Wednesday, September 13, 2017

රටම බලා සිටින බ්‍රහස්පතී මාරුව - 2017 සැප් - 2018 ඔක්



2017 සැප්තැම්බර් 12 වැනිදා ග්‍රහ ලොව ගුරුවරයා සහ සෞභාග්‍යට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පතී තුලා රාශි ගත වෙයි.  2018 ඔක්තෝම්බර් 11 වැනිදා දක්වා ගුරු තුලා රාශියේ  ගත කරයි.
-

 කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව, ආයුෂස්ථානය වූ 8 වැන්නේ සිට පින ගැන කියවෙන  9 වැන්නට ගුරු පැමිණීම තුල,  රට තුල පැවති අර්බුදකාරී තත්ත්වයන් පහ වී යාමේ හැකියාව වැඩි වශයෙන් උදා වෙයි. බොහෝ කාලයක් තිස්සේ අවශ්‍ය තිබුනු වාසනා ගුණයන් ඉස්මතු වීමට ඉඩ ඇත.

-
ලග්න 12ට පොදුවේ මේ ආකාර වෙයි.
( පලකිරිම පොදු එකක් පමණක් බව සලකන්න)

-

● මේෂ
   මේෂ ලග්නයේ  ගුරු 7 වැන්නට පැමිණේ.
     ඔබට මෙම වසර තුළ ආදායම් තත්වය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී.
 මුදල් ප්‍රශ්න සහ ආර්ථික ගැටලු තරමක් මෙම කාලය තුළ පැමිණියද ඒවා විසඳා ගැනීමට ඔබට හැකියාව  ඇත.
මෙතෙක් ප්‍රමාද ව තිබූ රැකියා තනතුරු ලැබීම් සහ උසස් වීම් පිළිබඳ බලාපොරොත්තු මෙම කාලය තුළ සාර්ථක වීමට ඉඩ ඇත.
ගෙයක් ගැනීමට, අලුත්වැඩියා කර ගැනීමට මෙන්ම පදිංචි ස්ථානය වෙනස් කිරීමටද කිරීමටද ඔබ තුල ඇති බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට ඉඩ ඇති කාලයකි.
ඉගෙනීමට මෙතෙක් තිබූ බාධා තත්වය  පහ වී තරඟ විභාග වලින් පහසුවෙන් ජය ලබාගැනීමට  හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.

       -

● වෘෂභ
වෘෂභ ලග්නයේ ගුරු 6 වන රෝග ස්ථානයට පැමිණේ .
මෙම කාලයේදී  ඔබට  ලැබුණු ආදායම් තත්වය තරමක් දුරට අඩු වීමේ අවදානමක් පවතින බැවින් සැලකිලිමත් වන්න. ගමන් බිමන් වලට මුදල් වැඩි වශයෙන් වියදම් කිරීමටද සිදු විය හැක. මිල මුදල් ගනුදෙනුවලදී සහ මූල්‍ය  කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුය.
දැනට රැකියා අයටත්, රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් එතරම් සුභ කාලයක් නොවීමට ඉඩ ඇත්තේ විවිධාකර බාධා ඇති විමට ඉඩ ඇති නිසාය, රැකියා ස්ථානයේ සතුරු කරදර මෙන්ම දෝෂාරෝපණද, එල්ල වීමට ඉඩ ඇති කාලයකි.
ගෘහ ජීවිතයේ ගෙදර හිමිකම් පිළිබඳ ගැටලු ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ගමන් බිමන් බහුලව යෙදීමත් පදිංචි ස්ථානය මාරු වීමට ඉඩ ඇති කාලයක් විය හැක.
ප්‍රාථමික අංශයේ දරු දැරියන්ගේ  ඉගෙනීම්  කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වුවද උසස් අධ්‍යාපනය ලැබීමේදී තරමක බාධාකාරී තත්වයන් ඇති විය හැක.
   
    -

● මිථුන
    මිථුන  ලග්නයේ ගුරු 5 වැන්නට පැමිණේ.
තමන් බලාපොරොත්තු නොවන ලෙස ධනය වියදම් වීම වැනි ආර්ථික ප්‍රශ්න  ඇතිවිය හැකි බැවින් ගනුදෙනු - ගිවිසුම් ආදියේදි කල්පනාකාරී විය යුතුය. උරුමකම් හිමිකම් ලැබීමටද  වාසනාව ඇති කාලයකි.
රැකියා බලාපොරොත්තු අයට ඒවා ලැබීමටත්, කරන කියන රැකියා වලින් උසස් වීම් ලැබීමටත් ඉඩ ඇති කාලයකි.
ගේ දොර වාසස්ථාන පිළිබඳ මෙතෙක් තිබූ බලාපොරොත්තු සඵල කර ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. තවද දරුඵල සම්බන්ධ මෙතෙක් තිබූ ගැටලු නිරාකරණයවි දරු සුරතල් බැලීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
ප්‍රාථමික අංශයේ මෙන්ම උසස් අධ්‍යාපනය ලබන දරුවන් ගේ මෙතෙක් තිබූ ගැටලු නිරාකරණය වී යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයකි.


