Friday, July 17, 2015

ජ්‍යොතිෂ්‍යය ඇත්තේ ලෞකික ජිවිතය සැපවත් කිරීමටය.

අනාගතය සහ ගතවෙන කාලය ගැන යමක් දැනගෙන ඒ අනුව නිවරදිව තමන්ගේ ජිවිතයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට ජ්‍යොතිෂ්‍යය ඉවහල් කරගත යුතුය.
මැරෙන දවස කීමට හෝ අපල කාලයේ බංකොලොත් වෙන බව කියා අතැර දැමීම ජ්‍යොතිෂ්‍යයට අයත් නැත. එය ලබාදී ඇත්තේම මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට බැවිනි.

අතීතයේ සමෘද්ධිමත්ව තිබුනු ලංකාව ගැන සිතන්න. 

වැදගත් කටයුතු වලදි ජ්‍යොතිෂ්‍යය අවශ්‍ය පමණට භාවිත විය. ලොවටම වටිනා රටක් බවට අප පත්ව තිබින.
ඒනිසා අදාල ප්‍රයෝජනය ගන්නට පොදු ජනතාව දැනගත යුතු අතර, ජ්‍යොතිර්වේදින්ද නිසි උපදේශනය දෙන්නට කටයුතු කල යුතුය.

‪#‎ඉරුසේවය‬

‪#‎ධනාත්මකචින්තනය‬ ‪#‎Iru‬

Wednesday, July 15, 2015

නාම පුවරු සම්බන්ධව ඔබ නොදත් දේ

නාම පුවරුවක් යනු,
පුද්ගල හෝ වෙනත් ව්‍යාපාරයක් මහජනයාගේ දැනගැනීම උදෙසා ප්‍රදර්ශනය කරන දෙයකි. මෙම නාමපුවරු සම්බන්ධව අප නොයෙකුත් දේ දැනගත්තත් අප ඉරු සේවයේ පාඨක ඔබට ඒ සම්බන්ධව මීට කලින් යම් සටහනක් තැබීමට නොහැකි විය.
නමුත් ඒ ගැන කතා කිරිම කාලෝචිත වන බැවින් ඒ ගැන ඔබට යම්කිසි දෙයක් ඔබගේ දැනගැනීම පිණිස ලබාදීමට අප තීරණය කලා.

විශේෂයෙන්ම ව්‍යාපාරික ස්ථාන වල ප්‍රදර්ශනය කරන සමහරක් නාම පුවරු හොද මෙන්ම අයහපත් ඒවාද ඇත. නාම පුවරුව කෙතරම් අලංකරණ ලෙස නිර්මාණය කර තිබුනද එහි ඇති ගුණාත්මක ස්වරූපය හරියන්නේ යන්නේ නැත්නම් එම නාම පුවරුවෙන් එම ව්‍යාපාරයට ලාභයක්, ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

* විශේෂයෙන්ම නාම පුවරුවක් තෝරා ගැනීම නාම පුවරුවක දිග පළල විශේෂයෙන්ම වැදගත් වේ.

● කුඩා පරිමාණයේ නාම පුවරු එනම් නීතිඥ මහතුන්ට, සුළු ව්‍යාපාරයක නාම පුවරුවක දිග පළල සමාන වීම සුභයි.
එනම් සම චතුරස්‍ර වීම.

●  දිග මෙන් 2 ගුණයක් පළල් වීම ඉතාම නරකයි.
මෙම තත්වය නිසා ව්‍යාපාරික කටයුතු බංකොලාත් වීම එසේම සතුරු කරදර ඇතිවිම, ව්‍යාපාරිකයාට හෝ එම සමාගමට/ආයතනයට හානි වීම මෙයින් ප්‍රධාන දේවල්ය.

● පළල මෙන් 3 ගුණයක් දිග වීම ඉතාම හොදයි.
යසස, කීර්තිය දියුණු වීම මෙයින් විද්‍යාමාන වේ. ආදායම් වැඩිවේ. ව්‍යාපාරය ඉතාම සීග්‍රයෙන් ජනප්‍රිය වේ. ලාබ ලබන තත්වයකට පත් වේ.

● පළල මෙන් 4 ගුණයක් වීම ඉතාම අශුභයි.
පෙර කීවාට වඩා හානි සිදුවේ. ව්‍යාපාරය බංකොලොත් වී ආයතනයේ කීර්තිනාමයටද හානි විය හැක. නැති කරදර, නීතිමය ගැටළු ආදිය මතුවිමට ඉඩ ඇත

● පළල මෙන් 5 ගුණයක් වීම ගොඩක් හොදයි.
දියුණුව ඇතිවේ. ව්‍යාපාරය පුළුල්ව පැතිරිම මෙයින් සිදුවේ.
එසේම තවත් කාරණාවක් ඇත. අප උපන් ලග්නයට අනුව ලග්නයට අදාල අපිට ශුභ වර්ණයක් ඇති බව ඔබ අප කවුරුත් දන්නවනේ.

විශේෂයෙන්ම මෙම නාම පුවරු නිර්මාණයෙදි වර්ණ සංයෝජනය වැදගත්. වර්ණ සංයෝජනය ගැන ලිපියෙදි අපි ඒ ගැන කියා ඇත්තෙමු.
ලග්න 12ට ශුභ වර්ණ වලින් එම පසුතල, අකුරු. නාම පුවරුව අලංකරණය කිරිම ශුභ වර්ණ වලින් කල යුතු බව අවධාරණය කරමි. මේ සම්බන්ධව වැඩිදුරට විමසා දැනගන්න.





Monday, July 13, 2015

ගුරු මාරුව - ලග්න 12ට බලපෑම (2015 ජුලි 15 සිට)

ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහයෙක් වන ගුරු හෙවත් බ්‍රහස්පතී, පුද්ගලයාගේ ප්‍රඥාව සහ ගුණ ධර්ම නීරෝගී භාවය සත්‍යවාදි බව, අවංක බව, මානුෂීය ගතිගුණ එසේම ධනවත් බව ආදි මනුෂ්‍ය ජීවිතයේ උතුම් තත්ව වලට මෙම ග්‍රහයා බොහෝ විට ශුභ බලපෑම් ඇති කරයි. අපල කරන්නේ ඉතාම කලාතුරකිනි. සුඛෝපභෝගි ජිවිතයටද ගුරුගේ විශාල බලපෑමක් ඇත.
(රටට ලෝකයට බලපෑම  https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1436710574./1160496140634130/?type=1)

නව ග්‍රහයන්ගෙන් ශුභ පල දීමේ ප්‍රමුඛයා හෙවත් සුපිරිම ග්‍රහ තාරකාව වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ තාරකාව 2015 වර්ෂයේ ජුලි මස 14 වන දින උදේ 6.20ට ස්වකීය උච්ච භවනය වූ කටක රාශියේ සිට සිංහ රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙයි. සිංහයෙදි මඳක් නපුරු වන ගුරු නිසා විවිධාකර වෙනස්කම් අපේක්ෂිතය.
පොදුවේ සලකා බලන කල, ග්‍රහ මාරු වලදි අතිශයින් වැදගත් වන ග්‍රහමාරු 3 අතරින් 1කි මෙම ගුරු මාරුව.


ලග්න 12ට නිගමනයක් මෙසේ.

●  මේෂ
ගුරු මාරුව ඉතාම සුභයි.
5 වැන්නට ගුරු මාරුවේ. තමාගේ ආදර බන්ධන ස්ථිර වීමට හේතුයි. ධන ලාභ, හදිසි ධනලාභ ලැබේ. විවාහක අයට වාසනාවන්ත දරු සම්පත් හිමිවේ. එසේම අධ්‍යාපන කටයුතු කරන අයගේ අධ්‍යාපනය දියුණු වන අතර, උසස් අධ්‍යාපනයේ නියුතු අයට ඉතාම හොදින් එම කටයුතු කරගෙන යාමට පුුලුවන් වාසනාවන්ත කාලයක්ය.

●  වෘෂභ
ඉතාම හොදයි.
4 වැන්නට ගුරු පැමිණේ. භූමි ලාභ සැප සම්පත් හිමි වන අතර, තමන්ගේ භෞතික වටපිටාව දියුණු වේ. පවුල තුල තමාගේ ජනප්‍රියත්වය සහ ස්ථාවරත්වය රැකේ. අලුත් නිවාස ඉදි කිරීමට හොද කාලයකි. ගෘහණියන්ට අලුත් ගෘහ උපකරණ මිලදී ගැනීමට වාසනාව ලැබේ.

●  මිථුන
එතරම්ම ශුභ නැත.
3 වැන්නට ගුරු පැමිණේ. නමුත් සහෝදරයන්ට ශුභ තත්වයක් මේ තුලින් පෙන්වයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් පසුවන්න. මිථුන ලග්න කාන්තා පක්ෂයේ අය ඉතා රූමත් අය වෙති. නමුත් ඔවුන්ගේ ශරීර විලාසහ (පොඩි ෆිගර්), අන්ෂේප් හැඩය වෙනස් වීමට ඉඩ ඇත. පපුව උදරය මහත් වි තරමක් අවලක්ෂණ වීමට ඉඩ ඇත. ඒ ගැන සැලකීලිමත් වන්න. එතරම් ශුභයි යනුවෙන් කිව නොහැක.

●  කටක
ඉතාම ශුභයි.
2 වැන්නට ගුරු පැමිණේ. ධන - ධාන්‍ය තත්වය දියුණු වෙනවා. ව්‍යාපාරික කටයුතු කරන අයගේ ආර්ථික තත්වය ඉහල අගයකට අවතීර්ණ වෙනවා. එසේම කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම හොදයි. තමාගේ ප්‍රිය වචනය නිසා බොහෝ ජනී ජනයා ආකර්ෂණය කරගැනීමට පුලුවන්.

●  සිංහ
ඉතා ශුභ කාලයකි.
1/ලග්න භාවයට ගුරු පැමිණිම හොදයි. පසුගිය වසරක කාලයකට තිබුනු අධික වියදම්කාරි භාවය එසේම අනවශ්‍ය වියදම් ආදි කරදර සියල්ලම හිරු දුටු පිණි මෙන් ඉවත් වෙයි. ඉතාම හොද කාලයකි.
අලුත් චින්තනයකින් ජීවිතය සැලසුම් කරගැනීමට හොදම කාලයකි.

●  කන්‍යා
එතරම්ම ශුභ නැත.
12 වැන්නට ගුරු පැමිණිම එතරම්ම හොද නැත. ලග්නයට බාධක ග්‍රහයෙක් වන මෙම ගුරු ග්‍රහයා 12 වැන්නට පැමිණීම ව්‍යාපාරික කටයුතු අඩපණ වීමට හේතුවිය හැක. මානසික තත්වය පිරිහීම නිසා විවිධ පාඩු ඇති කරගනී. විශේෂයෙන්ම තමා කිට්ටුවන්තව ආශ්‍රය කල අයගේ වෙන්වීම, තරහ වීම, අත්හැර යාම මේ කාලයෙදි දක්නට ලැබේ. පන්සලක්, පන්සලක් ගානේ කෙතරම් ඇවිද්දත් ඉන් කිසිම සුගතියක් නැති විදියට දැනේ. එසේම තිබුනු රැකියාව අහිමි වීම නිසා මානසික කරදර වලට මුහුණ පෑමට ඉඩ තිබේ. තවද අලුත් රැකියාවක් සොයාගැනීම බොහෝ අසීරු විය හැක.
තත්කාල ග්‍රහචාරයේ, ලග්න භාවයේ රාහුද, 12 වැන්නට ගුරු පැමිණීමෙන් පසු එම තත්වයද, ශනි 3 වැන්නේද සිටින නිසා මෙම සියලුම ග්‍රහචාර සංසන්දනය කර බැලූවිට කන්‍යා ලග්නකරුවන්ට චිත්ත පීඩනය වැඩි කාලයකි. ඔබ ආගම දහමට නැඹුරු වී උපේක්ෂාවෙන්, මෛත්‍රිෙයන් කටයුතු කර සංහිඳියාව ඇති කරගන්න.

