Monday, October 5, 2015

කන්‍යා ලග්නය

ලග්න රාශි වළල්ලේ 6 වන රාශියට වැටෙන, කන්‍යා ලග්නය, ලග්න 12 අතරේ බැලූ කල අපූර්වතම ලග්නයකි.
මෙම ලග්නය නිරූපණය වන්නේ, ඉතාම ප්‍රියකරු කාන්තාවක් ඔරුවක නැගී, එක් අතකින් වී කරල් මිටියක් සහ අනිත් අතින් පහන් ආලෝකයක් දල්වාගෙන ගමන් කරන ආකාරයයි.
මෙම රටාවට ඇදුනු තාරකා පන්තිය ඉතාම පැහැදිලි අහස් කුසක් ඇති රාත්‍රි කාලයේ පියවි ඇසින් දර්ශනය කල හැක.

* කන්‍යා ලග්නය බුධට අයත්, උභය ස්ත්‍රි රාශියකි. බුධට අයත් අනිත් රාශිය වන්නේ මිථුන රාශියයි.

ඔබට මතක ඇති, අප මීට ප්‍රථම මිථුන රාශියේ ඇති ලක්ෂණ පහදා දුන්නා.

ඊට ලගින් ලගින් යන, සාධණීය තත්වය මෙම ලග්නයටද පොදු බව සිත්හි තබාගන්න.

● පර්යේෂණාත්මකව අප දකින කන්‍යා ලග්න කරුවන් ඉතාම නිර්මාණශීලිය. විචක්ෂණ බුද්ධියකින් හෙබි ඔවුන් අත්දැකිම් සම්භාරයක් ඇති අය වෙති.
* කන්‍යා ලග්න හිමි කුඩා දරුවන් ඉගෙනීමට ඉතා දක්ෂ පක්ෂකම් දක්වන අය වෙති.

● බුධගෙන් නිවේදනය වන්නා වූ තීක්ෂණ බුද්ධිය, එසේම ගණිත මිණිත ආදියට ඇති දක්ෂතාවය, දැන උගත් බව, ව්‍යක්ත මුඛරි භාවය, විවාද මුඛ භාවය එසේම ඉතාම සුලලිත බව, මුදු සුමුදු ගතිය ආදි බොහෝ ලක්ෂණ ඇත.
ඉතාම සාමකාමි සහ ප්‍රගතිශීලි ජිවිත ගත කරන මොවුන්, සමාජයට ප්‍රියමනාප බවක් පෙන්වයි. එසේම ලෝ සුපලත විද්‍යාඥයින්, තානාපති වරුන්, ලේඛකයන්, නළු-නිලියන් මේ ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත.

* එසේම අප අමතක නොකල යුතුයි, බුධ ග්‍රහයාට හිමි මෙම කන්‍යා ලග්නයෙන් උපන් අය ක්‍රීඩා වලටද සූරකම් පාන අයවලුන් බව.
කන්‍යා ලග්න හිමි අයට ඉතාම ගැලපෙන රක්ෂා වන්නේ, මහජන උපයෝගිතා කටයුතු වල ඇති රක්ෂාය. ඒ අතර තැපැල්, විදුලි සංදේශ සේවා, දුම්රිය ගමනාගමන කටයුතු, එසේම විශේෂයෙන්ම ජනමාධ්‍ය අංශය(නිවේදන වෘත්තිය, වාර්තාකරණය ඒ ආදි සියල්ලම), තානාපති ධූර, උපදේශන ධූර, දේශකයන් වශයෙන් යනාදිය වේ.

● ඔබ දන්නවාද ?
කන්‍යා ලග්නය හිමි කෙනෙක්, අඩු අධ්‍යාපනයක් හිමි කරගත්තද ඔහුගේ බුධ සහ සිකුරු යන ග්‍රහයන් යම් ස්ථානයක බලවත් නම් ඔවුන්ට බ්‍රෝකර් වැඩ කර (වාහන, ඉඩම්) මුදල් උපයා ගැනීමට පුලුවන්.
මා දන්නා එක්තරා කන්‍යා ලග්න හිමියෙක් සිටිනවා. ඔහු වෘත්තියෙන් තැරැව්කාරයෙක් හෙවත් බ්‍රෝකර්වරයෙකි. මල පොතේ අකුරක්වත් නොදත් ඔහු අද ඉතාම ඉහල ආර්ථික මට්ටමක සිටින්නෙ ඔහුගේ රාජකාරිය ඔහු අකුරටම කරන නිසාය.

* එසේම බුධ හිමි කන්‍යා ලග්නයට පාප බල, පාප දෘෂ්ටි සහ චන්ද්‍රයා දූෂිත වුවොත් එවැනි අය රජයේ ඉහල නිලතල වලට පත්වි රාජ්‍ය සම්පත් බොරු ගණන් යොදා පිල්ලි ගැසීමට සහ මාටියා ගැසීමට මේ අය පෙළඹෙනවා.
ඔබ දන්නවා ඇති විවිධ රාජ්‍ය ආයතන වල ඉහල තැන්වල විශේෂයෙන් විගණන ක්ෂෙත්‍රයට අදාලව, වැජඹෙන සමහරක් මහත්හොරුන් මෙවැනි කුප්‍රකට බුධගෙන් යෙදෙන, කුජ-බුධ යෝග රවි-බුධට ශනිගෙන් යෙදෙන දෘෂ්ටි ආදිය නිසැක වශයෙන් තිබෙන්නට පුලුවන.
අල්ලස් ගන්නා පගා ගන්නා අයටද මෙම යෝග ඇතිවිමට ඉඩ ඇත.


● කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධට අයත් නැකැත් 3කි. අස්ලිස-දෙට- රේවතී යන නැකැත්ය.
ඒ අතරින් රේවතී නැකත ඉතාම බලවත් නැකතක් බව කිව යුතුය.


● එසේම කන්‍යා ලග්න හිමි අය ඉතාම වයසට පත් වුවත් තරුණ බව සදාකාලිකවම පවති. එයට හොඳම උදාහරණය නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
ඔහුට වයස අවුරුදු 70ක් වුවත් තරුණ පෙනුමක් සහ ජවයක් ආඪ්‍ය වී ඇත්තේ මේ ලග්නයේ ඇති ගුණාංග නිසා බව අපට උපකල්පනය කල හැක.
අප රට පාලනය කල පාලකයන් බොහෝමයක් කන්‍යා ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත.


● කන්‍යා ලග්න හිමි අයගේ ප්‍රේම සබදතා, පූජනීය තත්වයකින් පැවතීමට යම් ඉඩකඩක් ඇත.
එය ග්‍රහ බලය අනුව සිදුවන දෙයකි. විශේෂයෙන්ම කන්‍යා ලග්න අය ජිවිතය ගැන බැරෑරුම්ව නොදකී.
මේ අයගේ සිත චංචල බව කිව යුතුය. සිත එහා මෙහා දුවයි. පරම පූජනීය ප්‍රේමාන්විත සිතක් බිහිවිමට ග්‍රහ බල අවශ්‍යයි. ඒ ගැන නම් කේන්දරය බලාම කිව යුතුය.
* පොදුවේ කන්‍යා ලග්න අය විනෝදයෙන් සහ කෙලිදෙලෙන් සිටිමට කැමති අයයි. වගකීම් ගැනිමට සහ ජිවිතයේ බර කරට ගැනිමට එතරම් කැමති නැත.

** මා සිතන්නේ මෙම කන්‍යා ලග්න හිමි අය විවාහ විය යුත්තේ, වයස අවුරුදු 28න් පසුව බව කියාය. එවිට ජිවිතයේ ඇති බැරෑරුම් ගතිය ක්‍රමයෙන් අවබෝධ වීමට ගනී.

● කන්‍යා ලග්න හිමි අය බොහෝවිට නිරෝගී අය වෙති.
මේ අයට ලෙඩ රෝග වැළදෙන්නෙ කලාතුරකිනි.
විශේෂයෙන්ම මධ්‍යස්ථ වයසෙන් පසු ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම හොදයි.

* කන්‍යා ලග්න අයට හොඳ ග්‍රහ බල ඇත්නම් වසර 90කට ආසන්න කාලයක් ජිවත් වේ.

__ කන්‍යා ලග්න අයගේ දුර්වලතා __

තමාගේ ආත්ම විශ්වාසය ටිකක් අඩුවීමට පුලුවන. නිතර අන් අය අවිශ්වාස කරයි.
සියලුම දෙනා කෙරෙහි යම්කිසි සැකයක් තබාගෙන බලයි.
අනුන්ගේ වැරදි අඩුපාඩු සෙවීමට නිතැතින් දක්ෂයි. මුඛරිබව නිසා තැන නොතැන බලන්නේ නැත. වුවමනාවට වඩා පිලිවෙලට වැඩ කිරිමට ගොස් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

කන්‍යා ලග්න හිමියන්ට,

● ශුභ වර්ණ - කොළ පාට සහ ලා නිල් පාටය.

● ශුභ දින  - බුධ දිනය සහ සිකුරාදාය.

●  ශුභ අංක  - 5, 6 ආදියයි. 3ද මධ්‍යම ප්‍රමාණයෙන් ගැලපේ.

● ශුභ මාණික්‍ය රත්නය  - මරකත පච්ච ගලයි.


* විශේෂයෙන්ම කිව යුතුයි, කන්‍යා ලග්න හිමි අය සුභ කටයුතු ආරම්භ කිරිමේදි හෝ තවත් විශේෂ අවස්ථා වලදි තමන්ගේ ලග්නය අනුව ඉෂ්ට දෙවියන් වන මහා විෂ්ණු දෙවියන්ට වැඳ පුදා ආරක්ෂාව ඉල්ලීම් යහපති.


***** පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

___ *** මෙම සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මෙම පලාපලය වෙනස් විය හැක. ___

No comments:

Post a Comment