   -

● කටක
    කටක ලග්නයේ ගුරු 4 වැන්නට පැමිණේ
ආදායම් තත්ත්වය යහපත්ව පැවතියද බලාපොරොත්තු නොමැති අවස්ථාවල තැන්පත් ධනය වියදම් වීමට ඉඩ ඇත. ඒ පිළිබඳව  සැලකිලිමත් වන්න.
වෙනදාට වඩා වගකීමෙන් උනන්දුවෙන් වැඩ කිරීමට හැකියාව ලැබෙන කාලයක් විමට ඉඩ ඇත. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සාර්ථක විමට ඉඩ ඇති කාලයකි.
මංගල යෝග උදා වීමට ඉඩ ඇති කාලයකි. ගෙදර දොර දියුණුව උදෙසා අන් අය සමග  සමගියෙන් - සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ කඩ ලැබිය හැක.
ඉගෙනීම් කරන දරුවන්ගේ ඉගෙනීමට තරමක් බාධා ඇති වීමට ඉඩ ඇත.

    -

● සිංහ
සිංහ ලග්නයේ ගුරු 3 වැන්නට පැමිණේ.
   තම වයෝවෘද්ධ  ඥාතී හිතමිත්‍රාදීන්ගේ දේපලක් හෝ ධනයක් ලැබිමට ඉඩ ඇති කාලයකි. බාහිර කරදර  ගැටලු ඇති වීමටද ඉඩ ඇත.
රැකියා ලබා ගැනීම සඳහා හිතමිත්‍රාදීන්ගෙන් හෝ වෙනත් අයගෙන් උපකාර ලබා ගැනීමට සිදු වන කාලයකි.  රැකියාවේ මෙතෙක් තිබූ බාධා මෙන්ම කරදරකාරී තත්වය ටික කලකට සමනය විමට ඉඩ ඇත.
ගෙදර සැප සම්පත් උදෙසා පියවර රාශියක් ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයකි. වෙනදාට වඩා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට   ඉඩකඩ ලැබේ.
ඉගෙනීම් කටයුතුවල කටයුතු වලදී වෙනදාට වඩා උනන්දු විය යුතුය.
     -

● කන්‍යා
කන්‍යා ලග්නයේ ගුරු 2 වැන්නට  පැමිණෙයි.
   ආර්ථිකයේ වෙනදාට වඩා ස්ථාවරව පවත්වාගෙන යාමටත් තැන්පත් ධනය ස්ථාවර කරගැනීමටත් ඉඩ කඩ ලැබිය හැක.
රැකියාවේ වෙනදාට වඩා උනන්දුවෙන් කැපවීමෙන් රාජකාරි කටයුතු කර ගෙන යාමට ඉඩ ලැබේ. කරන කියන කටයුතු වලින් වෙනදාට වඩා කිර්තිය ගෞරවය ලැබීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ ස්ථානීය දියුණුව උදෙසා වැඩිපුර වැඩ කිරීමටද, නිවාස අළුත්වැඩියාව වැනි කාරණා උදෙසා වැඩිපුර කාලය යෙදවීමටද සිදුවිය හැකි කාලයකි.
වෙනදාට වඩා බුද්ධිය වර්ධනය කර ගැනීමට ඉඩකඩ ලැබේ. පොත පත කියවීමටද නිදහස් අවස්ථාවන්  උදා විය හැක.

   
   -
● තුලා
   තුලා ලග්නයේ ගුරු ලග්නගතව/ 1 වැන්නට පැමිණෙයි.
එදිනෙදා කටයුතු වලට අමතරව  අතිරේක ආදායම් හදිසි ධනලාභ වැනි බලාපොරොත්තු නැති ආදායම් ලැබීමට ඉඩ තිබේ. එමගින් ආර්ථිකය වර්ධනය කර ගැනීමට හැකි වන කාලයකි.
රැකියා වල යම් යම් අර්බුදකාරී තත්වයන් වීමට ඉඩ ඇති බැවිනි. ඒ පිළිබඳව කල්පනාකාරිව කටයුතු කල යුතුය. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයගෙ බලාපොරොත්තු සඵල වීමට ඉඩ ඇත.
නිවාස පිළිබඳ ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබීමට හැකි කාලයකි.  මෙතෙක් පැවති නිවාස වැඩ කටයුතු නිම කරගැනීමටත් හැකියාව ලැබෙන කාලයකි.
ක්‍රීඩා කටයුතු, ප්‍රායෝගික පුහුණුව වැනි දේ මෙන්ම  අධ්‍යාපන කටයුතු වල නියුතු  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වැඩි ඉඩක් ලැබේ.

