Friday, July 10, 2015

ඉවසීමෙන් බුද්ධියෙන් හැමදේම කරන්න !


ජීවිතයේ සමහර වෙලාවට තමන් කරන දේවල් වරදින, වැරදෙන, අතපසුවෙන වෙලාවල් එනවා. ඒ වෙලාවට කරන ගොඩක් දේවල් වරදිනවා වගේ වෙනව. එතකොට මේ ජිවිතේ හොඳක් තියෙනවද කියල හිතෙනව අවස්ථා එනවා.
මේ ජිවිත කාලෙම යහපත් දේවල් කරලා, අනිත් අයට උදව් කලත් තමන්ට උදව්වක් ලැබෙන්නෙ නෑ නේද, තමන්ට හොඳක් වෙන්නෙම නෑ නේද කියල හිතෙන වෙලාවල් එනවා.

එහෙම වෙන්න හේතු ගොඩක් තියෙන්න පුලුවනි.
සමහරවිට තමන්ගෙම නොසැලකිලිමත්කම, සමහරවිට තමන්ගෙ අපලයක් නැත්නම් පෙර කල අකුසල කර්ම නිසා වෙන දෙයක් වෙන්න පුලුවන්.
මේ ආත්ම භවයේ ගොඩක් හොඳින් හිටියට සංසාරයෙ අපි මොනව කරල තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒවට ලැබෙන විපාකද දන්නෙත් නෑ.

සමහර අයගෙ මතයක් තමයි, “ මම කාටවත් වැරදි කරල නෑ. ඒනිසා මටත් වරදක් වෙන එකක් නෑ “ කියල... ඒකත් බොහෝම වැරදි අදහසක්. වැරදි කලා නෑ කියල කරදර නොවෙන්න විදියක් නෑ.

කාට උනත් වරදින වෙලාවල් එනවා. කරදර වෙලාවල් එනව. ඒ වෙලාවට මූලිකව උවමනා වෙන දේ තමයි ඉවසීම.
ඉවසීමත් ලේසි පහසු නෑ. සමහරවිට දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඉවසන්න වෙනව. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල ඉහලටම ආපු සෑහෙන දෙනෙක් පුදුම තරමට ඉවසපු බව අපි කරපු පර්යේෂණ වලින් අපිට තහවුරු වෙලා තියෙනව.
ඒනිසා දුකකදී කරදරයකදි ඉවසීමෙන්, විමසීමෙන් ඒ ගැන බලන්න. ආයෙ ඒ කරදර නොවෙන තැනට වැඩ කරන්න.

කේන්දරයට අනුව අපල තිබුනත් නැතත් තමන්ගෙ ජිවිතේ සාර්ථකත්වය වෙනුවෙන් බුද්ධියෙන් යුතුව හරියට කැපවෙන්න.
දන් පින් කරන්න. පුලුවන් විදියට අනිත් අයට උදව් කරන්න. කරන පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න.
(සියලු ඥාතින්ට අනුමෝදන් කරන්න කිව්වෙ අපිට මතක මේ ආත්ම භවයේ සීයා ආච්චිව විතරක් උනත් අපි සංසාරේ අපිට ඥාතින් උන සමහර අයට පින් උවමනා වෙලා ඉන්නව වෙන්න පුලුවනි, අපි පින් නොදුන්නට. එතකොට එයාල කරදරයෙන් ඉන්නවා වගේම, ඒ අයගේ වෛරී බැල්මක් තමයි අපිට ලැබෙන්නෙ. එයාලට පින් අනුමෝදන් කරාම එයාලගෙත් ආශිර්වාදය ලැබෙනවා.)

කර්මය උත්සහයෙන් ජයගන්න පුලුවන් කියලයි බුදුන්වහන්සේ දේශනා කලේ. ඒනිසා වැරදුනා පැරදුනා කියල අතාරින්න එපා. ජිවිතේ දිනන්න, සතුටින් සැපෙන් ඉන්න වැඩ කරන්න.
සිල් රකින්න, යහපතින් ඉන්න. ඒකම හැමදාමට සතුටින්, සංතෘප්තියෙන් ඉන්න හේතු වේවි !

බුදු සරණයි !

#ඉරුසේවය

No comments:

Post a Comment