Tuesday, June 30, 2015

සෙනසුරු මහ දසාවේ හැටි - 2

සෙනසුරු මහ දසාව ආරම්භ වන්නේ, ගුරු මහ දසාව අවසන් වූවායින් පසුවයි. එසේ නම්, එම මහ දසාව සුභදායකව සිටි ජිවන තත්වයකින් මිදී කටුක තත්වයට පැමිණීම ගැන නිරන්තරයෙන්ම ඔබට සිහියට නැගෙනු ඇත.
සෙනසුරු මහ දසාව වසර 19ක් තිස්සේ පවති. මෙම මහ දසාව පුද්ගලයාගේ පූර්ව ආත්ම වල අකුසල් පඩිසන් දීමේ යම් කාලයක් ලෙස ජ්‍යොතිෂ්‍යෙදිය හඳුන්වයි.
නමුත් සෙනසුරු මහ දසාව පුද්ගලයෙකුගේ ධෛර්යය, පෙරට යාමේ ගතිය, නොසැලෙන ගතිය ගැන යම්කිසි ප්‍රක්ෂේපණයක් ගැනීමට පුලුවන් කරයි.

සෙනසුරුගේ සෙනසුරු අතුරු දසාව.
අවු 03, මාස 0 දවස් 03
ඉතාම දුක්සහිත කාලයකි. කරන කියන කටයුතු අඩපණ වෙයි. ව්‍යාපාර කරන අයගේ ඒවා බංකොලොත් වෙයි. විවාහක අයගේ යුග දිවියට අයහපත් බලපෑම් ඇති කරයි. තවද නිශ්චල චංචල දේපල නැතිවිමට මේ කාලය බලපෑ හැක. එසේම සෙනසුරු නරක තැනක සිටිනවා නම් අතපය කඩා බිඳ දැමීමට පවා මේ ග්‍රහයා පසුබට නොවේ.

සෙනසුරුගේ බුධ අතුරු දසාව
අවු 02 මාස 08 දින 09
ඉතාම හොද කාලයකි. තිබුන අපල වල තරමටම තමාට යම් සහනයක් හිමිවෙයි. තමාගේ කටයුතු වලට යම් අස්වැසිල්ලක් ලැබෙයි. නවතා දැමූ ඉගෙනීම ආයෙත් ආරම්භ කරන කාලයකි. එසේම නවතා දැමූ ව්‍යාපාරික කටයුතු නැවත කරගෙන යාමට හැකියාව ලැබෙයි.

සෙනසුරුගේ කේතු අතුරු දසාව
අවු 01 මාස 01 දින 09
ඉතාම අයහපත්ය. බොහෝසෙයින්ම පීඩිතයි. මානසික ව්‍යාකූල භාවය ඇතිවෙයි. ශාරිරික දුබලතා ඇතිවෙයි. කායික බෙලහීනතාවය ඇතිවෙයි. ලිංගික රෝගද, බඩවැල් ආශ්‍රිතව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිය හැක. නින්දා ලැබේ. මහා මූසල කාලයකි.
රටතොට ජනප්‍රියව ප්‍රසිද්ධව සිටි අය පවා මේ කාලයෙදි ආගිය අතක් සොයාගැනිමට බැරිව සැගවි යයි.

සෙනසුරුගේ සිකුරු අතුරු දසාව.
අවු 03 මාස 02
මේ කාලය තිබුනාට වඩා එක් ආකාරයකට හොද කාලයකි. යම් අස්වැසිල්ලක් ලැබේ. පෙම් සබදතා නැවත ගොඩ නැගේ. එසේම විවාහ වීමට යම් අවස්ථාවක් ලැබෙයි. ප්‍රේම බන්ධන නැවත ඇතිවෙයි. නැතිවු ජනප්‍රියත්වය ක්‍රමානුකූලව නැවත ඇතිවෙයි . එසේම දියුණුව සම්බන්ධව යම්කිසි තීරණයකට එළඹීමට පුලුවන් කාලයකි.

සෙනසුරුගේ රවි අතුරු දසාව.
මාස 11 දින 12
තරමක අයහපත් කාලයක්. පියා සමග ගැටළු ඇතිවෙයි. සෞඛ්‍ය තත්වය අයහපත් වේ. ඇවිදිලි අධික වෙයි. පදිංචි ස්ථාන අතැර යාමට සිදුවේ. මුදල් අගහිගකම් මෙන්ම ණයතුරුස් නිසා නින්දා ඇතිවිය හැක. මානසික ආතතිය තදින්ම බලපායි.

