Monday, July 13, 2015

ගුරු මාරුව - ලග්න 12ට බලපෑම (2015 ජුලි 15 සිට)

ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහයෙක් වන ගුරු හෙවත් බ්‍රහස්පතී, පුද්ගලයාගේ ප්‍රඥාව සහ ගුණ ධර්ම නීරෝගී භාවය සත්‍යවාදි බව, අවංක බව, මානුෂීය ගතිගුණ එසේම ධනවත් බව ආදි මනුෂ්‍ය ජීවිතයේ උතුම් තත්ව වලට මෙම ග්‍රහයා බොහෝ විට ශුභ බලපෑම් ඇති කරයි. අපල කරන්නේ ඉතාම කලාතුරකිනි. සුඛෝපභෝගි ජිවිතයටද ගුරුගේ විශාල බලපෑමක් ඇත.
(රටට ලෝකයට බලපෑම  https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1436710574./1160496140634130/?type=1)

නව ග්‍රහයන්ගෙන් ශුභ පල දීමේ ප්‍රමුඛයා හෙවත් සුපිරිම ග්‍රහ තාරකාව වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ තාරකාව 2015 වර්ෂයේ ජුලි මස 14 වන දින උදේ 6.20ට ස්වකීය උච්ච භවනය වූ කටක රාශියේ සිට සිංහ රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙයි. සිංහයෙදි මඳක් නපුරු වන ගුරු නිසා විවිධාකර වෙනස්කම් අපේක්ෂිතය.
පොදුවේ සලකා බලන කල, ග්‍රහ මාරු වලදි අතිශයින් වැදගත් වන ග්‍රහමාරු 3 අතරින් 1කි මෙම ගුරු මාරුව.


ලග්න 12ට නිගමනයක් මෙසේ.

●  මේෂ
ගුරු මාරුව ඉතාම සුභයි.
5 වැන්නට ගුරු මාරුවේ. තමාගේ ආදර බන්ධන ස්ථිර වීමට හේතුයි. ධන ලාභ, හදිසි ධනලාභ ලැබේ. විවාහක අයට වාසනාවන්ත දරු සම්පත් හිමිවේ. එසේම අධ්‍යාපන කටයුතු කරන අයගේ අධ්‍යාපනය දියුණු වන අතර, උසස් අධ්‍යාපනයේ නියුතු අයට ඉතාම හොදින් එම කටයුතු කරගෙන යාමට පුුලුවන් වාසනාවන්ත කාලයක්ය.

●  වෘෂභ
ඉතාම හොදයි.
4 වැන්නට ගුරු පැමිණේ. භූමි ලාභ සැප සම්පත් හිමි වන අතර, තමන්ගේ භෞතික වටපිටාව දියුණු වේ. පවුල තුල තමාගේ ජනප්‍රියත්වය සහ ස්ථාවරත්වය රැකේ. අලුත් නිවාස ඉදි කිරීමට හොද කාලයකි. ගෘහණියන්ට අලුත් ගෘහ උපකරණ මිලදී ගැනීමට වාසනාව ලැබේ.

●  මිථුන
එතරම්ම ශුභ නැත.
3 වැන්නට ගුරු පැමිණේ. නමුත් සහෝදරයන්ට ශුභ තත්වයක් මේ තුලින් පෙන්වයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් පසුවන්න. මිථුන ලග්න කාන්තා පක්ෂයේ අය ඉතා රූමත් අය වෙති. නමුත් ඔවුන්ගේ ශරීර විලාසහ (පොඩි ෆිගර්), අන්ෂේප් හැඩය වෙනස් වීමට ඉඩ ඇත. පපුව උදරය මහත් වි තරමක් අවලක්ෂණ වීමට ඉඩ ඇත. ඒ ගැන සැලකීලිමත් වන්න. එතරම් ශුභයි යනුවෙන් කිව නොහැක.

●  කටක
ඉතාම ශුභයි.
2 වැන්නට ගුරු පැමිණේ. ධන - ධාන්‍ය තත්වය දියුණු වෙනවා. ව්‍යාපාරික කටයුතු කරන අයගේ ආර්ථික තත්වය ඉහල අගයකට අවතීර්ණ වෙනවා. එසේම කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම හොදයි. තමාගේ ප්‍රිය වචනය නිසා බොහෝ ජනී ජනයා ආකර්ෂණය කරගැනීමට පුලුවන්.

●  සිංහ
ඉතා ශුභ කාලයකි.
1/ලග්න භාවයට ගුරු පැමිණිම හොදයි. පසුගිය වසරක කාලයකට තිබුනු අධික වියදම්කාරි භාවය එසේම අනවශ්‍ය වියදම් ආදි කරදර සියල්ලම හිරු දුටු පිණි මෙන් ඉවත් වෙයි. ඉතාම හොද කාලයකි.
අලුත් චින්තනයකින් ජීවිතය සැලසුම් කරගැනීමට හොදම කාලයකි.

●  කන්‍යා
එතරම්ම ශුභ නැත.
12 වැන්නට ගුරු පැමිණිම එතරම්ම හොද නැත. ලග්නයට බාධක ග්‍රහයෙක් වන මෙම ගුරු ග්‍රහයා 12 වැන්නට පැමිණීම ව්‍යාපාරික කටයුතු අඩපණ වීමට හේතුවිය හැක. මානසික තත්වය පිරිහීම නිසා විවිධ පාඩු ඇති කරගනී. විශේෂයෙන්ම තමා කිට්ටුවන්තව ආශ්‍රය කල අයගේ වෙන්වීම, තරහ වීම, අත්හැර යාම මේ කාලයෙදි දක්නට ලැබේ. පන්සලක්, පන්සලක් ගානේ කෙතරම් ඇවිද්දත් ඉන් කිසිම සුගතියක් නැති විදියට දැනේ. එසේම තිබුනු රැකියාව අහිමි වීම නිසා මානසික කරදර වලට මුහුණ පෑමට ඉඩ තිබේ. තවද අලුත් රැකියාවක් සොයාගැනීම බොහෝ අසීරු විය හැක.
තත්කාල ග්‍රහචාරයේ, ලග්න භාවයේ රාහුද, 12 වැන්නට ගුරු පැමිණීමෙන් පසු එම තත්වයද, ශනි 3 වැන්නේද සිටින නිසා මෙම සියලුම ග්‍රහචාර සංසන්දනය කර බැලූවිට කන්‍යා ලග්නකරුවන්ට චිත්ත පීඩනය වැඩි කාලයකි. ඔබ ආගම දහමට නැඹුරු වී උපේක්ෂාවෙන්, මෛත්‍රිෙයන් කටයුතු කර සංහිඳියාව ඇති කරගන්න.

●  තුලා
ඔබට ඉතාම හොඳයි.
11 වැන්නට ගුරු පැමිණීම, ඉතා ශුභ කාලයක් වේ. ශක්තිමත් වූ අත් දෙක තවත් ශක්තිමත් වේ. පසුගිය කාලයේ තමාට නින්දා අපහාස කල අය, බැන්න අය තමන්ගේ කකුල් 2 පාමුලට පැමිණේ. තමාගේ යහපත් ගතිගුණ සහ මානුෂීය භාවය නිසා දේශ දේශාන්තර වල තමාගේ හොඳ නම පැතිරේ. හදවත පුරාම ඇති මෛත්‍රිය නිසා තමා යටතේ පාලනය වන අය සතුටින් සිටී. එසේම අලුත් සම්බන්ධකම් ගොඩනැගේ. විශේෂයෙන්ම මෙම කාලයෙදි තුලා ලග්න කරුවන් සංහිඳියාවට කැමතිය. එසේම ඉතාම ශුභදායක තත්වයක් තුලා ලග්න කරුවන්ට මෙම කාලයේ ලැබේ. විශේෂයෙන්ම මෙම ලග්න හිමි අයගෙන් මෛත්‍රිය පැතිරේ.
මේ මෛත්‍රිය සදහන් කරන විට, මෙලොව ඇති මිල මුදල් සහ භෞතික සැප සම්පත් වලට වඩා මෛත්‍රිය වටින බව අප කාහට වුවද හැගී යයි.