      -

● වෘශ්චික
වෘශ්චික ලග්නයේ ගුරු 12 වැන්නට පැමිණේ.
   ආර්ථික තත්වය තරමක් දුරට පහල වැවීමට ඉඩ ඇත. තමන්ගේ දියුණුව උදෙසා ගනු ලබන තීරණ වලින් තමන්ට අවාසි  විය හැක. ඒ පිළිබඳව දෙවරක් සිතා කටයුතු කරන්න. නිවාස ඉඩකඩම් මිලදී ගැනීම වැනි කාරණා වලට සුබ පල ගෙන දෙන කාලයකි.
රැකියාවේ ස්ථාන මාරු  මෙන්ම තරමක් මතභේදයට තුඩු දෙන කාරණා සිදු වීමට හැකි කාලයකි. විදෙස් රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.
වන්දනා ගමන්, විනෝද ගමන් මෙන්ම ප්‍රියසම්භාෂණ වලටද සහභාගි වීමට ඉඩ ලැබෙන කාලයකි. දෙමව්පියන්, දරු දැරියන් අතර හොඳ හිත වර්ධනය වේ.
දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහළ බැසීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳ සැලකිලිමත්ව දෙමාපියන් කටයුතු කළ යුතුය.


     -

● ධනු
    ධනු ලග්නයේ ගුරු 11 වැන්නට පැමිණේ.
පෙර පැවති ගැටළු ගැටලුකාරී තත්වයන් පහවී තරමක් සුබ පල ගෙන දෙන කාලයක් වේ.ආර්ථික වශයෙන් මුදල් පිළිබඳව තිබූ ගැටලුකාරී තත්වයන් අඩුවී යාමට ඉඩ ඇත.
රැකියා නොමැති අයට රැකියා ලැබීමටද, රැකියා ඇති අයගේ ගැටලු  තත්වයන් වලින් මිදිමටද අවස්ථාන් උදාවේ. තරඟ විභාග ආදියට ඉල්ලුම් කිරීමට ඉඩ ලැබෙන කාලයකි.
ඉඩකඩම් මිලදී ගැනීමට මෙන්ම නිවාස අලුත්වැඩියා කිරීමට වැඩි වශයෙන් උනන්දුවක් දක්වන කාලයක් වීමට ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහළ වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න.

    -

● මකර
   මකර ලග්නයේ ගුරු 10 වැන්නට පැමිණේ.
අවිවේකී බව වැඩි වීමට ඉඩ ඇත. තමන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන කර ගැනීමට සිදු වේ.
රැකියා  ස්ථානය තුල කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු කිරීමට අවස්ථා උදාවිමට හැකි කාලයකි. තරඟ විභාග උසස් වීම් ආදියට මෙතෙක් තිබූ බාධාවන් ඉවත් වී ඒ සම්බන්ධ ව කටයුතු කිරීමට වැඩි ඉඩක් ලැබේ.
දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙන කාලයකි.
 උසස් අධ්‍යාපනයට තිබු බාධා තරමක් දුරට  අඩුවේ.
 
-
● කුම්භ
කුම්භ ලග්නයේ ගුරු 9 වැන්නට පැමිණේ.
  උනන්දුවෙන් - උත්සාහය මත තමන්ගේ ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. තමන්ට ධනය තැන්පත් කිරීමට තිබූ බාධා ඉවත් වේ.
රැකියා ස්ථානයේදි උසස් අයගේ උදව් උපකාර ලැබේ. නව රැකියා ඉල්ලුම් කර ඇති අයට ඒ සඳහා සුබ ප්‍රතිඵල ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
ඥාති හිතමිත්‍රාදීන් සමග සමගියෙන් වැඩ කටයුතු කිරීමටද, හොඳ හිත වර්ධනය කර ගැනීමටද හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ කාලය පැමිණ ඇත .
 
-
● මින
මීන ලග්නය ගුරු 8 වැන්නේ ගෝචරය වේ.
මුදල් තැන්පත් කිරීමට හෝ යම් මුදලක් ආයෝජනය කිරීමෙදි ගැටලු මතු විය හැක. සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව  සැලකිලිමත්ව කටයුතු කරන්න. තැන්පත් ධනය වියදම් වීමද ඉඩ ඇත.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ගැටලු ඇතිවීමට ඉඩ ඇත. රැකියාවේ ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සාර්ථක වේ.
ගේ දොර සමගියට බාධා ඇති වේ. ප්‍රේම සම්බන්ධතා වලටද තරමක් බාධා ඇති වීමට ඉඩ ඇත. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. දරුඵල පිළිබඳ ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපන තත්වය වර්ධනය කර ගැනීමට දෙමව්පියන්ට පියවර ගැනීමට  සිදුවේ.

-


Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment