Thursday, July 30, 2015

2015 මහමැතිවරණයෙදි ග්‍රහ බලපෑම එක්සත් ජාතික පක්ෂයට කුමක් කරයිද ?

මෙම කාලය තුල රටේ සියලුම කටයුතු වලට වඩා මැතිවරණය කෙරෙහි ජන අවධානය යොමුවී ඇති බව පෙනීයයි. විශේෂයෙන්ම මෙම මහ මැතිවරණයට තරඟ කරන, ප්‍රධාන පක්ෂ 2 එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් මේ අතර කැපී පෙනෙයි.

2015දි ජනවාරි 8 වන දින ඇති කලාවූ විප්ලවයත් සමග, අප, විප්ලවයක් ලෙස සඳහන් කලේ මෙය ග්‍රහ බලපෑම සමග වූ දෙයක් නිසාය.
විධායක ජනාධිපතිවරයෙක් පරාජය කොට එම ජයග්‍රහණය ලබාගත්තේ එම රජයේම සිටි කලින් විපක්ෂනායකවරයෙකුත් නොවූ, පක්ෂ නායකයෙක් හෝ අගමැතිධුරය නොහෙබවූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. මෙය තරමක අසීරුම කටයුත්තකට එතුමා ලං වූ අවස්ථාවකි.

මේ තත්වය සමග රටේ ඇති කර ඇති සමාජ ආර්ථික පෙරලිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග එජාපයට කුමක් වේදැයි බොහෝදෙනා අසන ප්‍රශ්නයකි.

එසේ නම් මෙහි ජෝතිෂ්‍යමය කතිකාවත පටන් ගැනීමට මූලික මාතෘකාව වන්නේ මෙම පක්ෂය හොබවන නායකත්වයට මෙම කාලයේ ඇති ග්‍රහ බලපෑම විමසීමෙනි.

ඔබ සියලුදෙනා දන්නා ආකාරයට 1994 සිට මේ දක්වා කාලය තුල එජාපයේ එකම නායකයා වශයෙන් නායකත්වයේ වගකීම දරන්නෙ රනිල් වික්‍රමසිංහ මහතාය.
එතුමාගේ හඳහනට අදාල ග්‍රහ බලය පක්ෂය දිනවීමට කෙසේ උදව් කරාවිද ?

* 1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහත්මාගේ කේන්ද්‍රය තුල මෙවැනි ග්‍රහ තත්වයන් ගම්‍ය වේ.
* ලග්න භාවයේ රවි-කුජ-ශුක්‍ර යෝගයක්ද, 2 වැන්නේ රාහුද, 6 වැන්නේ සෙනසුරුද, 8 වැන්නේ කේතුද, 11 වැන්නේ ගුරු-සඳුද, 12 බුධ ග්‍රහයාද පිහිටා ඇත.

මෙම තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය තුලින් ඇතිකර ඇති ගතිගුණ සහ ප්‍රතිපත්ති මෙයින් විද්‍යාමාන වන නමුත් අප මේ අවස්ථාව තුල පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේ මෙතුමාට ඇති ග්‍රහචාරය තුල එතුමාගේත් පක්ෂයේත් අනාගතයයි.

● මේ අවස්ථාව වන විට රනිල් මහතාට සෙනසුරු මහ දසාව තුල, රාහුගේ අන්තර් දශාව ගතවෙමින් පවති. මෙතුමන් 2000 වසරේ සිට ගත කරන්නේ සෙනසුරු මහ දසාවයි.
 සෙනසුරු මහ දසාව ආරම්භයේ සිට මෑතක් වනතුරු ඉතාම ප්‍රබල ප්‍රතිවිපාක එතුමන්ට ප්‍රදානය කර ඇත.
නමුත් මේ වෙලාවේ සෙනසුරු ගෙවෙන කාලයයි.
* ගමේ ගොඩේ කීමක හැටියටත්, සෙනසුරු ගෙවෙන අවස්ථාවෙදි නැති කලදේ නැවත ලබා දෙනවායැයි කියනවා මෙන්, මෙතුමාගේ නායකත්වය ස්ථිරසාර වීමද, සියලු විරුද්ධවාදිකම් කල අය නැවත වාරයක් එතුමාගේ නායකත්වය පිලිගෙන එතුමාට අවනත වීමද මෙම සෙනසුරුගේ බලපෑම නිසාම වූ දෙයකි.
මන්ද සෙනසුරු 6 වැන්නේ සිටින පුද්ගලයා සතුරන් මිතුරන් කරගන්නාවු කෙනෙකි. 

