මහා බ්‍රහ්මයාගෙන් යම් වරයක් ඉල්ලීය. අවසානයෙදි මහා බ්‍රහ්මයාට මොහුගේ ඉල්ලීම අහක දැමිය නොහැකි තත්වයකට පත්විය.
පසුව මහා බ්‍රහ්මයා විසින් ඔහුගෙන් කැමති වරයක් ඉල්ලන ලෙස මෙම අර්ධ දේවතාවාට පැවසීය.

මොහු ඉල්ලුව කරුණ ඔබ දන්නවාද ?

* මොහු ඉල්ලූවේ සඳ-හිරු-තාරකා මෙන්ම තමාටද ග්‍රහ ලෝකයක් තිබීමට අවශ්‍ය බවයි. එම තත්වය ලබාදී මහා බ්‍රහ්මයා ඔහුගෙන් සමුගෙන ගියේය.

* ඊට පසු යම් කලක සුර-අසුර දෙකොට්ඨාශය එක්කාසු වී කිරි සයුර කැළඹීය. එහිදී නාලොව නාගයන්ගේ රජු ‘වාසුකී‘ නාග රාජයා මහාමේරු පර්වතයේ ගැට ගසා කිරි සයුරට දමා කැලඹීය.

මහා මේරු පර්වතය එසේ දැඩි ආකාරයට පැද්දෙන විට එය වැලැක්වීමට මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්වහන්සේ ඉදිබුවෙකුගේ වෙස් ගෙන තමාගේ පිට මත මහාමේරු පර්වතය රඳවා ගත්තේය. මේ අයුරින් කිරි සයුර කැළඹීමේදි “ලක්ෂ්මී දේවතාවිය“ සමග වටිනා දේවල් ලැබුනි.
එසේම අමරණීයත්වය දෙන “ අමෘතය “ ලැබුනි.

* නමුත් අසුරයන් අමරණීය වුවොත් සුරයන්ට මෙන්ම ලෝකයාට අයහපත් වේයැයි කල්පනා කල, සියලුම සුරයන් අසුරයන්ට අමෘතය නොදෙන ලෙස මහා විෂ්ණුගෙන් කන්නලව් කර සිටියහ.
එහෙත් මේ අමෘතය ලබාගැනීමේදි සමගියෙන් කටයුතු කල සුර-අසුර දෙකොට්ඨාශයටම එයින් සාධාරණව කටයුතු කිරීමට ඉටාගත් මහා විෂ්ණු දෙවියන් අලංකාර වූ කාන්තාවකගේ වෙස් ගෙන අමෘතය සම සමව බෙදීමට සුරයන්ට එක පසෙකටත්, අසුරයන්ට තව පසෙකටත් පේලි 2කට සිටීමට අණ කරන ලදි.

* අති උතුම් රූපශ්‍රීයට වශීවූ සියලුම දෙනා, වශීව බලා සිටියෝය. මෙය සැබවින්ම කූට උපක්‍රමයක් බව අසුරයන්ට වැටහී ගිය අතර, ඒ ගැන කල්තියා දැනගත් ස්වර්ණබානු හෙවත් එම අසුර දේවතාවා කාටවත් නොදැනෙන සූක්ෂම ආකාරයට සුරයන් අතරට ගොස් සිට ගත්තේය.
විෂ්ණු දෙවියන් එය දුටුවද නොදැක්කා සේ සිටියේය. ඒ මහා බ්‍රහ්මයා වරය දුන් වරය ගැන දැන සිටි බැවිනි.

* මෙම අවස්ථාවේදි ස්වර්ණබානු අමෘතය අනුභව කර තිබුනි. එම පේලියේම සිටි හිරු-සඳු දෙදෙනා මේ අවස්ථාව දැක දැඩි කලකිරිමට පත්විය.
ස්වර්ණබානුව විනාශ කරන ලෙස විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලූ විට විෂ්ණු දෙවියන් චක්‍රායුධයෙන් පහර දුන්නේය. ඔහුගේ හිස වෙන්වූ අතර එතනට නාග හිසක් සවි කරන ලද්දේ ඊට පසුවය. කෙසේ වෙතත් ග්‍රහ ලොවක් බවට පත්වූ මෙම ස්වර්ණබානු රාහු යැයි නම් විය..

තමාගේ මිත්‍රයා කේතු යැයි නම් කෙරුනි. තමාව විනාශ කරන ලද්දේ හිරු - සඳුගේ ඉල්ලීමට බැවින් එය වෛරයක්ව අද දක්වාම එදා පටන් ඔවුන්ට හිංසා කරන බව දේව පුරාණයේ සදහන්ය.

No comments:

Post a Comment