Sunday, November 2, 2014

සෙනසුරු මාරුව (නොවැ 2)

සෙනසුරු මාරුව ලග්න 12ට බලපාන අයුරු

* වසර 29 හමාරකට පසු, සෙනසුරු ග්‍රහ තාරකාව වෘශ්චික රාශි ගතවේ. මෙම ග්‍රහ මාරුව ගැන දෙස් විදෙස් සියලුම දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ, සෙනසුරු මාරුව සාමාන්‍යයෙන් වෙන අවස්ථා වලදී විවිධ වූ සමාජ ආර්ථික භෞතික වෙනස්කම් සිද්ධ වෙන බැවිනි.
එසේ නම් ලංකාවේද ඉහලම පුරවැසියා සිට අන්තම පහල සිටින පුරවැසියා තෙක් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්නේ එහි ඇති වැදගත්කම නිසා නේද ?

* මෙම සියලුම පලාපල දැනට තත්කාල ග්‍රහචාරයේ ග්‍රහයන් හැසිරෙන හැටියට සැකසූ පොදු පලාපලයක් මිස, සූක්ෂම පලාපලයක් නොවේ. ලග්න 12ම උපන් අය ගත කරන මහ දසා, අතුරු දසා ගත කරන ජන්ම ඒරාෂ්ඨක, ලග්න ඒරාෂ්ඨක, අෂ්ඨම ඒරාෂ්ටක සහ ඒ ඒ අයගේ කේන්දර වල ඇති ග්‍රහ බලය අනුව මෙම පහත සඳහන් සිද්ධි දාමයන් හෝ සිදුවීම් වෙනස් වීමට බොහෝ සෙයින්ම ඉඩකඩ ඇත. ඒ සම්බන්ධව බොහෝම මධ්‍යස්ථභාවයකින් මේ පලාපලය දෙස අවධානය යොමු කරන ලෙස අපගේ මුහුණු පොතේ දයාබර පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. 


● මේෂ ලග්නය

ඔබගේ ලග්නයට සෙනසුරුගේ 8 වැන්නේ පැමිණීම ඒ තරම් හොද නැත.
මන්ද  8 වැන්නේ ගමන බොහෝම නපුරු ආකාරයට බලපාන බැවිනි.
ආර්ථිකයට ප්‍රබල පහරක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. මන්ද රැකියාව සහ ආදායම ගැන කියවෙන 10 වැන්න සහ 11 වැන්නේ අධිපතිත්වය දරන්නෙ සෙනසුරු හෙවත් ශනිය.  මෙම ග්‍රහයා දුෂ්ඨ ස්ථානයක් වූ 8 වැන්නට පැමිණීම ඔබගේ ආදායමට මරු පහරක් එල්ලවීමට ප්‍රබල සාධකයකි. මෙම නිසා හවුල් ව්‍යාපාර වල බිඳවැටීම්, ආදායම් තත්ව අඩුවිම් ආදිය සිදුවේ.
ගෘහ ජිවිතයේ ගැටළු මතුවන්නේ, ආර්ථික තත්වයේ ප්‍රබල ආකාරයට පිරිහීමේ හේතුවෙනි. 7 වැන්නෙන් 2වැන්න යුග දිවිය සම්බන්ධව තීරණය කරන සාධකයක් බැවින් යුග දිවියේ ඔවුනොවුන් අතර ඇති කරන්නාවූ ප්‍රබල මත ගැටුම් නිසා අඹුසැමියන් අතර යම් ගැටළුකාරි තත්ව මතුවිය හැක. ඒවායින් ආරක්සා වීම ප්‍රඥා ගෝචරය.
සෞඛ්‍ය තත්වය බොහෝ අයහපත් වීමට ඉඩ ඇත. ශල්‍යකර්ම එසේම මුත්‍රා අමාරු, නිදන්ගත රෝග ඇති අයගේ එම රෝග නිසා ඇති කරන්නාවූ සංකූලතා ආදිය ඇතිවිය හැක.

