Wednesday, December 31, 2014

ග්‍රහලොව සෙන්පතිගේ පලාපල - කුජ මහ දසාව සහ එහි අතුරු දසා

නවග්‍රහයන් අතරින්, ප්‍රබල ග්‍රහයෙක් වන කුජ හෙවත් අඟහරු ග්‍රහලොව සෙන්පතියා වශයෙන් හඳුන්වයි.

මනුෂ්‍යයාගේ බලය, කායික ශක්තිය එසේම ශරීරයේ ලේ ධාතුව කුජ විසින් නියෝජනය කරයි.

ග්‍රහයා තරමක් උෂ්ණාධික ග්‍රහයෙකි. රතු ග්‍රහයා වශයෙන් හඳුන්වන්නේද මෙම ග්‍රහයාය.

* කුජ මහ දසාව වසර 7කි.
මෙම මහ දසාව තුල පුද්ගලයාට වෙනත් ග්‍රහයන් මෙන්ම දෙයාකාරයකින් ග්‍රහ දසාවේ පලාපල බලපානු ඇත.
යම්කිසි පුද්ගලයෙකුගේ කුජ, උපතේදි බලවත් නම් ඔහුට එම මහ දසාව තුලදී රාජ්‍ය බලය, භූමිලාභ, යාන-වාහන එසේම විවිධ නිලතල ලැබේ. කුජ දුර්වලව සිටියොත් නොයෙක් විදියේ ලෙඩරෝග, කරදර මෙන්ම තවත් බාධා එසේම, අනතුරු ආදිය ඇතිවිමට ඉඩ ඇත.

●  කුජගේ කුජ අතුරු දසාව
මේ කාලය තුල පුද්ගලයාගේ දියුණුව ලැබීම, භූමි ලාභ ලැබීම, නව තනතුරු තාන්න මාන්න ලැබීම සිදුවෙයි.
අයහපත් ආකාරයට පිහිටා ඇත්නම්, තුවාල - අනතුරු, ශරීරයට පීඩා ගෙනදෙන ශල්‍ය කර්ම ආදියට භාජනය වීමට ඉඩ ඇත.

●  කුජගේ රාහු අතුරු දසාව

අධික ඇවිදිලි සහිත ජීවිතය, එසේම සියලුම කටයුතු අඩපණ වීම, සතුරු කරදර සහ ව්‍යාපාර බංකොලොත් වීමද, කෝලාහල වලට හසුවීම ආදියද සිදුවිමට හැක.
දෙදෙනාම කේන්දරයේ බලවත්ව පිහිටා ඇත්නම් කලාතුරකින් දියුණුව ඇතිවේ.

●  කුජගේ ගුරු අතුරු දසාව

නව නිලතල ලැබීම, හමුදාවේ පොලිසියේ ඉහල නිලතල වලට පත්වීම, නිවාස ඉදිකරගැනීමට ලැබීම, එසේම ප්‍රබල පුද්ගලයන් සමග ආශ්‍රය ලැබීම අාදිය සිදුවේ.

●  කුජගේ ශනි අතුරු දසාව

ඉතාම අශුභය.
කුජ-ශනි එකට පිහිටා කේන්දරයේ ඇත්නම්, විවාහ ජීවිතයේ කඩාකප්පල්වීම, එක්කෙනෙකුගේ වියෝව පෙන්වීම. එසේම සියලුම ව්‍යාපාර වස්තු බංකොලොත් වී මහ මගට ඇද වැටිම, ශරීරයට පීඩා කරන අනතුරු ආදිය සිදුවීම විය හැක.

●  කුජගේ බුධ අතුරු දසාව

හොඳ කාලයකි. සූක්ෂම බුද්ධියෙන් කරන කටයුතු සාර්ථක වීම, ඉගෙනීම දියුණු වීම, එසේම ඉගෙන ගන්නා ළමයින් විභාග වලින් සමත්වීම ආදිය සිදුවේ. හොදයි.

●  කුජගේ කේතු අතුරු දසාව

ශරීරයට පීඩා කරන දුක් ආදිය, බෝවන රෝග වැළදීම, නින්දාවට පත්වීම, සතුරන්ගෙන් විපතට පත්වීම ආදිය සිදුවිය හැක.
නමුත් කේතු බලවත් නම් මිනිරන්, මැණික් ආදි පොලවෙන් ලැබෙන වස්තු සම්පත් ලැබේ.

●  කුජගේ සිකුරු අතුරු දසාව

හොද කාලයකි. ස්ත්‍රින්ට පුරුෂයන් සමගද, පුරුෂයන්ට ස්ත්‍රින් සමගද ආශ්‍රය වැඩිවිමට කාලයකි. ලිංගික කටයුතු වලට වැඩි ආශාවක් ඇතිවේ. ලිංගික ශක්තිය වැඩි වර්ධනය වේ. විවාහය සිදුවේ. කම්සැප උපරිම ලැබේ. එසේම යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් හා සියලුම සැප සම්පත් ලැබේ.

●  කුජගේ රවි අතුරු දසාව

මෙම දෙදෙනා ප්‍රබලව සිටියොත්, විශාල දියුණුවක් ලැබේ. දේපල ඉඩකඩම් භූමිලාභ ලැබේ. ඉතාම හොදයි. හමුදාවේ පොලිසියේ සිටින අයට නිලතල ලැබේ. අයහපත්ව පිහිටා සිටියොත් උෂ්ණාධික රෝග මගින් පීඩාවට පත්වේ. හමේ රෝග ඇතිවේ. ලේ විෂ වේ.

●  කුජගේ චන්ද්‍ර අතුරු දසාව

කේන්දරයේ මෙම දෙදෙනාගේ සංයෝගය යහපත් ලෙස තිබේ නම්, උතුම් වූ පුත්‍ර සම්පත් ලැබේ. විවාහ මංගල කටයුතු සිදුවන කාලයකි. එසේම කායික ශක්තිය ඇතිවේ. කාන්තාවන්ට ප්‍රජනන ශක්තියේ හොද වෙනස්කම් ඇතිවේ. ඉතාම හොද කාලයක්.
නරකට පිහිටියොත්, අඹුසැමියන් අතර යුගදිවි ගැටළු මෙන්ම, විවිධාකාර ප්‍රශ්න උපද්‍රව මතුවිමට ඉඩ ඇත.

* පොදු කරුණු බව සලකන්න..

කේන්දර සටහන අනුව මෙන්ම, අදාල ගෝචර පල මෙන්ම තම කල්ක්‍රියාව අනුවද මෙම තත්වයන් වෙනස් විය හැක.

No comments:

Post a Comment