Thursday, October 15, 2015

තුලා ලග්න හිමියන් !


තුලා රාශිය රාශි වළල්ලේ 7 වන රාශියයි. සිකුරු ග්‍රහයාට හිමිවන පුරුෂ රාශියක් වන මෙය, වායු බල රාශියකි.
නැගෙනහිර අහසේ තරාදියක ස්වරූපයෙන් ඇති තාරකා පන්තිය තුලා රාශිය යනුවෙන් ආදියේ ඍෂිවරු මෙම රාශිය හැඳින්වීය.

තුලා රාශියේ චන්ද්‍රයා/සඳු ගමන් කරන විට නැකැත් 3ක් මුණ ගැසේ. එනම් කුජ හිමි සිත නැකත, රාහු හිමි සා නැකත, ගුරු හිමි විසා නැකතයි.
මෙම නැකැත් 3කට රාශි වළල්ලේදි ඉඩදෙන තුලා රාශියෙන් උපදින අය ගැන විමසමු.

● තුලා ලග්නයෙන් උපදින අය බොහෝම මධ්‍යස්ථ අයවලුන් වෙති.
විශේෂයෙන්ම මෙහිදී කිව යුත්තේ, සාධාරණ, සමාජ සාධාරණය ගැන කතා කරන විශේෂයෙන්ම ධර්මිෂ්ට, නීතිගරුක, සාධාරණ මිනිසුන් මේ ලග්නයෙන් උපදී.

● තරාදිය මෙන් ජීවිතය සමබරව පවත්වාගෙන යන පුද්ගලයන් වෙති.
කෙලින් වැඩ කරයි. අන් අයට අනුකම්පා කර උදව් කිරීමටද පෙළඹේ. යුක්තිගරුක, නීතිගරුක අය වෙති. සමගියෙන් සාමදානයෙන් ජීවත් වීමට කැමති අයයි. තමා ගැන සිතනවාට වඩා අනුන් ගැන සිතන ලක්ෂණද ඇත. අන් අයට උදව් කිරීමට තම කාලය ශ්‍රමය ධනය වැය කරයි.
* වැඩට ශූර අයවෙති. සිදුවන දේවල් ගැන දැනගැනීමේ සහජ හැකියාවක් ඇත.
තරහ ආවද ඉතා ඉක්මණින් තරහ නැතිවේ. කතාවෙන් අන් අයගෙ සිත් සතුටු කිරීමටද හැකි අය වෙති. අන් අයගෙ හොද හිත දිනාගෙන කටයුතු කරන මානුෂවාදි චරිත බොහෝ තුලා ලග්න හිමියන් තුලින් දැක ඇත. ලෞකික ආශා සහිතයි

තුලා ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහ තාරකාවයි.
අප මීට කලින් සිකුරුට අයත් එක ලග්නයක් සම්බන්ධව විග්‍රහ කලෙමු. එම ලග්නය වූයේ වෘෂභයයි.
වෘෂභ ලග්නයේ මෙන් නොව සිකුරු තුලා රාශියෙදි, තුලාව ඔහුට දිවා බල පුරුෂ රාශියකි.

● වෘෂභ රාශියේ නැති යම් යම් සිකුරුට අයත් ආවේණික ගතිගුණ, තුලාවෙදි ප්‍රකටව පෙන්වයි.
එනම්, සත්‍යවාදි බව විශේෂයෙන්ම මධ්‍යස්ථ බව, ආදරය ප්‍රේමයට ඇති නම්‍යශීලිභාවය එසේම සිකුරු ග්‍රහයා ලිංගික කටයුතු එසේම ඊට අදාල සියලුම කටයුතු වලට යම් ආකාරයකට මූලිකත්වය දෙන බැවින් ඒ ඒ කටයුතු වල ඇති සමමිතික භාවය තුලා රාශියෙදි මනාව පෙන්වයි.

● මේ තුලා රාශියෙදි දුකට අධිපති ශනි/සෙනසුරු ග්‍රහ තාරකාව, උච්ච බලයට පත් වේ. මේ උච්ච බලයට පත්වෙන ශනි, විශේෂයෙන්ම ලෝකෝත්තර පැත්ත ගැන කල්පනාකාරි වේ. එය විශේෂිත කාරණාවකි.

● තුලා ලග්නයේ අයට බොහෝදුරට, වානිජ ක්ෂෙත්‍රය ගැලපේ යැයි අපගේ නිගමනයයි.
මන්ද අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය අත්දැකීම් තුල තුලා ලග්න බොහෝ අය ව්‍යාපාරික කටයුතු වලින් ඉදිරියට ගොස් එහි විශේෂිත ජයග්‍රහණ හිමි කරගෙන සිටි. එනම් ඒ අයට එයින් වාසි සහගත තත්ව ඇතිවි ඇත.
තුලා ලග්නයේ අයට තවද විදේශ රැකියාවන් මනාව ගැලපේ. කළමණාකරණ ධූර, රාජ්‍ය සේවයේ ඉහල තල, ගුරු වෘත්තිය, විශේෂයෙන් නීතිය හා සාමය බැඳුනු වෘත්තීන් හොඳින් ගැලපේ.
* එසේම යම් ජන්මියෙකුගේ අඟහරු/කුජ තුලා රාශියේ තැන්පත් වීමෙන් ඔහු විනිශ්චකාරධූරයකට පවා සුදුසු බව එක්තරා ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයක තිබුනි- ඒ ගැන කල්පනාකර බලන විට එය සත්‍ය කාරණාවකි.
මන්ද එම පුද්ගලයා බොහෝවිට පක්ෂග්‍රාහි නොවන අපක්ෂපාති පුද්ගලයෙක් බවට පත්වන නිසාය.

● ආදර සබදතා ගැන කල්පනා කර බැලුවහොත් ආදරයට ප්‍රේමයට ඉතාම නම්‍යශීලි ආකාරයට යොමුවේ.
තුලා ලග්න කරුවා, වෘෂභ ලග්න කරුවා මෙන්ම ආත්මාර්ථකාමි හැඟීම් ඇති කෙනෙක් නොවේ. විශේෂයෙන්ම පෙම් සබදතා වලදී බොහෝවිට තමන් දක්වන ආදරයට සමාන ආදරයක් ආදරවන්තයා/වන්තියගෙන් බලාපොරොත්තු වේ. මොවුන් ඉතා කලාතුරකින්වත් වරදේ නොබැඳෙන අයවෙති. ඒ තරමටම සිතිවිලි වල ස්ථාවරත්වය පවත්වාගෙන යයි. (මේ කේන්දරය අනුව වෙනස් වේ)
විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ, විවාහයෙන් පසු භාර්යාවට/ස්වාමියාට දැඩි සෙනෙහසක් දක්වන තුලා ලග්න හිමියන් ඉන්පසු තම දුවාදරුවන්ටද බොහෝ ආදරය කරුණාව දක්වයි.
පවුලේ සියලුම ඥාතින්ටද එක හා සමානව සලකයි. මොවුන් පටු භේද සලකන්නේ නැත.
ගෘහ ජිවිතය තුල ඉතා සාමකාමිව හැසිරෙන කෙනෙකි, තුලා ලග්න හිමියා.

● තුලා ලග්න අයට බොහෝවිට මුත්‍රා අමාරු, ජීර්ණ පද්ධතියේ ආසාදන හෝ රෝග වැළදීමේ ඉඩකඩ ඇත. කෙසේ වෙතත් පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වල නියැලෙන අපට තුලා ලග්න හිමියන් බොහෝවිට නිරෝග ජිවිත ගත කරන අය වෙති. විශේෂිත උපද්‍රව ඔවුන්ට නොමැත.

 * ලග්නයට හොද ග්‍රහ බල එල්ල වී තිබුනොත්, ඔවුන් සාමාන්‍යයෙන් අවුරුදු 80 ඉක්මවා ආයු බලය වින්දනය කරති.

_ දුර්වලතා_

ගතානුගතික මත වල එල්ලී සිටී. එයට අමතරව නවීන ලෝකය හා කටයුතු කිරීමට මැලිකමක් දක්වයි.
සිත තුල මානසික ඒකාග්‍රතාවය අඩුවීම ඇත.
අන් අයට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටිය හැක.


● ශුභ දවස - සෙනසුරාදා දිනය හැරුනු විට බදාදා සහ සිකුරාදාය

● දිශාව - උතුර, ඊසාන (සියලුම ලග්න වල සාමාන්‍ය ලෙස උතුර සහ ඊසානය සුබයි)

● ශුභ වර්ණය - ලා නිල් පාට සහ ලා කොළ පාටයි.

● ශුභ අංක - , 5-6-9

No comments:

Post a Comment