● වෘෂභ ලග්නය

ඔබගේ ලග්නයට සෙනසුරු 7වැන්නට පැමිණීම එතරම්ම කරදරකාරි තත්වයක් විදියට පෙනෙන්නේ නැත.
ආර්ථික තත්වය පුරුදු පරිදිම සාමාන්‍ය විදියට පවතී. විශේෂයෙන්ම 7 වැන්නේදී ලග්නය දකින නිසා වෘෂභ ලග්න හිමි ඔබ තරමක් උනන්දු වී වැඩ කරනු ඇති බව පෙනේ. එසේම සියලුම වැඩ කටයුතු වලට මනා කැපවීමක් ඇති කරයි. එයද වාසනාවට කාරණාවකි.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනස්කම් සිදුවේ. සමහරවිට ලග්නයට යෝගකාරක ශනි 7 වැන්නට පැමිණිම නිසා විවාහ මංගල යෝග ඇති කරන්නට පුලුවන්. ඒවගේම තමයි, පවතින ප්‍රේම සබදතා ස්ථිර වෙන්න පුලුවන්. ඒක ලොකු දෙයක්. ඒවගේම ලැබෙන සහකාර බන්ධනයෙන් ලොකු දෑවැද්දක් ආදියත් ලැබෙන්නට පුලුවන්.
7 වැන්නට ආවා කියල නරකක් නම් පෙනෙන්නට නැහැ. මොකද 7 වැන්න කියන්නෙ සෙනසුරුට දිග්බල ස්ථානයක් නිසා.
රෝගාබාධ විදියට හන්දිපත් අසනීප රෝගත්, ඒවගේම විවිධ වූ මානසික රෝග ඇතිවෙන්නට පුලුවන්. ඒවායින් පරිස්සම් වෙන්න ඕන.

● මිථුන ලග්නය

සෙනසුරු 6 වැන්නට මාරුව හොදයි.
පහුගිය කාල වලදී සෙනසුරු 5 හිටිය කියලත් කරදරයක් උනේ නැහැ. ඒවගේම 6 වැන්නට ආව කියලත් නරකක් නැත්තේ ආදායම් තත්වයට එය බාධාවක් නොවේ. වෙලද ව්‍යාපාර කරන අයට ඒවාට එදිරිවාදිකම් කරපු අය හිටිය නම්, කරදර කරපු අය හිටිය නම් ඒ අයගෙ බාධක නැතිවෙලා යනව. සතුරු කරදර නිසා ආදායම් තත්ව වලට වල කැපිලා තිබුන නම් ඒ ප්‍රශ්න මගහැරිලා ගිහිල්ලා ආදායම් තත්ව දියුණු වෙනව. තමන්ගේ බලය ව්‍යාප්ත කරගන්න පුලුවන්. සතුරෝ මිතුරු වෙනව.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත කරන්න පුලුවන් වගේම තමන්ට උරුමහරුමකම් ලැබෙනව. ඒවගේම ඒ අතර භූමි ලාභ විශේෂයි. තමාගේ පවුල් වර්ගයා අතර තමා බබලන තත්වයකට පත් වෙනව. කීර්ති නාමය දසදෙසින් ලැබෙනව. හොද කාලයක් විදියට තමයි පෙනෙන්නේ.
උදරාබාධ විශේෂයි. ඒවගේම මුත්‍රාගල්, මුත්‍රා අමාරු ගැන සැලකිලිමත් වෙනව වගේම, ගර්භණී මව්වරුන් මිථුන ලග්නය හිමි, ප්‍රවේසම් විය යුතුයි. ගබ්සා වීම් වීමට පුලුවන්. දරුවන් බලාපොරොත්තු වෙන අය නිසි කාලයෙදි ශාන්ති කර්ම කරවාගෙන ඒ සම්බන්ධව සිතා බැලීම හොදයි.

● කටක ලග්නය

සෙනසුරුගේ 5 වැන්නට පැමිණීම, ශුභාශුභ මිශ්‍රපලයි.
මෙතෙක් කල් 4 වැන්නේ උච්ච වෙලා හිටියත් ලොකු කලබගෑනි කාලයක් තමයි පහුගිය අවුරුදු 2 හමාර. ආදායම් තත්වයට ප්‍රබල කරදර ආවා. දැන් 5වැන්නට එනවා කියන්නෙ අර තත්වයට වැඩිය ටිකක් හොදයි. ඒවගේම තමන්ගේ ආදායම් තත්වයට තිබුනු බාධා මගහැරිලා යනව. ඒවගේම සිතට උනන්දුව උත්සහය එනවා මුදල් හම්බ කරන්න. තමාගේ සිතේ තිබ්බ උදාසීන ගතිය, මන්දගාමි ගතිය නැතිවෙලා යනව. ඒක ලොකු දෙයක්. මුදල් ආදායම් මාර්ග වලට බාධාවක් නෙමෙයි මේ සෙනසුරුගේ ගමන.
ප්‍රීතිමත්ව ගෘහ ජිවිතය ගත වෙනව. ගෙදර අය සමග විනෝදයෙන් කාලය ගත කරන්නත්, දරුවන් සමග විනෝද චාරිකා වල යෙදීමටත් මේ කාලයේ පුලුවන් වෙනව.
ඒවගේම තමාගේ ගෙදර දොරේ ප්‍රීති උත්සව පවත්වන්නත් අවස්ථාව ලැබෙනව. වැඩිහිටි දරුවන් ඉන්නව නම් කේන්දරේ බලවගන්න ඕන ඒ අයට අපල ඇතිවෙන්න පුලුවන්.
සෞඛ්‍ය ගැටළු වශයෙන් උදරාබාධ, සෙම් රෝග සහ මුත්‍රා අසනීප, කාන්තාවන්ට ගර්භාෂ රෝග ඇතිවිමේ ඉඩකඩ තියෙනව. ඒ ගැන පරිස්සම් වන්න.

● සිංහ ලග්නය

4 වැන්නට ශනිගේ පැමිණීම ඒ තරම් හොදයි කිව නොහැක.
ආර්ථික තත්වය අයහපත් වන්නේ, සෙනසුරු 4 වැන්නට පැමිණීමෙන් සමහරවිට බිඳ වැටීමට පුලුවන් නිසාය. වෙලද ව්‍යාපාර, රැකියා ආදියට බාධා පැමිණේ. සිතේ කලකිරීම ඇතිවිමට ඉඩ තිබේ. උනන්දුව අඩුවීමට ඉඩ තිබේ. එය ආර්ථිකයට ප්‍රබලවම බලපානවා නේද ?
කරගෙන යන වැඩ කටයුතු අතරමග නතරවීම නිසාත්, තමාගෙ ආදායමට ප්‍රබල මරු පහරක් එල්ලවීමට ඉඩ ඇත.
එසේම ගෘහ ජිවිතයේ ඇති ගැටළුකාරි තත්ව නිසා ආදායම් තත්ව අහිමි වේ. පදිංචි ස්ථාන වෙනස් කිරීමට සිත්වේ. වැඩිහිටියන්ගේ, ගෙදර අයගේ අසමගිය නිසා ගෙදරින් පිටවීමට සිත් පහල වේ. නමුත් විදෙස් රැකියා වල නියුතු අයට මේ තත්වය බලපාන්නේ නැත. කෙසේ වෙතත් සමහරවිට යහපත් ග්‍රහ බලයක් තිබේ නම් නිවාස ඉදි කිරීමේ වාසනාව හිමිවනු ඇත.
සෞඛ්‍ය තත්වය සම්බන්ධව, පපුවේ මහන්සිය, සෙම් රෝග - හතිය, මානසික ආතතිය, කලකිරීම ආදි ලෙඩ රෝග ඇතිවිමේ ඉඩකඩ වැඩිය. ඒවායින් ආරක්ෂා වීමද නුවණට හුරුය.