සෙනසුරුගේ සදු අතුරු දසාව
අවු 01 මාස 07
ඉතාම කෙටි කාලයක් ලෙස ගත වෙන මේ කාලයේ මව්ට යම්කිසි අපල උපද්‍රව සිදුවේ. ඒරාෂ්ඨකයකට සමානයි. එසේම තමාගේ කටයුතු වලට යම් බලපැමක් ඇතිවෙයි. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
හදිසි අනතුරු වලින් පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම තරුණ වයසෙදි මේ දසාව යනවා නම් විශේෂයෙන්ම පිරිමි දරුවන් ඔවුන්ගේ කේන්දරයන් පරික්ෂා කල යුතුයි. නොදන්නා ස්ථාන වල දියනෑමෙදි මිය යෑමේ අවදානමක් පවති.

සෙනසුරුගේ කුජ අතුරු දසාව
අවු 01 මාස 01 දින 09
ශරීරයට තද වේදනා ගෙන දෙන තුවාල ඇතිවෙන කාලයකි. ලේ කෝප වෙයි. අසාත්මිකතා ඇතිවෙයි. සිතට කේන්තිය පාලනය කරගැනීමට ඉතාම අමාරු කාලයකි. ඔබගේ විවාහ කටයුතු වලදී අයහපත් විදියට බලපායි. දෙදෙනා අතර සමගියට බාධා ඇතිවේ. ප්‍රබල බලපෑම් ඇත.

සෙනසුරුගේ රාහු අතුරු දසාව
අවු 02 මාස 10 දින 06
තදබලව ඇවිද්දවන කාලයකි. සමහරවිට විදේශ රටවල ඇවිද්දවයි. නමුත් මෙහි හොද නම් සෙනසුරු ගෙවෙන කාලයක් නිසා දියුණුවට යම් මංපෙත් විවර විමයි. නිවසේ නම් සිටිමට ඒ තරම් කාලයක් හිමි නොවෙයි. බුද්ධිමත්ව කටයුතු කලොත් මේ කාලය ඇතුලත යම්කිසි ජිවිතයේ විශාල දියුණුවකට හිමිකම් කිව හැක. තවද විශේෂිත පුද්ගලයන් මුණ ගස්වයි.

සෙනසුරුගේ ගුරු අතුරු දසාව
අවු 02 මාස 06 දින 12
මෙම කාලය ඉතාම හොදයි. මේ කාලය පටන් ගත්තා කියන්නේ සෙනසුරු මහ දසාව අවසන් වූවා හා සමානයි. මෙම කාලයෙදි නැවත නැගිටිමට පුලුවන්. එසේම මිල මුදල් තත්වය ගැන සුභදායක බලාපොරොත්තු ලැබෙයි. එසේම බොහෝසෙයින්ම තමන්ගේ අනාගතයට යම් හොද බලාපොරොත්තු ඇතිවී ඒ තුලින් වාසනාව ලැබෙයි.

** අප මේ මහ දසාව තුලින් සදහන් කරන්නේ සෙනසුරු මහ දසාවෙදි පුද්ගලයෙකුට බලපාන පොදු පලාපල විස්තරයකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට කේන්දර වල ඇති ශනිගේ සහ අන් ග්‍රහයන්ගේ විචල්‍යභාවය නිසා මෙම තත්ව යම්කිසි වෙනස් ආකාරයකට ප්‍රතිඵල දීමේ හැකියාවක් ඇත. එසේ හෙයින් ගතානුගතිකව මේවායේම එල්වාගෙන නොසිට කේන්දර පරික්ෂා කරවාගෙන මේ ගැන තීරණ ගැනිම පාඨක ඔබට භාරයි.
මන්ද අපගේ ලිපි කියවන සමහරක් අය, අපට කේන්ද්‍ර උගන්වීමට පටන් ගනී - ගොන් තර්ක ගෙනෙයි. ඔවුන්ගේ කාලයද අපගේ කාලයද විනාශ කරගනී. නමුත් බුද්ධිමත්ව යම්කිසි කටයුත්තකට කතා කරන්නේ නම් යම් දෙයක් කියාදීමටද අප පසුබට වන්නේද නැත. බුද්ධියෙන් විමසා කටයුතු කරන්න.

No comments:

Post a Comment