Wednesday, November 18, 2015

ධනු ලග්න හිමියන් !



මේෂයෙන් පටන්ගන්නා ග්‍රහ රාශි වළල්ලේ 9වන රාශියේදි අපට ධනු ලග්නය මුණ ගැසෙයි.
මෙම ධනු ලග්නය විශේෂයෙන්ම ප්‍රභාශ්වර ලග්නයකි. මෙම ලග්නය අයත් වන්නේ දෙවියන්ගෙත් දෙවි වූ ගුරුන්ගෙත් ගුරු වූ සුරගුරු නම්වූ බ්‍රහස්පතිට ග්‍රහයාටය. එනම් බ්‍රහස්පතිට ලග්න නිවහන් 2ක් ඇත. එයින් එකක් ධනු ලග්නය වන අතර, අනෙක් ලග්නය මීන ලග්නයයි.

අග්නි රාශියක් වන ධනු ලග්නය, සොබාවයෙන් උභය රාශියකි.
නැගෙනහිර ක්ෂිතිජයේ ධනු ලග්නය උදාවන විට හදුනාගැනීම ඉතා පහසුය. අශ්ව කවන්ධයකට බද්ධ වූ, හැඩි දැඩි මනුෂ්‍යයෙක් ඉලක්කයට එල්ල කරගෙන සිටින දුන්නක් අතැතිව සිටින මෙම රාශිය ඉතාම බලවත් රාශියක් බව පුරාතන ඍෂිවරුන් හඳුන්වාදි තිබේ.


* මෙම ධනු රාශියට අයත් නක්ෂත්‍ර 3ක් ඇත.
එනම්, මුල නැකත, පුවසල නැකත සහ උත්‍රසල නැකතයි.
මෙම නැකැත් අයිති ධනු රාශිය උපත ලබන අය වාසනාවන්තය.

● ධනු ලග්නයේ ස්වභාවය අනුව,  නිතරම විචාරශීලි වූත්, මධ්‍යස්ථ ප්‍රබුද්ධ ගතිගුණ ඇතිවූත්, යම්කිසි ඉලක්කයකට වැඩ කිරිමට කැමති අයවලුන් වෙති.
මේ අය, හීන් නූලෙන් අඩියෙන් අඩිය තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කර, විශිෂ්ඨත්වයට පත්වන්නෝ වෙති.
 දියුණු වීමේ උවමනාව හැකියාව ඇති ධෛර්යවන්ත අය වෙති. අන් අයට උදව් කිරීමට දන් දීමට කැමතිය. හදිසියේ කලබල වී වැඩ කරන අතර, තව විටෙක ඉවසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කරයි. ඇස් මදක් ඇතුලට ගිලී ඇත(ධනුර්දයා නිතරම දුන්නෙන් ඉලක්ක ගැනීමට දෑස කුඩා කරන නිසා)

● ඍජු, අවංක සිතුවිලි ඇත.
කරන ඕනෑම වැඩක් නිවරදිව උවමනාවෙන්, කල් නොයවා කරයි. එසේ කිරීමට උත්සහ ගනී.
අන් අය හා හිතවත් වුවද නොරැවටී, වංචාවලට හසු නොවී සිටීමට උත්සහ ගනි.
කුමන් කාර්යයක් වුවද ලොකුවට කිරීමට සිතයි. නිදහසේ සිටීමට කැමති අයි වෙති.
ඕනම දෙයක් කල හැකි යන විශ්වාස නිසා අපහසුදේ බාරගෙන කරදර පවා විඳී.
* අග්නි රාශි ත්‍රිත්වයේ එනම්, මේෂ සහ සිංහ හැරුනු විට ඒ රාශි 2ටම නැති, පරාර්ථ ස්වභාවයක්, ත්‍යාගිවන්ත ස්වභාවයක්, අන් අය වෙනුවෙන් කැප වෙන ස්වභාවයක් විශේෂයෙන්ම ධනු ලග්නයට ඇත.

● බොහෝවිට සංඝයා වහන්සේලා හා අන්‍ය ආගමික පූජකයන් වහන්සේලා, ඍෂිවරුන්, පඬිවරුන් මේ ලග්නයෙන් උප්පත්තිය ලබා ඇති බව අපෙගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යයෙන් දක්නට ලැබුනු දෙයකි.
නිතරම තම කටයුතු පසෙකලා, අන් අය වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය මිඩංගු කිරිමට මොවුන් කැමතිය. එසේම කුඩාකල සිට නිවරදි සුචරිතවත් මාවතක ගමන් කිරිමත් මොවුන් සතු විශේෂිත ගුණයකි.