● කන්‍යා ලග්නය

3 වැන්නට ශනි පැමිණීම ඉතා ශුභයි.
පසුගිය වසර 2 හමාර තුල තිබූ මුදල් අගහිගකම්, අවහිරතා, බාධක දුරුවනු ඇත. ආදායමට තිබුනු විවිධ වූ ප්‍රතිරෝධයන් දුරුවනු ඇත. එසේම අතමිට මුදල් යහමින් ගැවසේ. විශේෂයෙන්ම වෙළද නියෝජිත ධූර, සන්නාම තානාපති ධූර දරන අයට මේ කාලය හොදයි. ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේ ග්‍රහමාරුව ඉතා හොදයි. අතරමග ඇණහිටි දේවල් සාර්ථක වනවා සේම, අලුත් ව්‍යාපාරික කටයුතු වලට අතගැසීමට හැකි වනවා සේම රැකියා බලාපොරොත්තුවී සිටි අයට එ්වා ස්ථිර වීමද සිදුවේ.
මා සිතන ආකාරයට සෙනසුරු මාරුව කන්‍යාවට ඉතා සුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරන්නට අවශ්‍ය වන වටපිටාව සැකසෙන අතර තමාගේ ආදායම වැඩි දියුණු වීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. පවුලේ අයට වෙනදාට වඩා යම්කිසි මුදල් ආයෝජනයෙන් ඒ අයගේ හොද හිත ලැබේ. නෑදෑයන්ගෙන් වෙන්වීමට ටිකක් හේතුයි. ඒ ආදායම් තත්ව වැඩි දියුණු කරගැනීමට නිසා ලොකු කරදරයක් නොවේ. විදෙස්ගත වීමට මේ කාලයෙදි නියමයි. ඔබට ජයග්‍රහණ ලැබෙන්නෙ ඔබගේ උත්සහය නිසාය.
සෞඛ්‍ය තත්වයට මෙම ගැටළුව බාධාවක් නොවන අතර, ගැස්ට්‍රයිටිස්, පපුවේ සෙම් ගතිය, විවිධ ආකූලතා ඇතිවිමට ඉඩ ඇත.

● තුලා ලග්නය

2 වැන්නට ශනිගේ පැමිණීම සමඵලයි.
ලග්නයේ වද දිදී හිටපු පහුගිය වසර 2 හමාර ගැන හිතද්දි ටිකක් හොද උනත් ආදායම් තත්වයට හොද නෑ. මේ අවුරුදු 2 හමාරෙදි තැන්පත් ධනය අනිවාරතේ වියදම් වෙනව. ඒවගේම තමයි අලුතෙන් එන ධනෝපායන මාර්ග අහිමි වෙනව. සිතට මානසික කරදර ගොඩක් එනව. ඒවගෙම තමයි තමන්ගෙ වචනය නිසා ලැබෙන්න තියෙන දේවලුත් නොලැබීම යන්න ඉඩ තියෙනව. ඉතින් මේවයින් ප්‍රවේසම් වීම ඔයාගෙ වගකීමක්.
ගෘහ ජිවිතයේ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒකට හේතුව ආදායම් තත්ව දුර්වල වීම ප්‍රධාන වශයෙන්ම. තමන්ගෙ ගෙදර දොරේ අඹුසැමියන්ට කරදර ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. ඔවුන් පරිස්සම් කරගන්න. ඒවගේම තමයි නිවසින් බැහැර වීමේදී කල්පනාවෙන් ඉන්න ඕන මුදල් රත්තරන් බඩු වටිනා කියන දේවල් නැති වෙන්න පුලුවන්.
සෞඛ්‍ය ගැටළු ලෙස, දන්තාබාධ, මුහුණුට විය හැකි අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕන.

● වෘශ්චික ලග්නය

1 වැන්නට ශනිගේ පැමිණීම ශුභාශුභ මිශ්‍රයි.
සතුරු වෙලා ලග්නෙට ආවත් මට හිතෙන්නෙ, ශුභාශුභ මිශ්‍රව ලැබේවි. මොකද වෘශ්චික ලග්නයට ශනි කියන්නෙ 3 වැන්න 4 වැන්න අධිපතියා. ලග්න ඒරාෂ්ඨකයක් නැත්නම් ලග්නයේ පාප ග්‍රහයන් ඉන්නවා හැරුනු කොට මෙයාගෙන් නරකක් වෙන්නෙ නෑ කියන එකයි මගේ මතය.
ඒකට ආසන්නම 1986-87 වෘශ්චික ලග්නයෙන් ඉපදුනු අයගේ ලග්නයේ සෙනසුරු තමයි ඉන්නෙ. මගේ ජෝතිෂ්‍යය අත්දැකිම් අනුව ඒ සියලුම දෙනා ඉහලම සමාජ තත්ව වල රැකියා කරන්නෙ. සමහරුන්ට සෙනසුරු මහ දසාව ගත වෙලත් එයාල ෆේල් වෙලා නෑ ගේම් එකෙන්. ඒක නියතයක්.
ආර්ථික තත්වය දියුණු කරගන්න වාසනාව ලැබෙනව. උත්සාහය උනන්දුව ඇතිවෙනව. විදෙස් රැකියාවල දියුණුව ඇතිවෙනව. ඒවගේම තමයි මහන්සි වෙලා වැඩ කරල ජයග්‍රහණ ලබාගන්නත් පුලුවන්.
ගෘහ ජිවිතයේ ටිකක් වගකීම් වැඩි වෙන නිසා යම්කිසි අවිවේකී බවක් එන්න පුලුවන්. ඒවගේම දුවාදරුවන් වෙනුවෙන් වෙනදට වැඩිය කැපවීමක් කරන්න වෙනව. නව නිවාස ඉදි කරන්න වාසනාව තියෙනව.
ඉතින් පොදුවේ ගත්තම හොදත් නෑ නරකත් නෑ.
හිසේ කැක්කුම, හිසට තුවාල අනතුරු වෙන්න ඉඩ තියෙනව. ඒව මහා දරුණු ඒව නෙමෙයි. සර්වාංග රෝග, වාත අමාරුත් එන්න පුලුවන් ඒවයින් ප්‍රවේසම් වන්න.