●  වෘශ්චික
ඉතාම හොඳයි.
10 වැන්නට ගුරුගේ පැමිණිම ඉතාම හොදයි. ධන - ධාන්‍ය තත්වය දියුණු වේ. අලුත් නිලතල නම්බු නාම ලැබේ. විශේෂයෙන්ම ආර්ථික වාසි හිමි වේ. වෙලහෙලදාම් දියුණු වේ. රැකියා වල නියුතු අයට උසස් වීම් ලැබේ, විදෙස් රැකියා වල නියුතු අයටද ඉතාම සුභයි.
කාන්තාවන්ගේ අැඟපත මහත් වීමට ඉඩ ඇත.

●  ධනු
ඉතාම ශුභයි.
9 වැන්නට ගුරු පැමිණිම ඉතාම හොදයි. ආගමික භක්තිය ඇතිවේ. වන්දනා ගමන් ආදිය හිමි වෙයි. දේශ දේශාන්තර වල සංචාරය නියමයි. බොහෝම පින්වන්ත කාලයකි. ඉතාම හොදයි. වැඩිහිටියන්ගේ ආශිර්වාදය, ආධාර උපකාර පූර්ණ කාලීනව ලැබේ.
දේශපාලන ක්ෂෙත්‍රයේ කටයුතු වල නියුතු අයගේ කාලාන්තරයක් තිබූ යම් යම් දෝෂ තත්ව මගහැරි යන බව කිව හැක.

●  මකර
එතරම් ශුභ නැත.
8 වැන්නට ගුරු පැමිණීම එතරම් හොඳ නැත. කිසිම හොඳක් නැත. හදිසි අනතුරු, ආබාධ, කැඩිම් බිඳීම් තුවාල ආදිය ඇතිවිමට හේතු විය හැකි නිසා ප්‍රවේසම් වන්න. තමාගේ කටයුතු ප්‍රමාද වීමට හේතු විය හැක. ලක් එක අඩු වෙන කාලයකි. කෙසේ වෙතත් දියුණු වීම ඉතාම හෙමින් සිදු වෙයි. ඔබට මුදල් අරපරිස්සමෙන් භාවිත කිරීම අනිවාර්යෙන්ම කල යුතුය. ලැබෙන දේ රැක ගන්න.

●  කුම්භ
කුම්භ ලග්න අයට ශුභයි.
7 වැන්නට පැමිණිම හොඳයි. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අයට ශුභයි. තවද ඉඩකඩම්, යාන-වාහන මිලදී ගැනීමට හැකියි. ගෘහ ජිවිතය ගැන සිතු කල විවාහ බන්ධන ස්ථිර වෙයි. විවාහයට ඉඩ ලැබේ. ප්‍රේම සබදතා ස්ථිර වෙයි. තමා ගැන හොඳ ආකාරයට ප්‍රචාරය වෙයි.

●  මීන
එතරම්ම හොඳ නැත.
6 වැන්නට ගුරුගේ පැමිණීම ඉතාම හොඳ බව කිව නොහැක. සතුරු කරදර මතුවීමට පුලුවන්. එසේම තමාගේ යටතේ සිටි සේවකයන් තමාට මැනවින් රැකවරණය ලබාදීම නිසා අශුභකාරි තත්වය තරමක් දුරට මගහරවා ගැනීමට පුලුවන්. බන්ධන - කොඩිවින යම් යම් දුෂ්ට ක්‍රියා මාර්ග නිසා තරමක ඉදිරි ගමන බාධකයක් සමග නැවතීමට ඉඩ තිබේ. ඒවා ගැන මැනවින් සැලකිලිමත් වන්න.


:- මෙම සියලුම  පලාපල තමාගේ කේන්දරයේ හැටියට ප්‍රතිඵල එන බව කිව යුතුයි.

No comments:

Post a Comment