● 2015 වසරේ අගෝස්තු 17 වන දින මීන ලග්නයට තත්කාල ග්‍රහචාරය විමසා බලමු. 

* මැතිවරණ දිනයෙදි දැන් වගේම ලග්නයේ කේතු ග්‍රහයා අධි බලවත්වත්, රාහු 7 වැන්නේ එනම් සමාජය, දේශපාලනයට අවශ්‍ය කරන 7 වැන්න තුල රාහු බලවත් වීමත්, විශේෂයෙන්ම මීන ලග්නයේ 6 වැන්නාධිපති රවි, ලග්නාධිපති ගුරු සමග යෝග වී 6 වැන්න ඉතාම බලවත් වීමත් අනුව පෙනී යන්නේ ඒකාන්ත වශයෙන්ම මෙම මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පෙරමුණ අනිවාර්ය වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි.
එසේම එතුමා නැවත වාරයක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙම මැතිවරණයෙන් පසු දිවුරුම් දෙනවා නොඅනුමානයි.

● මෙය ඉතාම වගකීමෙන්, ඉතාම මධ්‍යස්ථ කෝණයකින් බලා ඉදිරිපත් කරන ජෝතිෂ්‍යය විවරණයකි.
මීට තවත් හේතු වන්නේ 1946 සැප්. 6 වන දින දිවංගත මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂයේ කේන්දරය අනුවත්ය.
 එක්සත් ජාතික පක්ෂයේ ලග්නය වන්නේ කිවි හිමි තුලා ලග්නයයි.
ලග්නයේ ඇති ග්‍රහ බලය සමග සසදන විට, 10 වැන්නෙ පොදු ජනතාව නියෝජනය වෙයි.
එම ස්ථානයේ සිටින්නේ සෙනසුරුය. එජාපය අතීතයේ සෑම අවස්ථාවකදිම පාහේ විශේෂයෙන්ම දුගී දුප්පත් අයගේ ආහාර වේල සම්බන්ධව වැඩ කටයුතු කල පක්ෂයකි. 
විශේෂයෙන්ම මෙම අවස්ථාව වන විට පක්ෂ කේන්දරයේ, ගුරු මහ දසාවේ රාහු අතුරු දසාව ගත වෙමින් පවතී.

● රාහු උච්ච බලයෙන් සිටින නිසා පක්ෂයට ඉතාම ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් ලබාදීමට මෙම රාහු ක්‍රියා කරයි. පක්ෂ නායකයාගේද මෙම අවස්ථාවෙදි ග්‍රහ බල හොද නිසා මෙම තත්වය තීව්ර වේ.
මේ සියලු කරුණු කාරණා සමග ඉදිරියෙදි පක්ෂයට ලබන සෙනසුරු මහ දසාව සමග විශේෂයෙන්ම මහජනතාව තුල අතිශයින්ම ජනප්‍රිය වී පක්ෂයට නව මුහුණුවරකින් ඉදිරියට යෑමේ හැකියාවද පවතින බව කිව යුතුයි. එසේ නම් 2015 මහමැතිවරණය ජයග්‍රහණය කරන්නේ නියත වශයෙන්ම එජාපය බව කිව යුතුය.

*** සැ.යු. මීට අදාල අනිකුත් පක්ෂ වල සහ අදාල පක්ෂවල ප්‍රධානින්ගේද කේන්දර සටහන් සූක්ෂමව පරික්ෂා කර තත්කාල ග්‍රහචාරයට අනුව  ලබාදෙන විග්‍රහයකි.

___________________________________________________________________

No comments:

Post a Comment