●  තුලා
ඔබට ඉතාම හොඳයි.
11 වැන්නට ගුරු පැමිණීම, ඉතා ශුභ කාලයක් වේ. ශක්තිමත් වූ අත් දෙක තවත් ශක්තිමත් වේ. පසුගිය කාලයේ තමාට නින්දා අපහාස කල අය, බැන්න අය තමන්ගේ කකුල් 2 පාමුලට පැමිණේ. තමාගේ යහපත් ගතිගුණ සහ මානුෂීය භාවය නිසා දේශ දේශාන්තර වල තමාගේ හොඳ නම පැතිරේ. හදවත පුරාම ඇති මෛත්‍රිය නිසා තමා යටතේ පාලනය වන අය සතුටින් සිටී. එසේම අලුත් සම්බන්ධකම් ගොඩනැගේ. විශේෂයෙන්ම මෙම කාලයෙදි තුලා ලග්න කරුවන් සංහිඳියාවට කැමතිය. එසේම ඉතාම ශුභදායක තත්වයක් තුලා ලග්න කරුවන්ට මෙම කාලයේ ලැබේ. විශේෂයෙන්ම මෙම ලග්න හිමි අයගෙන් මෛත්‍රිය පැතිරේ.
මේ මෛත්‍රිය සදහන් කරන විට, මෙලොව ඇති මිල මුදල් සහ භෞතික සැප සම්පත් වලට වඩා මෛත්‍රිය වටින බව අප කාහට වුවද හැගී යයි.

●  වෘශ්චික
ඉතාම හොඳයි.
10 වැන්නට ගුරුගේ පැමිණිම ඉතාම හොදයි. ධන - ධාන්‍ය තත්වය දියුණු වේ. අලුත් නිලතල නම්බු නාම ලැබේ. විශේෂයෙන්ම ආර්ථික වාසි හිමි වේ. වෙලහෙලදාම් දියුණු වේ. රැකියා වල නියුතු අයට උසස් වීම් ලැබේ, විදෙස් රැකියා වල නියුතු අයටද ඉතාම සුභයි.
කාන්තාවන්ගේ අැඟපත මහත් වීමට ඉඩ ඇත.

●  ධනු
ඉතාම ශුභයි.
9 වැන්නට ගුරු පැමිණිම ඉතාම හොදයි. ආගමික භක්තිය ඇතිවේ. වන්දනා ගමන් ආදිය හිමි වෙයි. දේශ දේශාන්තර වල සංචාරය නියමයි. බොහෝම පින්වන්ත කාලයකි. ඉතාම හොදයි. වැඩිහිටියන්ගේ ආශිර්වාදය, ආධාර උපකාර පූර්ණ කාලීනව ලැබේ.
දේශපාලන ක්ෂෙත්‍රයේ කටයුතු වල නියුතු අයගේ කාලාන්තරයක් තිබූ යම් යම් දෝෂ තත්ව මගහැරි යන බව කිව හැක.

●  මකර
එතරම් ශුභ නැත.
8 වැන්නට ගුරු පැමිණීම එතරම් හොඳ නැත. කිසිම හොඳක් නැත. හදිසි අනතුරු, ආබාධ, කැඩිම් බිඳීම් තුවාල ආදිය ඇතිවිමට හේතු විය හැකි නිසා ප්‍රවේසම් වන්න. තමාගේ කටයුතු ප්‍රමාද වීමට හේතු විය හැක. ලක් එක අඩු වෙන කාලයකි. කෙසේ වෙතත් දියුණු වීම ඉතාම හෙමින් සිදු වෙයි. ඔබට මුදල් අරපරිස්සමෙන් භාවිත කිරීම අනිවාර්යෙන්ම කල යුතුය. ලැබෙන දේ රැක ගන්න.

●  කුම්භ
කුම්භ ලග්න අයට ශුභයි.
7 වැන්නට පැමිණිම හොඳයි. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අයට ශුභයි. තවද ඉඩකඩම්, යාන-වාහන මිලදී ගැනීමට හැකියි. ගෘහ ජිවිතය ගැන සිතු කල විවාහ බන්ධන ස්ථිර වෙයි. විවාහයට ඉඩ ලැබේ. ප්‍රේම සබදතා ස්ථිර වෙයි. තමා ගැන හොඳ ආකාරයට ප්‍රචාරය වෙයි.

●  මීන
එතරම්ම හොඳ නැත.
6 වැන්නට ගුරුගේ පැමිණීම ඉතාම හොඳ බව කිව නොහැක. සතුරු කරදර මතුවීමට පුලුවන්. එසේම තමාගේ යටතේ සිටි සේවකයන් තමාට මැනවින් රැකවරණය ලබාදීම නිසා අශුභකාරි තත්වය තරමක් දුරට මගහරවා ගැනීමට පුලුවන්. බන්ධන - කොඩිවින යම් යම් දුෂ්ට ක්‍රියා මාර්ග නිසා තරමක ඉදිරි ගමන බාධකයක් සමග නැවතීමට ඉඩ තිබේ. ඒවා ගැන මැනවින් සැලකිලිමත් වන්න.


:- මෙම සියලුම  පලාපල තමාගේ කේන්දරයේ හැටියට ප්‍රතිඵල එන බව කිව යුතුයි.

Saturday, July 11, 2015

“ විස්කම් දෙව්පුත් දිව්‍යරාජයාණන් වහන්සේ “



විශ්වකර්ම දෙවියන්ගේ හින්දු විශ්වාසයන්ට අනුව උපකල්පිත පින්තූරයකි.

Friday, July 10, 2015

ඉවසීමෙන් බුද්ධියෙන් හැමදේම කරන්න !


ජීවිතයේ සමහර වෙලාවට තමන් කරන දේවල් වරදින, වැරදෙන, අතපසුවෙන වෙලාවල් එනවා. ඒ වෙලාවට කරන ගොඩක් දේවල් වරදිනවා වගේ වෙනව. එතකොට මේ ජිවිතේ හොඳක් තියෙනවද කියල හිතෙනව අවස්ථා එනවා.
මේ ජිවිත කාලෙම යහපත් දේවල් කරලා, අනිත් අයට උදව් කලත් තමන්ට උදව්වක් ලැබෙන්නෙ නෑ නේද, තමන්ට හොඳක් වෙන්නෙම නෑ නේද කියල හිතෙන වෙලාවල් එනවා.

එහෙම වෙන්න හේතු ගොඩක් තියෙන්න පුලුවනි.
සමහරවිට තමන්ගෙම නොසැලකිලිමත්කම, සමහරවිට තමන්ගෙ අපලයක් නැත්නම් පෙර කල අකුසල කර්ම නිසා වෙන දෙයක් වෙන්න පුලුවන්.
මේ ආත්ම භවයේ ගොඩක් හොඳින් හිටියට සංසාරයෙ අපි මොනව කරල තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒවට ලැබෙන විපාකද දන්නෙත් නෑ.

සමහර අයගෙ මතයක් තමයි, “ මම කාටවත් වැරදි කරල නෑ. ඒනිසා මටත් වරදක් වෙන එකක් නෑ “ කියල... ඒකත් බොහෝම වැරදි අදහසක්. වැරදි කලා නෑ කියල කරදර නොවෙන්න විදියක් නෑ.

කාට උනත් වරදින වෙලාවල් එනවා. කරදර වෙලාවල් එනව. ඒ වෙලාවට මූලිකව උවමනා වෙන දේ තමයි ඉවසීම.
ඉවසීමත් ලේසි පහසු නෑ. සමහරවිට දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඉවසන්න වෙනව. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල ඉහලටම ආපු සෑහෙන දෙනෙක් පුදුම තරමට ඉවසපු බව අපි කරපු පර්යේෂණ වලින් අපිට තහවුරු වෙලා තියෙනව.
ඒනිසා දුකකදී කරදරයකදි ඉවසීමෙන්, විමසීමෙන් ඒ ගැන බලන්න. ආයෙ ඒ කරදර නොවෙන තැනට වැඩ කරන්න.

කේන්දරයට අනුව අපල තිබුනත් නැතත් තමන්ගෙ ජිවිතේ සාර්ථකත්වය වෙනුවෙන් බුද්ධියෙන් යුතුව හරියට කැපවෙන්න.
දන් පින් කරන්න. පුලුවන් විදියට අනිත් අයට උදව් කරන්න. කරන පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න.
(සියලු ඥාතින්ට අනුමෝදන් කරන්න කිව්වෙ අපිට මතක මේ ආත්ම භවයේ සීයා ආච්චිව විතරක් උනත් අපි සංසාරේ අපිට ඥාතින් උන සමහර අයට පින් උවමනා වෙලා ඉන්නව වෙන්න පුලුවනි, අපි පින් නොදුන්නට. එතකොට එයාල කරදරයෙන් ඉන්නවා වගේම, ඒ අයගේ වෛරී බැල්මක් තමයි අපිට ලැබෙන්නෙ. එයාලට පින් අනුමෝදන් කරාම එයාලගෙත් ආශිර්වාදය ලැබෙනවා.)

කර්මය උත්සහයෙන් ජයගන්න පුලුවන් කියලයි බුදුන්වහන්සේ දේශනා කලේ. ඒනිසා වැරදුනා පැරදුනා කියල අතාරින්න එපා. ජිවිතේ දිනන්න, සතුටින් සැපෙන් ඉන්න වැඩ කරන්න.
සිල් රකින්න, යහපතින් ඉන්න. ඒකම හැමදාමට සතුටින්, සංතෘප්තියෙන් ඉන්න හේතු වේවි !

බුදු සරණයි !

#ඉරුසේවය

Wednesday, July 8, 2015

මේෂ ලග්න අය මෙහෙමයි...

මේෂ ලග්නයට අදාල පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය ස්වරූපය මෙහෙමයි.

● මේෂ ලග්න අය තේජවන්ත ගති සහිත, උසස් සිතිවිලි ඇති අධිෂ්ඨානශීලි අය වෙති.
● පෞද්ගලික සැප පහසුවට බොහෝ කටයුතු කරයි, ඒ වෙනුවෙන් කැපවේ.
● ආඩම්බර ගති ඇතිවාක් මෙන්ම කාටවත් යටත් වීමට අකමැති ගතිද ඇත.

● මේෂ ලග්නයේ බොහෝ අයට ඉක්මණින් කේන්ති යයි.
මෙම තත්වය නිසා ඔවුන් සමාජයේ “කොට කේන්තිකාරයන්“ ලෙස හැඳින්වේ.

●බොහෝවිට මේෂ ලග්නයට ශුභ ග්‍රහ බලයක් ලැබුනොත් එ් අය ඉතාම දියුණුවේ හිණිපෙත්තටම ගමන් කරයි.
බොහෝවිට මේෂ ලග්න කරුවන් ධනවත් වී සිටිම ඒ තරම් පුදුමයට කාරණාවක් නොවේ.
ඔවුන්ට ඕනෑම ක්ෂෙත්‍රයක් කෙරෙහි පුළුල්ව බැලීමේ හැකියාවක් පවතී.

● විශේෂයෙන්ම මේෂ ලග්න කාන්තාවන්, නිතරම කැපි පෙනීමට කැමතිය.
බොහෝවිට ඔවුන් තමාගේ ස්වාමියාට පවා අවනත වන්නේ නැත.
ස්වාමියාව පවා යටත් කරගැනීමට මාන බලයි.
එමනිසා ඔවුන් තරමක සැර පරුෂ අය වෙති.

● අධිෂ්ඨානශීලි බව සහ පෙරට යෑමේ ලක්ෂණය මේෂ ලග්න හිමියන් සතුව ඇති ප්‍රධානම ආයුධයයි.
බොහෝවිට සාර්ථක පවුල් ජිවිත මේෂ ලග්න හිමියන් ගත කරයි.
* එසේම ආර්ථික මට්ටමින්ද ඉතා ඉහලට පැමිණීමට ඔවුන්ට පුලුවන.
* ලග්නයට ආවේණික තවත් විශේෂ දෙයක් නම් මේ අය බොහෝ වෙලාවට ආත්මාර්ථකාමි අදහස් වලින් යුක්ත අය වීමයි (මෙය කේන්දර සටහන අනුව වෙනස් වේ)

● නිතරම තරඟකාරිත්වයට කෙසේ වෙතත් දබරයට යොමුවන අයයි. ක්ෂණික කෝපය ඇත. එසේම නම්‍යශීලිතාවයද එසේය.
රාත්‍රියට පායන්නේ ඉර කියා කිව්වොත් එය අන් අය පිලිගත යුතුය. නැත්නම් අධිකව තරහ ගනී.

_ ග්‍රහ සංයෝග _ පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

** ඉතිරි ලග්න වලටද මේ ආකාරයටම විග්‍රහයක් පසුවට බලාපොරොත්තු වන්න.

Monday, July 6, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 6 සිට

● මේෂ
චන්ද්‍ර චාරය අනුව සමඵලයි.
මේ සතියෙදි ඔබට ලාභ-අලාභ දෙකෙන් කෙසේ වෙතත් ලාභ වැඩිපුරත් අලාභ සුළුවෙනුත් ඇතිවේ. විශේෂයෙන්ම සතියේ මුල් කොටස් වලදි ඥාතින් හිතමිතුරන්ගෙන්ද තමන් කරන ව්‍යාපාර වලින්ද ලාභ ලැබීමට පටන් ගනී. සතිය මැදදී යම්කිසි ආර්ථික පාඩුවක් ඇතිවිමට හේතුයි. නමුත් ඒ තත්වය යථා තත්වයට පත්වී ඔබගේ දියුණුව සාක්ෂාත් වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, නිවසට ඥාති හිත මිතුරන් පැමිණිමට පටන්ගනි. දානමය පින්කම් වලට සහභාගි වන අතර, සතිය අගදී පෞද්ගලිකව ඔබ සතුටුවන යම් කාරණාවක් ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, සෙම් අමාරු සහ අතපය වේදනාව ආදිය ඇතිවිය හැක.

● වෘෂභ
ඉතාම වාසනාවන්ත සතියකි.
විශේෂයෙන්ම වෙළදාම් කරන අයට, ලාභ වැඩිවේ. එසේම ජලය ආශ්‍රිත කටයුතු, රූපලාවන්‍ය කටයුතු, ආහාරපාන ක්සෙත්‍රයේ අයට ඉතාම හොදයි. රැකියා කරන අයට පඩි වැඩිවිම්, දියුණුවීම් අපේක්ෂිතය. ආදායම සරුවේ. අතමිට හිඟ නොවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, ආර්ථික වාසි සැලසෙන නිසා නිවසට අලුත් දේවල් මිලදී ගැනීමට පුලුවන. විශේසයෙන්ම වෘෂභ ලග්න ගෘහණියන් අතින් රසවත් ආහාරපාන සෑදෙන කාලයයි.
සෙම් ආශ්‍රිත රෝගා බාධ වලින් පරිස්සම් වන්න.

● මිථුන
ඉතාම වාසනාවන්ත සතියකි.
මේ සතිය තුල කාලාන්තරයක් බලාපොරොත්තු වූ යම්කිසි අපේක්ෂාවක් මල්ඵල ගැන්වීම නිසා ආර්ථික වාසි සැලසේ. වැඩිහිටියන්ගෙන් උරුමහරුමකම් ලැබීමට පුලුවන. එසේම ඔබගේ පිට පලාත් වල ඉන්න හිත මිත්‍රාදින්ගෙන් ඔබට මුදල් ලැබීමට වාසනාව ඇත, හදිසි ධනලාභද මෙ අතර වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, වන්දනා ගමන්, පිනට දහමට නැඹුරු විම මේ සතිය තුල වේ. දුවාදරුවන් සමග ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ විශේෂිත ගැටළු නැති උණත් සතිය අගදී, දෙපා ආශ්‍රිත රෝග හිසේ කැක්කුම ආදිය ඇතිවිමට පුලුවන.

● කටක
ඔබට සමඵලයි.
සතියේ මුල් දවස් 2දී ඔබගේ ධන-ධාන්‍ය තත්වයට ප්‍රබල හානියක් සිදුවන්නට පුලුවන්. එසේම යම් යම් කරදර බාධක උපද්‍රව වලට හසුවීමට පුලුවන්. එසේම ඔබ යම් ආකාරයකට පීඩාවන් වලට ලක්වීමට පුලුවන්. එය විශේෂයෙන්ම ගැටළුවකි. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ඉතාම වාසනාවන්තව ගත කිරිමට පුලුවන්. ඔබගේ කේන්දරයට අනුව මෙම සතියෙදි වැඩිහිටියන් සමග වන්දනා ගමන් වලට යෙදීමටද පින් දහම් කටයුතු වලට යෙදීමටද පුලුවන්. සතිය අගදී ප්‍රිය සම්භාෂණ, රසවත් ආහාර පාන ලැබිමේ තත්වයක් පවති.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැති වුවත් සතියේ මුල් කොටස් වලදී ඔබ ප්‍රවේසම් විය යුත්තේ සෙම් සහ ජලාශ්‍රිත බෝවන රෝග වලින්ය.

● සිංහ
ශුභ සතියකි.
හවුල් ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට ආදායම් වාසි සැලසෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුතු නව ආරකින් සහ නව්‍යකරණයකින් ඉදිරියට ගෙනයාමට පුලුවන්. විශේෂයෙන්ම සතිය අග වනවිට මේ සතියේ සාර්ථකත්වය ඔබට වැටහේවි. රැකියා කරන විදෙස් රැකියා කරන අයට ඉතාම සුභදායකයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන අතර අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝගද පෙම් සබදතා ඇති අයගේ ස්ථිර වීම්ද වැඩිහිටි කැමැත්ත ලැබීම්ද සිදුවේ. ඔබ ආර්ථික සහ සමාජිය වශයෙන් ඉතා කාර්යබහුල වන මේ සතියෙදි සිතට ප්‍රීතිය ගෙනදෙන කාරණාද ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත් සතියේ මුල් 2-3 අවසන් වූ පසු දවස් 2කට පසු සෙම් අමාරු, වර්තමානයේ පැතිර යන අක්ෂි රෝග වැළදීමට පුලුවන්. පරිස්සම් වන්න.

● කන්‍යා
සමඵලයි.
මේ සතියෙදි ආර්ථික වශයෙන් ඔළුව උස්සන්න නම් ඔබ විමසිමෙන් සිටිය යුතුයි. ආර්ථික කටයුතු වලට සතුරු කරදර නිසා බාධා ඇතිවේ. තමන්ගේ රැකියාව හෝ ධනෝපායන මාර්ග වලට මෙම ඇතිවන කරදරය සතිය පුරාම පැවතීමට ඉඩ තිබේ. බුද්ධියෙන් කටයුතු කරන්න. ණයට ගැනීම, ණය දීම මේ කාලයේ අත්හරින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර අඟහිගකම් නිසා සිතේ කනස්සලු ස්වභාවයක් හට ගනී.
උදරාබාධ සහ ජලාශ්‍රිත බෝවන රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● තුලා
සමඵලයි.
ඔබටද ආදායම් මාර්ග වලට කරදර ඇතිවිමට ඉඩ ඇත. සතුරු කරදර මෙයින් ප්‍රධාන තැනක් ගනී. සතිය මුලදී ඔබ ප්‍රබෝධයෙන් කටයුතු කරන දේවල් සතිය මැදදී ඔබටම එපාවි කඩාකප්පල් වීමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. වෙනදා මෙන් සතුටු සිනා ගෙදර නැත. ඔබ මේ සතිය අවසන් වූ පසු එයින් පසු ලබන සතිය ඔබට ඉතාම සුබයි.
සෞඛ්‍ය තත්වයේ විටින් විට ඇතිවිමට ඉඩ ඇති උණ, හිසරදය ආදියෙන් පරිස්සම් වන්න.

● වෘශ්චික
මේ සතිය හොඳයි කියල කියන්නම්.
මේ සතිය ඇතුලත සඳුගේ ගමන අනුව, දේපල, ඉඩකඩම් ලැබෙන්න පුලුවන්. ඒවගෙම තමන්ට කවුරුහරි මහ පරිමාණයෙන් දීලා උදව් කරන්න පුලුවන්. ඒවගේම තමන්ගේ සැප සනීපයට ලැබෙන්න පුලුවන් බඩුමුට්ටු ගෙදරට ලැබෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගත වේ. නිවසට හා දුවාදරුවන්ට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගනී. ඔබ සතුටින් ඉන්නා සතියකි මෙය.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. වින කටින අයගෙන් පරිස්සම් වන්න.

● ධනු
සුභ සතියකි.
තමාගේ මහන්සියේ හැටියට මුදල් උපයා ගැනීමට පුලුවන්. එසේම පිට පලාත් වල රැකියා කරන අයටද වෙළදාම් වල නියුතු අයටද ඔබගේ විදේශ රැකියා වල නියුතු අයටද හොදයි. මේ සතියෙදි උරුමහරුමකම් ලැබී සැප සම්පත් බුක්ති විඳින සතියකි. ඒ අතර හදිසි ධනලාභ ලැබීමේ වාසනාවද පවතී. ආර්ථික තත්වයේ දියුණුව ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදින්ගේ ඇසුරද නව ඥාති මිත්‍ර සම්බන්ධතාද ඇතිවේ. නිවසට අමුත්තන් එන කාලයකි. එවගේම නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමටද පුලුවන්.
ඔබ සතුටින් සිටින සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. පපුවේ සෙම් රෝග සම්බන්ධව පරිස්සම් වන්න.

● මකර
මේ සතිය ශුභ සතියකි.
කරන කියන කටයුතු දියුණු වෙනවා. හදිසි ධනලාභ ලැබෙනවා. ලැබීමට නියමිත මුදල්. කල්පහුවුනු ණය අය වෙනවා. විදෙස් රැකියා, රැකියා වල නියුතු අයට හොදයි. නැකැත් මේ සතියේ යෙදෙන නිසා අලුත් වැඩපල ආරම්භ කිරිමද ඔයාට හොදයි. ප්‍රීතියෙන් කටයුතු කරන්න, මානසික ශක්තිය ගන්න කාලෙකට පස්සෙ හොද සතියක්.
ගෘහ ජිවිතයත් ඒවගේමයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය වෙනවා. සහකාර බන්ධනය ශක්තිමත් වෙනව. ප්‍රේම සබදතා වල තියෙන අයගේ ඒවා ස්ථිර වීමත්, වැඩිහිටි ආශිර්වාදය ලැබීමත් මේ අතර ප්‍රධානයි. හොද සතියකි.
සෞඛ්‍ය තත්වයේ නම් ගැටළු නැහැ. දියුණු වීමට වාසනාව තියෙනවා.

● කුම්භ
ඔබට මෙම සතිය හොද සතියක්.
විශේෂයෙන්ම වාසනාව ලැබෙනවා. ඔබට හොදින් ඉන්න ඔබගේ කීර්ති නාමය ජනප්‍රියත්වය නිසා ආර්ථික වාසි සැලසෙනවා වගේම උදව් උපකාර ලැබෙනවා. වෙලදාම් කටයුතු දියුණු වෙනව. එමෙන්ම ඔබ පිටපලාත් වල කරන වෙලදාම්ද, විදේස රැකියා කරන අයගේද ආර්ථිකය සරු වෙන්න පුලුවන්.
ගෘහ ජීවිතය ඉතාම හොදයි. ඔබ සමාජයේ කැපී පේන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අතර දුවාදරුවන්ගේ සෙනෙහසට ලැබෙනවා. භාර්යාව වෙනදාට වඩා තමාට ආදරය කරනවා. මේ සතියෙදි නිවසට අලුත් දේවල් මිලදී ගන්න පුලුවන් වෙනව වගේම. ලැබෙන්න තියෙන දේවල්, උරුමහරුමකම් ලැබෙන්න පුලුවන්.
පපුවේ සෙම් රෝග සහ හිස කැක්කුම ඒත් සෙම නිසා ඇතිවෙන්නට පුලුවන්.

● මීන
හොඳ සතියක් කියල කියන්න පුලුවන්.
සතියේ පලවෙනි දවස් 2 දී ආර්ථික තත්වය ඒ තරම්ම වර්ධනය වෙන්නෙ නැහැ. නමුත් දවස් 2ක් ගියාට පසුව ඉතිරි දවස් 5දි ලොකු දියුණුවක් ලැබෙනවා. ආදායම් මාර්ග පෑදෙනවා. උත්සහයේ උනන්දුවේ හැටියට යම් දෙයක් කරගන්න පුලුවනි. හදිසි ධනලාභ උනත් ලැබේවි.
ගෘහ ජිවිතය හොදයි. තවද ඔබට වාසනාවන්ත දරු සම්පත් මෙම සතියෙදි ලැබෙනව. දරුවන්ගේ කටයුතු වලින් සිතට ප්‍රීතිය ලැබෙනවා. එසේම සතිය අගදී සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදින් සමග විනෝද වීමට පුලුවනි. අලුත් නෑදෑ මිත්‍රකම් ඇතිවෙනවා. මේ සතිය මුල් දවස් 2 ඇරුනම ගෘහ ජිවිතයට ගොඩක් හොදයි.
සෞඛ්‍ය තත්වයේ පරිස්සම් වෙන්න ඕන ජලාශ්‍රිත රෝග සහ සෙම් අමාරු වලින්ද මේ දිනවල පවතින අක්ෂි රෝග ගැනද කල්පනාකාරි විය යුතුමයි.

____________________________











Friday, July 3, 2015

සුරගුරු මාරුවේ, පලාපල දන්නවාද ? - රටට ලෝකයට බලපෑම


නව ග්‍රහයන්ගෙන් ශුභ පල දීමේ ප්‍රමුඛයා හෙවත් සුපිරිම ග්‍රහ තාරකාව වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ තාරකාව 2015 වර්ෂයේ ජුලි මස 14 වන දින උදේ 6.20ට ස්වකීය උච්ච භවනය වූ කටක රාශියේ සිට සිංහ රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙයි.
මෙම ග්‍රහ තාරකාව සිංහ රාශියට පැමිණිමෙන් අනතුරුව මෙම ග්‍රහයාගේ බලපෑම ඔබගේ ලග්නයට කෙසේ වෙයිද ?

ඒ පලාපල කථනයට පෙරාතුව ගුරු ග්‍රහයා ගැන කිසියම් ආකාරයක හැඳින්වීමක් ඔබ හමුවේ තබමි.
ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහයෙක් වන ගුරු, පුද්ගලයාගේ ප්‍රඥාව සහ ගුණ ධර්ම නීරෝගී භාවය සත්‍යවාදි බව, අවංක බව, මානුෂීය ගතිගුණ එසේම ධනවත් බව ආදි මනුෂ්‍ය ජීවිතයේ උතුම් තත්ව වලට මෙම ග්‍රහයා බොහෝ විට ශුභ බලපෑම් ඇති කරයි. අපල කරන්නේ ඉතාම කලාතුරකිනි. සුඛෝපභෝගි ජිවිතයටද ගුරුගේ විශාල බලපෑමක් ඇත.

ගුරු මාරුව හේතු කරගෙන කුම්භ ලග්න ලංකා කේන්දරයට අනුව සහ ජනරජ ලග්නය වූ සිංහ ලග්නයට අනුව, ගුරු මාරුව පැහැදිලිවම තරමක විවිධ බලපෑම් ඇති කරන බව පෙනී යයි. ඒ අතර ඉදිරි මාස කීපය තුල රාජ්‍ය තන්ත්‍රයේ මැතිවරණ ආදිය එන බවක් පෙනී යයි. එසේම දැනට අප අධ්‍යයනය කරන ආකාරයට ආණ්ඩු පක්ෂයට වැඩි වාසි සහගත තත්වයක් පෙනී යයි. එහෙයින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන හිමි කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබීමේ වැඩි ඉඩක් පවතී.
එසේම ගුරුගේ බලපෑම හේතු කරගෙන, සිංහ රාශියේදි ගුරු ටිකක් නපුරු ආකාරයට ක්‍රියා කරන බැවිනුත්, යම් යම් වැරදි තිබෙන දේශපාලන චරිත සහ පුද්ගලයන්ට පාර්ලිමේන්තු අසුන පවා අහිමි වීම නියතයි !