● ධනු ලග්නය

12 වැන්නට ශනි පැමිණීම ධනු ලග්නයට නම් හොද නැහැ.
ලග්න ඒරාෂ්ඨකය පටන් ගන්නවා ඒවගේම, 12 වැන්නට පැමිණීමෙන් අනවශ්‍ය වියදම් සිද්ධ වෙනව. තමන් කරන ව්‍යාපාරික කටයුතු වලින් මුදල් පාඩු වෙන්න පුලුවන්. හවුල් ගනුදෙනු වලින් පාඩු වෙන්න පුලුවන්. ලැබීම හොදින් වෙනව නම් වියදම ඩබල් වෙනව. එතකොට ඕක තවත් තීව්ර වෙනව 12 චන්ද්‍රයා ඉන්න අයට. ඒවගේම කරන කියන කටයුතු වලින් පාඩු අලාභහානි සිද්ධ වෙන්නෙ තමන්ට නොදැනීම. මේ කාලයෙදි එක එක්කෙනාට ඇපේට එහෙම අත්සන් කරන්න හොද නෑ. ෆිනෑන්ස් ලීසින් වලට අත්සන් කලොත් තමාට කාලෙකදි ගෙවන්න වේවි. අවධානමත් වෙන්න.
ගෘහ ජිවිතයෙදි දෙදෙනා අතර අවබෝධය සෑහෙන්න වටිනව. එහෙම නැති උනොත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නෙ. දෙදෙනා අතර ලිංගික සම්බන්ධකම් අඩුවෙන කාලයක්. අවබෝධය නිසා දෙදෙනා වෙන් වෙන්න පුලුවන් කාලයක්. මංගල යෝග අවම වෙන කාලයක් වගේම තිබුනු මංගල යෝග වලට බාධක එන කාලයක්. ධනු ලග්න කාරයෝ මේ ගැන විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන, වග බලාගන්න ඕන.
සෞඛ්‍ය තත්වයෙන් ගත්තම වැටීම් තුවාලවීම්, හදිසි අනතුරු , මානසික විකල භාවය ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වන්න.

● මකර ලග්නය

11 වැන්නට සෙනසුරුගේ පැමිණීම හොදයි.
11ට ආවම ධන ධාන්‍ය තත්වය දියුණු වෙනව. උරුමහරුමකම් ලැබෙනව. ආර්ථිකය දියුණු වෙනව. තමාගේ දේවල් කරගැනීමට සමාජීය වටපිටාව නිර්මාණය වෙනව. ඒවගේම තමයි විදෙස් රැකියා ලැබෙන්න වාසනාව තියෙනව. විදෙස් රැකියාවල ඉන්න අයටත් හොදයි. අතමිට මුදල් ගැවසෙනව වගේම, ඔය බ්‍රෝකර් වැඩ කරන අයටත් හොදයි. මෙතෙක් රැකියාවේ තිබුනු බාධක, වෙලදාමේ තිබ්බ බාධක මග හැරෙනව. පොදුවේ ගත්තම ආර්ථික වශයෙන් මකර ලග්නෙට හොදයි.
ගෘහ ජිිවිතයත් නරක නැහැ. ප්‍රීතිමත්ව ගත වෙනව. උරුමහරුමකම් ලැබෙන නිසා සිතේ ප්‍රීතියෙන් දරු පවුල එක්ක ඉන්න වටපිටාව ඇතිවෙනව. ඒත් මම එකක් කියන්නම්, වැඩිමහල් සහෝදර සහෝදරියන් එක්ක ආරවුල් ඇති කරගන්නෙ නැතිව එයාල එක්ක සහයෝගයෙන් කටයුතු කරගන්න ඕන. පොඩි දේකින්වත් ඒ අය අමනාප කරගන්න ලෑස්ති වෙන්න එපා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති නමුත් අතපයේ අමාරු ඇතිවෙන්න පුලුවන්. පරිස්සම් වන්න.