● ධනු ලග්නයේ අය විශේෂයෙන්ම අප පෙර සඳහන් කල පරිදි, බොහෝවිට උපදේශන වෘත්තියට සමර්ථකම් දක්වයි. විශ්ව විද්‍යාල ආචාර්යවරු, කථිකාචාර්යවරු, ගුරුවරු, නීති උපදේශකවරු, නීති සම්පාදනය කරන්නන් සහ තානාපති ධූර හොබවන්නන්, ප්‍රමුඛ පෙලේ දානපති ව්‍යාපාරිකයන් ධනු ලග්නයෙන් බිහි වී ඇත.
උසස් සංඝ පීතෘන්වහන්සේලාද මෙම ලග්නයෙන් ඉපදී ඇති බව අප දනිමු. ඕනෑම රැකියාවක් කිරිමේ විශේෂ සමර්ථකමක් මේ අය දක්වයි. එයට හේතුව සැමවිටම කිසියම් ආකාරයකට ඉලක්කයකට වැඩ කිරිමේ සුවිශේෂි හැකියාවක් මොවුන් තුල පැවතීමයි.
ඔබ සැම අඳුරන, ශ්‍රී ලංකා දේශපාලනයේ සිටින චරිතවත්, වටිනා දේශපාලනඥයෙක් වන ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද ධනු ලග්නයෙන් උපන්නෙකි.
එතුමාත්, තමාගේ දේශපාලන දිවිය ඉලක්කගතව ඉදිරියට ගෙන ආ කෙනෙකි.

● ධනු ලග්නය හිමියන් බොහෝවිට, ප්‍රේම සම්බන්ධතා ඉතාම ගෞරවාන්විත ආකාරයකට පවත්වාගෙන යෑමට කැමති පිරිසකි.
ගුරු ග්‍රහයාට අයත් රාශියක් නිසා, ධනු ලග්නයෙන් උපන් අය තමාගේ පෙම්වතියට, පෙම්වතාට ගෞරවාන්විත සෙනෙහෙවන්තභාවයක් දක්වයි.
කෙනෙකුගේ සිත් රිදවීමට අකමැති ධනු ලග්න කරුවන්, ප්‍රේම සම්බන්ධයක් බිඳී ගියහොත් එයින් දැඩි මානසික ලතැවුලකට පත්වෙයි.

* ප්‍රේමය සහ විවාහය ඉන්පසුව ගත කරන යුග දිවිය ආශ්‍රිතව කල්පනා කොට බැලුවොත්, ධනු ලග්න කරුවෙක් විවාහ කරගන්නා අය ඉතාම වාසනාවන්ත අය බව කිව යුතුයි.
බොහෝවිට ධනු ලග්න හිමියන්ට විවාහ වීමට ලැබෙන්නේ, ඉතාම හුරුබුහුටි අයවය.
කෙලි කවට සිනාවෙන් සහ මිහිරි තෙපුලෙන් කතා කරන, රුවැති භාර්යාවක් එසේම ගුණවන්ත ස්වාමියෙක් ලැබීමේ භාග්‍ය ධනු ලග්න ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂයටම ලැබේ.
* ධනු ලග්න හිමියන්ට විවාහ කරගැනීමට සුදුසුම ලග්න වනුයේ, ධනු, කුම්භ, මීන, මේෂ, මිථුන, සිංහ, කන්‍යා, ලග්නයි. තුලා ලග්නය මධ්‍යස්ථ වශයෙන් ගැලපේ(පොදු කරුණුය, කේන්දරය අනුව තීරණය වේ)
ප්‍රේමය පමණක් නොව ශෘංගාරය පමණක් නොව මෙයට එහා ගිය දැඩි මානුෂීය තත්වයක් ධනු ලග්න කේන්දර තුලින් විද්‍යාමාන වේ.

● පංච පුරුෂ යෝග හැරුනුවිට අනෙකුත් අවශේෂ යෝග අතර බැලූ කල “ධර්මකර්මාධිපති රාජ යෝගය“ හොදම විදියට යෙදෙන්නේ ධනු ලග්නකරුවාටය.
එසේ නම් 9 සහ 10 අධිපතීන් කේන්දරස්ථානයක යෙදීමයි.


● ධනු ලග්නය බ්‍රහස්පති/ගුරුට අයත් නිසා ධනු ලග්න හිමියන් බොහෝවිට උපරිම ආයුෂ වින්දනය කරන බව අප අත්දැක ඇත්තෙමු.
ගුරු ග්‍රහයා ලග්නයේ බලවත්ව හෝ ලග්නයට ශුභ බලයක් එල්ල කරන විට, 8 අධිපති සහ ලග්නයට පාපී සිකුරු පාපපීඩිත නොවේ නම්, ධනු ලග්නයේ අය බොහෝවිට වයස අවුරුදු 90 ඉක්මවා ආයු වැළදීමේ භාග්‍යය ඇති අය වෙති.

_ දුර්වලතා _

දූරදර්ශි නොවීම, පෞද්ගලික වූ ප්‍රශ්න ගැන නොසිතා අන් අයට උදව් උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටීම. අනවශ්‍ය දේවල් කතා කිරීමට ගොස් අමාරුවේ වැටීම. දෙබිඩි ප්‍රතිපත්ති නිසා ධනු ලග්න අයට අවාසි වීමට ඇත්තේ මහත් ඉඩකඩකි.


* ශුභ වර්ණයන් - ලා කොළ පාටයි. එනම් ගිරවාගේ පාටයි.

* ශුභ අංක - 1, 2, 3, 5, 9

* ශුභ දින - බදාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා, භූමි ආශ්‍රිත කටයුතු වලට අගහරුවාදාද හොදයි.


- මේ සියල්ල පොදු කරුණු වන අතර, පොත් පත් වලින් අටවා දමන කරුණු නොව, අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය තුලින් තහවුරු වූ කරුණුය. කේන්දර සටහන අනුව මේ කරුණු වෙනස් විය හැක.

No comments:

Post a Comment