එසේම ආණ්ඩු පක්ෂයේ අයට සහ විපක්ෂයේ අයට විවිධ මානසික සිත් තැවුල් වන කුමන්ත්‍රණ ආදිය සිදුවීමට ඉඩ ඇත.
තවද ලංකාවේ උතුම් පඬිරුවනකට ජාත්‍යයන්තර පිලිගැනීමක් සහ ඇගයීමක් ලැබේ. එසේම පැවිදි උතුමන්ගේ උපදෙස් අනුව රජය ඉදිරි වැඩ කටයුතු මෙහෙයවන බවක්ද පෙනී යයි.
බොහෝවිට රටේ යම් යම් පලාත් වලට දැඩි වියළි කාලගුණයක් ලැබීමට ඉඩ ඇත.

ලෝකයේ, අවිගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ට දැඩි ප්‍රහාරයක් එල්ල වනු ඇත. එසේම මකර ලග්න හිමි අසල්වාසි ඉන්දියානු ජනරජයේ පාලක පක්ෂයේ ජනප්‍රියත්වය ක්‍රමානුකූලව පහල බැසීමක් ඇතිවිමට පුලුවන.
චීනයද කිසියම් ආකාරයකට ලෝක බලවතුන් හමුවේ තරමක පසු බැස්මක් පෙන්නුම් කරයි.

ජපානය, යුරෝපා රටවල්, ඇමරිකාව, කැනඩාව වැනි රටවල් ඉදිරි වසරේදී දියුණු වීමට සහ ඔවුන්ගේ බලය වැඩි කරගැනීමට උපරිම උත්සහ ගනු ඇත.


Wednesday, July 1, 2015

“ විශේෂයි “

ජ්‍යොතිෂ්‍යවේදින්ගේද #දැනුම #තීරණය වන්නේ #කර්ම ශක්තිය, අත්දැකීම්, උගත්කම යනාදියෙනි.
ජ්‍යොතිෂ්‍යය කරන අයගෙන් සියලුදෙනා එක සමාන නැත. මිනිසුන්සේ ඔවුන්ද විවිධාකාරය.

ඊට හොඳම උදාහරණය පසුගිය #ජනාධිපතිවරණයෙදි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම දිනන බවට විවිධාර හේතු මත කියන ලද ජ්‍යොතිෂ්‍යවේදින් සිටි නිසාය.
නමුත් දිනුවේ 1 අයෙකු පමණි.
එහිදී අප විසින් තීරණය කරගත යුත්තේ, ජ්‍යොතිෂ්‍යවේදින් ලෙස නම ලැබුවද, රූපවාහිනියට ආදි මාධ්‍ය වැඩසටහන් වලට පැමිණියද නිසි ලෙස කීමට සෑමදෙනාටම නොහැකි බවයි.

සමහරෙකුට අප ගැන ඇති ප්‍රශ්නයක් වන්නේ, අප විසින් ලබාදෙන දැනුම වෙන ප්‍රසිද්ධ අය ලබා නොදීමයි... එය අපගේ ගැටළුවක් නොවේ. #රූපවාහිනි නාලිකාවකට හෝ වෙනත් මාධ්‍ය ආයතනයක් මගින් ප්‍රසිද්ධිය ලබාගැනීම අපට එතරම් දෙයක් නොවේ. මෙතන අප හිතවත් අය දන්නා පරිදි වර්තමාන ජනමාධ්‍ය ඇමතිතුමාට ගිය වසරේ ඔහුගේ ෆැන් පේජයට නැකත ලබාදුන්නේ අප විසිනි.
අපට තවම එවන් ප්‍රසිද්ධියක් ගැන ලොකු උවමනාවක් දැනී නැත.
අපි අපිට හැකි ලෙස දැනුම බෙදා දෙන්නෙමු.

තවද ප්‍රසිද්ධ කියාගෙන විනාඩි 10න් #විවාහ පොරොන්දම් ආදිය බලා නොගැලපේ ලෙස කියන ලද කේන්දර සටහන් සූක්ෂමව සාදා බැලූ කල විවාහයට අදාල පූර්ණව විග්‍රහයෙදි ගැලපීම නිසා පසුගිය කාලයේ සැලකිය යුතු පිරිසකට #ප්‍රේම සබදතා තිබුනද කේන්දර හරස් වී අසරණව සිටි අතර, අප විසින් නිවරදිව කේන්දර සටහන් සෑදු පසු බොහෝ දෙනෙක් ගැලපෙන බව අනාවරණ විය.

ජ්‍යොතිර්වේදින් 10 ක් ලගට ගොස් එයින් 5-6ක් විවාහයට හොඳ බව කීවොත් විවාහය කරගන්නට සිතා සිටින මෝඩ අදහස් ඇති අයද සිටිම අපිට කණගාටුවකි.
අවශ්‍ය වන්නේ නිවරදි 1 තැනකින් බලාගැනීම පමණි.
පොදුවේ කියන්නේ නම් අතීතයේ සිට තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියා බොහෝ අවස්ථාවල මීට සුදුසු වේ. සමහරවිට ඔහු එතරම් ප්‍රසිද්ධ නැති වුවද අදාල පවුල් වල කේන්දර සටහන් දැක ඇති නිසා ඔවුන් ගැන අවබෝධයෙන් එම කටයුතු කරදෙනු ඇත.

 යන්නන් වාලේ ජ්‍යොතිෂ්‍යය යැයි කියන කඩ වලට, ප්‍රසිද්ධ අයට හෝ එසේ නැත්නම් සමහර නාලිකා වල මාධ්‍ය සංදර්ශන පෙන්වමින් තමන් ජ්‍යොතිෂ්‍යය දන්නා බව කියන ප්‍රේතයන් ගෙන්වා සාස්තර කියන අයට හසු නොවන්න.
 #බුද්ධිමත්ව කටයුතු කරන්න.

#බුදු සරණයි !

#ඉරුසේවය