● කුම්භ ලග්න

10 වැන්නට සෙනසුරුගේ පැමිණීම හොඳ නෑ.
ආර්ථික පැත්ත කඩා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. ලග්නාධිපතියා උනාට 10 වැන්න සෙනසුරුට සතුරු රාශියක් නිසා මුදල් අඟහිඟකම් වැඩි වෙනව. තමන්ට සතුරු කරදර ඒකියන්නෙ වෙලදාම් කරන තැන, රැකියා ස්ථානයේ සතුරු කරදර ඇතිවෙන්න පුලුවන්. මේව විදෙස් රැකියා කරන අයට ඒ තරම්ම බාධාවක් කියල හිතන්න බෑ. උත්සහයෙන් උනන්දුවෙන් මේ දේවල් නැති කරගන්න ඕන. ශාන්ති කර්ම වලට ප්‍රවේශ වෙන එක හොදයි. රැකියා තියෙන අය ඒවා ප්‍රවේසම් කරගැනිමටත්, ව්‍යාපාර කටයුතු වලදි තමන්ගේ ගනුදෙනුකරුවන් එක්ක සුහදව කටයුතු කිරීමෙනුත් විශේෂයෙන් මේ අපල නැති කරගන්න පුලුවන් - ඒක ප්‍රායෝගිකයි.
ගෙදර දොර ජිවිතය සාමාන්‍ය පරිදි ඇතිවෙනව. නමුත් රැකියාවේ ඇතිවෙන ගැටළු, මුදල් අඟහිඟකම් නිසා යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒවටත් පිලියම තියෙන්නෙම ඔයාලගේ අතේ.
සෞඛ්‍ය තත්වය ගත්තම මුත්‍රා ආබාධ, රහස් රෝග ඇතිවෙනව. පරිස්සම් වෙන්න.

● මින ලග්නය

9 වැන්නට සෙනසුරු මාරුව හොඳයි.
8 වැන්නෙන් සෙනසුරුගේ ඉවත් වීම මහා මූසලකමක් නැති උනා හා සමානයි. අෂ්ටම ඒරාෂ්ඨක අපල නිමවීමෙන් ආදායම් තත්ව දියුණු වෙනව. කරන කියන කටයුතු සාර්ථක වෙනව. හවුල් ව්‍යාපාර සාර්ථක වෙනව. අලුත් ආදායම් මාර්ග හිමි වෙනව. ඒව ජනවාරි වලදි හිමිවේවි. ඒවගේම තමයි තැරැව්කාර බිස්නස් කරන අයට මේ කාලය වාසිදායකයි. තමාගේ නම මතු වෙනව. ඒ ඔස්සේ ආදායම් මාර්ග නිර්මාණය වෙනව. ගොඩක් වාසිදායක දේවල් සිද්ධ වෙනව. පොදුවේ ගත්තම ආර්ථික - සමාජීය සියලුම කටයුතු වලට සෙනසුරු මාරුව හොදයි කියල තමයි කියන්නෙ.
ගෘහ ජිවිතයත් ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන්ට බිරිඳට බොහෝම සුභපල දායකයි. අලුත් බඩු මුට්ටු, නිවාස අලුත් වැඩියා, අලුත් නිවාස මිලදී ගැනීම් සිද්ධ වෙනව. ශුභ කාලයක් උදා වෙනව. ඒවගේම වන්දනා ගමන්, ආගමික කටයුතු වලට සිත් පහල වීම් ඇතිවෙනව. හොදයි.
සෞඛ්‍ය තත්වය, තිබුනු බොහෝ ලෙඩ රෝග පහ වෙලා යනව. ඇඟට සනීපයක් ලැබෙනව. හොඳ පලාත් වල ඉන්න වාසනාව ලැබෙනව.















3 comments: