Sunday, October 29, 2017

“ රට - ජනතාවට යහපත උදා කරන සෙනසුරු මාරුව “



ග්‍රහ ලොව දුකට අධිපති ශනි/සෙනසුරු ග්‍රහයා නොහොත් අකීකරු පුත්‍රයා, 2017/10/26 කුජ හිමි වෘශ්චික රාශියේ සිට ගුරුට හිමි ධනු රාශි ගත වේ. සෙනසුරු 2020/01/24 වන දින දක්වා මෙම රාශියේ ගෝචර වේ.

* ලංකා කුම්භ ලග්න කේන්දරයේ  සතුරු රාශියක් වන වෘශ්චික රාශියෙන් මිදි 11 වැන්න වන ධනු රාශියට  පැමිණීමෙන් යහපත් ඵල රැසක් උදා වීමට ඉඩ ඇත. ඒ අතර ආර්ථිකය වර්ධනය මූලික කාරණයක් වෙයි. රටට නව ආයෝජන අවස්ථා  උදා වීමටත්, මහා පරිමාණ කර්මාන්තශාලා රටේ ඉදිවීම තුල ආර්ථිකය දියුණු වීමටත් ඉඩ ප්‍රස්ථා හිමි වෙයි.
පොදුවේ ජනතාවටද ක්‍රමිකව යහපත අපේක්ෂා කල හැකි කාලයකි. පෙර තිබුනු බාධා - කරදර දුරු වෙයි.  ලග්න 12ටම පොදුවේ සුභ ඵල අපේක්ෂා කල හැක.
-
පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.
ලග්න 12ට පොදුවේ,
-

● මේෂ
    මේෂ ලග්න හිමියන්ගේ  10,11 අධිපතිත්වය දරන  සෙනසුරු  8 වැන්න වන ආයු ස්ථානයෙන් මිදී 9 වැන්න වන ධනු රාශි ගත වීම නිසා  මුදල් පසුම්බිය තුළ මුදල් ඉතුරු කර ගන්න වගේම ඔයාලගේ බැංකු පොතේ මුදලක් ඉතුරු කර ගන්න හැකියාව  ලැබෙන කාලයක්. ඒවගේම තමයි ජීවිතයේ පසුබෑමකට ලක් වී තිබුණ  ඉලක්ක සපුරා ගන්නත් හැකියාව  ලැබෙන්නට වාසනාව තියෙනවා.
රැකියා ස්ථානයේ නම්  ඔයාගේ යාළුවන්ට වැඩිය  ඔයාට නිසි තැන ලැබෙන්න පුළුවන් හැකියාව වැඩි වෙන්නටත් ඉඩ තියනව. තරඟ විභාග වලට සහභාගි වෙලා ඒවායින් ජය ලබාගන්න හැකි කාලයක් තමයි ඉදිරියට උදා වෙන්නෙ.
ගෘහ ජීවිතය නම් දැනට මාස 3ක විතර ඉඳලා තිබුණ අපල තත්වය සහ තරහමරහ අසමගිකම් දුරු කර ගෙන සතුටින් කාලය ගත කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ඉදිරියට උදා වෙන්නේ. තරුණ තරුණියන්ගේ මංගල යෝග වලදි තිබුණ බාධා හිත් නොහොඳකම් නැති කරගෙන ආයෙත් ප්‍රේම සම්බන්ධතාවයක්  ගොඩනඟා ගන්න ගන්න සුදුසු කාලයක් තමයි මේ  උදා වෙන්නේ.

       -
● වෘෂභ
වෘෂභ ලග්නයේ 9- 10 අධිපතිකම් දරන ශනි ග්‍රහයා මෙවර සෙනසුරු මාරුවත් එක්ක 7 වැන්නේ සිට 8 වැන්නට ඇවිල්ලා, සෙනසුරු මාරුව එක්ක සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටක තත්වය ඇති වෙනව.
මේ නිසා  ආර්ථිකයට තරමක් තද පහරක් එල්ල කරන්න ඉඩ තිබුනත්,  තමන්ගේ බුද්ධිය මෙහෙයවලා වැඩ කලා නම් එම තත්ත්වයෙන් මිදෙන්න ඔබට හැකියාවක් ලැබෙන්නට  පුළුවන්. තමන්ගේ තියෙන දුර්වලතා හඳුනා ගෙන වැඩ කටයුතු කරනවා නම් තරමක් හෝ තිබෙන දෝෂ තත්වයන් තත්ත්වයන් දුරු කර ගෙන ඉදිරියට යන්න   ඔබට අවස්ථාව උදා වෙනවා.
ඔයාගේ රැකියාවට ඔයාට සමුදෙන්න හිතේවි, දැන් මේ රැකියාව කරා ඇති කියලත් හිතෙයි, කාලයක් ඉදලම ඒ තත්වයන් හිතේ තිබිලා තියෙන්න පුලුවනි. ඒ වගේ අවස්ථාවන් වලදී හදිසි තීරණ නොගෙන බුද්ධියෙන් කටයුතු කිරීම තුළින්, ඒකියන්නේ කීපවතාවක් හිතලා, කරුණු කාරණා සලකා බලල කටයුතු කරන්න. රැකියාවේ ඉදිරි ගමන සාර්ථක  කරගන්න ඔබට හැකියාව තියෙනව.
ගෘහ ජීවිතයේදි අඹුසැමියන්, පෙම්වතුන් අතර නුරුස්සන ගති ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථා වලදී ඉතා සංයමයෙන් වැඩ කටයුතු කරලා තම පවුල් ජීවිතයේ ඉදිරි සාර්ථකත්වය කරා යාමට හැකියාව තියෙනව.

    -


● මිථුන
  මිථුන ලග්නයේ  8-9 අධිපතිත්වය දරන සෙනසුරු ග්‍රහයා 6 වැන්න වන සතුරු රාශියෙන් මිදී විවාහ ස්ථානය වන 7 වැන්නට පැමිණේ.
ඔයාට සල්ලි ටිකක් අතට ගන්න නම් තරමක් මහන්සි වී වැඩ කටයුතු කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි හවුල් කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති අයගෙන් අවවාද උපදෙස් ලබාගෙන ඒවායේ නිරත වීමෙන්  සුබ ප්‍රතිඵල ලැබිමට හැකි කාලයක්.
ඔයාගේ රැකියා කරන ස්ථානයේ වෙනදාට වඩා බුද්ධියට ඉඩදී කටයුතු කිරීම නිසා තරමක් වාසි සහගත කාලයක් උදා වීමට ඉඩ තියනව.
ඔබ නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඒවා ලැබිමට ඉඩ තියන කාලයක් තමයි මේ.
ගෘහ ජීවිතයේ තරමක් බාධා ආවත් දෙදෙනා අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කරනවනම් පෙරට වඩා ජිවිතය යහපත්ව ගත කිරීමට හැකි කාලයක් වීමට ඉඩ තියනවා. මංගල යෝග සම්බන්ධ කාරණා වලදී නම් ඉතා ප්‍රවේශම් වීම වැදගත්. හොඳට බුද්ධියෙන් කල්පනා කරලා, හොයල බලල තීරණ ගන්න (ඒක කෝකටත් හොඳයිනෙ)

   -
● කටක
    කටක ලග්නයේ  නම් 5 වැන්නේ සිටි ශනි ග්‍රහයා 6වැන්නට පැමිණීමත් සමග යහපත් කාලයක් වෙනව. විශේෂයෙන් සතුරන් පරාජය කරන්න ලැබෙන, ඉබේ සතුරන් පරාජය වෙන කාලයක්.
හිස්ව තිබු මුදල් පසුම්බිය පිරෙන්න ආර්ථිකය ගොඩනගා ගන්නට අවස්ථා සහ ආයෝජන අවස්ථා උදාවිමට හැකි කාලයක් වෙනව. ඒවයෙදි බුද්ධිමත්ව වැඩ කරන්න ඕන.
රැකියා ස්ථානයේ නම් අතපසු වූ රාජකාරි කටයුතු කිරීමට අවස්ථාවක් උදාවෙන  කාලයක් වෙනව. මෙතෙක් නොලැබී තිබූ උසස් වීම් තරඟ විභාග වලට සහභාගි වීමට ඉඩකඩ ලැබෙන කාලයක් තමයි මේ ඉදිරි කාලය.
ගෘහ ජීවිතය නම්  දරුවන් සම්බන්ධ තිබූ සියලු ගැටලු නිරාකරණය කරගෙන තම පවුල තුළ වෙනදාට වඩා සමගියෙන් ඉන්න ලැබෙන කාලයක් වීමට ඉඩ තියෙනවා.

    -
● සිංහ
  සිංහ ලග්නයේ 6- 7 අධිපති 4  වැන්න වූ වෘශ්චික රාශියෙන් මිදී 5 වැන්නට ආවාම මෙතෙක් තිබුනු සිත් පීඩා, කරදර - බාධා දුරු වෙන්න සිතට සැනසීමක් උදා වෙන්න කාලයක් වෙනව.
 තම ආර්ථිකයට මෙතෙක් ඇතිව තිබු ගැටලුකාරී තත්ත්වයෙන් මිදීමට  අවස්ථාව උදාවෙනව. වෙනදාට වඩා සූක්ෂ්ම ලෙස කටයුතු කිරීම තුළින් තරමක් හෝ ඇති ගැටළුකාරී තත්වයන් දුරු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ තියනවා.
නව රැකියා  ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ මෙතෙක් තිබූ බලාපොරොත්තු සඵල  වී  තමන්ට සුදුසු රැකියා අවස්ථා ලැබීමට ඉඩකඩ තියෙනවා. තම රැකියා ස්ථානයේ කලින් තිබුණ මානසික ව්‍යාකූල බව තරමක් දුරට අඩු කර ගැනීමට අවස්ථා උදා වෙනව. සුළු බාධා තියේවි, ඒවා කළමනාකරණය කරගන්න උවමනයි.
දරුවන් සම්බන්ධ ගැටළු ඇති වෙන්න පුළුවන්, ඒවා විසඳා ගැනීමට  පෙරට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්නට ඔබට සිදු‍වෙනව.  පෙරට වඩා අඹුසැමියන් වගේම පවුලේ අය සමග තියෙන  හොඳ හිත වර්ධනය කරගෙන පවුලේ සමගිය - දියුණුව වැඩි කර ගැනීමට හැකියාව තියෙනව.
     -


● කන්‍යා
    කන්‍යා ලග්නයේ 5-6 අධිපති 3 වැන්නෙන් මිදි 4 වැන්න වන කුටුම්බ ස්ථානයට පැමිණේ.
මනස වෙහෙස වන වැඩ කටයුතු කිරීමත්, තමන්ගේ මුදල් නිසි ආකාර කළමනාකරණය කර ගෙන ඉඩකඩම් මිල දී ගැනීම වැනි  ස්ථාවර  ආයෝජනයකට තම මුදල් යොමු කිරීම තුළින් පෙර පැවති සාර්ථකත්වය තවදුරටත් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන්නට ඉඩ තියෙනව.
තම රැකියා ස්ථානයේ ඔබට  සුළු සුළු බාධා තත්වයන් අති වුවද, එම බාධා තත්වයන් මග හරවා ගැනීමට අන් අය සමග බුද්ධියෙන්,  සහයෝගයෙන් වැඩ කිරීමට ඔයාට සිදු වෙනව.
ගෘහ ජීවිතයේ ඇති වෙන ගැටලු නිරාකරණය කර ගැනීමට පෙරට වඩා නම්‍යශීලීව සහ බුද්ධියෙන් යුතුව වැඩ කටයුතු කිරීමට වග බලා ගත යුතුය. යම් තීරණයක් ගැනීමේදී දෙවරක් සිතා බලා කටයුතු කිරීම තුළින් ඇති අසුබ ඵල මග හරවා සුබ පල වර්ධනය කර ගැනීමට හැකියාව ඇත.

   
   -
● තුලා
   තුලා ලග්නයේ 4-5 රාශි හිමි ශනි පසු ගිය මාස 3 ඇතුළත තිබු සුලු අපල තත්වයන් මිදිලා මෙම  3 වැන්නේ ගෝචර වෙනව. සෙනසුරුට කියනවා නොන්ඩියා කියල, 3 වැන්න කියන්නේ වික්‍රමස්ථානය. ඒකියන්නේ චණ්ඩිකම පෙන්වන තැන. නොන්ඩියා, චණ්ඩි වෙන අවස්ථාව තමයි 3 වැන්නට සෙනසුරු ආවාම.
 පසුගිය කාලේ ඔයාගේ මුදල් සේරම  වියදම් වුනා නම්, ඔන්න මේ මාසේ 26 වෙනිදාට පස්සේ ඔබටම හිතෙයි දැන් මම මුදලක් අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න ඕන, අනාගතය සාර්ථක කර ගන්න ඕන කියල. ඒකට මාර්ග උදා වේවි. උත්සහ කරන්න.
ඔයාගේ රැකියා ස්ථානයේ පැවති දුර්වලතා මඟ හරවා ගෙන උසස් දියුණුවක් කරා යාමට මූලික අඩිතාලම දමා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
තම භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සමඟ සුළුවෙන් හෝ  රණ්ඩු සරුවල් නෝක්කාඩු  ඇති වෙලා තිබුනත්  ඒවා අමතක කරල සමගියෙන් ජීවිතයේ ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා.
-

● වෘශ්චික
වෘශ්චික ලග්න හිමි ඔබට ශනි ග්‍රහයා ලග්න ඒරාෂ්ඨකයේ අවුරුදු 7 හමාරෙන්, මැද 2 හමාර ගෙවිලා,  ලග්නයෙන්/1 වැන්නෙන් මිදී 2වැන්නට පැමිණීම ඒරාෂ්ටක තත්වය අවසාන වසර 2 හමාරක කාලයට එළඹෙනව.  පෙරට වඩා යහපත් ප්‍රතිඵල ගෙන දෙන කාලයක් වෙන්න පුළුවන්.
 ඇතිවන සුළු සුළු ගැටළුකාරි තත්වයන් බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කිරීම තුලින් ලැබෙන යහපත් ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ තියෙනව.
රැකියා ස්ථානයේ පෙරට වඩා උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කිරීම තුලින් පැවති දුර්වලතා මග හරවා ගැනිමට ඔයාට ඉඩකඩ ලැබෙන කාලයක් තමයි මේ. නව රැකියා සොයා ගැනීමට තිබූ බාධා ඉවත් වේ. යහපත් රැකියා අවස්ථා උදා වේ.
  ගෘහ ජීවිතය නම් අඹුසැමියන් සහ දරුවන්ගේ දුර්වලතා හඳුනා ගෙන ඒවා මඟ හරවා ගෙන පෙරට වඩා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට සහ සාර්ථක දියුණුවක් වෙනුවෙන් පියවර ගන්නට අවස්ථා ඔයාටත් උදා වෙන්න පුළුවන්. හිතල වැඩ කරන්න.
 

     -
● ධනු
   ධනු ලග්න හිමියන්ගේ 12 වන භාවයේ සිට ලග්නභාවය/ 1 වැන්නට ශනි ග්‍රහයා ඒම තුල ඒරාෂ්ටක අපල තත්ත්වය තව දුරටත් වසර 5 කාලයක් ඉදිරියට ගත වෙයි. ඒත්  නරකම වසර 2 හමාර ගෙවිලා ඉවරයි.
2- 3 භාවයන්හි අධිපතිත්වය දරන  ශනි ග්‍රහයා ලග්න ගත වීම නිසා ඔයාලාගේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑම් එල්ල වීමට ඉඩ තියෙනව. ඔයා මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී දෙවරක් සිතා බලා කටයුතු  කරනවා නම් අනවශ්‍ය නිරපරාදේ වෙන්න පුලුවන් වියදම් මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙනවා.
රැකියා ස්ථානයේ හදිසි තීරණ නොගත යුතු අතර ඔයාට ලැබෙන රාජකාරි කටයුතු වලදී ඒවා අතපසු නොකර නිසි කලට වෙලාවට කිරීම තුළින් රැකියාවේ ඇතිවන බාධාකාරී තත්ත්වයන් මඟ හරවා ගෙන ඉදිරියට යාමට හැකියාව ඇත.
ගෘහ ජීවිතයේ පිනට දහමට ලැදිව  ඉවසීමෙන් යුතුව සහ මනා බුද්ධියෙන් යුතුව කටයුතු කිරීම තුළින් මෙම අපලයේ ඇති විය හැකි අසුභදායි ප්‍රතිඵල මග හරවා ගනිමින් ඉදිරියට යාමට හැකියාව ඔබට ලැබෙනු ඇත.

-
● මකර
මකර ලග්නයේ 1-2 භාවයන්හි අධිපති වන ශනි 11 සිට 12 වැන්නට පැමිණීම තුලින් ලග්න ඒරාෂ්ටක අපල තත්වයේ ආරම්භය නිසා මෙය වසර 7 හමාරක කාලයක්  ඉදිරියට පවති.
එමනිසා   මිල මුදල් ආයෝජනය කිරීමේදී නම් ඉතා පරිස්සමෙන් වගේම හොඳට හිතල බලල  කටයුතු කරන්න ඕන. අනවශ්‍ය කටයුතු සඳහා මුදල් වැය වෙන්න යනව නම් ඒ ගැන දෙවරක් සිතා බැලීම කල යුතුය. එමගින් අත්විය හැකි අසුබ ප්‍රතිඵල අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියා ස්ථානයේ ඔයාට  පැවරෙන රාජකාරිය පමණක් ඉටු කිරීම අනුන්ගේ වැඩ කටයුතු වලට අත නො ගැසීම තුලින්, කොටින්ම කියනවා නම් තමන් තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් රැකියා ස්ථානයේ  ඇතිවන කරදර  අඩුකර ගැනීමට හැකියාව තියනවා.
ඔයාගේ පවුල් ජීවිතයේ හදිසියේ තරහක් ආවොත් සිත පාලනය කර ගන්න  සිද්ධ වෙනවා, නැත්නම් පවුල් ජීවිතයට දැඩි බාධා ඇති වෙන්න උනත් පුළුවන්.  ආගමික කටයුතුවල යෙදීමෙන් සහ දාන මාන පූජා භාර හාර වීමෙන්  මෙම අපල තත්වය මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙනව.

    -
● කුම්භ
   කුම්භ ලග්නයේ ලග්නාධිපති වන ශනි 10 වැන්න වන  කර්මස්ථානයේ සිට 11 වැන්න වන අයස්ථානයේ තැන්පත් වීම සිදු වේ.
 එමනිසා ඔයාගේ පවතින ආදායම් මාර්ග පෙරට වඩා  සංවර්ධනය කර ගන්න සහ ඔයාගේ ආර්ථික තත්වය තව තවත් තර කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ තියනව. යහපත් ආයෝජන කිරීම තුල විශාල දියුණුවකට ව්‍යාපාර වලින් යාමේ වාසනාවත් මේ කාලයේ තියෙනව.
රැකියාවක් සොයන අයට නම් යහපත් රැකියා  අවස්ථාව උදා වෙන්න මෙම ග්‍රහ මාරුව හේතුවක් වෙන්න පුළුවන්. රැකියා කරන අයගේ ප්‍රමාද වී තිබූ වැටුප් හා අතිකාල දීමනා ද උසස් වීම්ද ලබා ගන්න  හැකියාව ලැබිමට ඉඩ තියනව. කැපවීමෙන් වැඩ කරාම දියුණුව ලැබෙන්න ඉඩ වැඩියි.
සහකාරියක් -සහකරුවෙක් සොයා ගන්න ප්‍රමාද  වෙලා තියනවා නම් ඉදිරි කාලයේ සොයා ගන්න අවස්ථා උදාවෙනව. කලින් පොඩි හරි අමනාපයක් තිබුනු අයව නැවත හිතවත් කරගන්නත් අවස්ථාවන් යෙදේවි.

   -
● මින
  මීන ලග්නයෙන් 11 සහ 12 වැන්න අධිපති ශනි පුණ්‍යස්ථානයේ සිට කර්මථානයට.
 මෙනිසා ඔබට ආදායම් - වියදම් මනාව කළමනාකරණය කර ගැනීමට වග බලා ගත යුතුය.  ඔයාලගෙ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරිමේදි කලබල නොවිය යුතු අතර  සෑම කටයුත්තකටම පෙර දෙවරක් සිතා බැලීමෙන් සාර්ථක ඉදිරි දියුණුවක් ලගා කර ගත හැක.
ඔයත් නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට හැකියාව ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය. රැකියා ස්ථානයේ තිබෙන ගැටලු වලට විසඳුම් ඔයාටම සොයාගන්න වෙනවා.
ගෘහ ජිවිතයේ මෙතෙක් තිබුණ සමගිය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ඔයාලට පියවරක්  ගන්න සිදු වෙනව. ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු වලදි  දෙමව්පියන් වන ඔයාලාට මැදිහත් වෙන්න සිදුවන  කාලයක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් නිසි පරිදි කටයුතු කරන්න.


-

සෙනසුරුගේ පීඩාකාරි තත්වයන් ඇති වන අයට පූජාවක් !

* නිල් මල් වට්ටි 03
* පැන් වීදුරු 03
* හඳුන්කූරු 09
* පහන් 03

බටහිර දිශාවට පහන් දැල්ල, වඩා සුදුසු බෝධින්වහන්සේ නමක් අභියස පූජාව කරනවා නම්.
බදාදා - සෙනසුරාදා දින 2 විශේෂයෙන් වැදගත්. ( රාත්‍රි 7.30 - 9 )

 ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ නාමයෙන් සෙනසුරු ග්‍රහ මණ්ඩලය, සෙනසුරු ග්‍රහ බලවේගයන්ට පූජා කරමි ! පූජා වේවා ! සතර මහා බුදුවරයන්වහන්සේලාට පූජා වේවා !
මේ පින් - කුසල් මා ඇතුළු සියලු ඥාතින්ට, ඉෂ්ට දෙවිවරුන්ට, සියලු ඥාතින්ට, සියලු දෙවිවරුන්ට, සියලු සත්වයන්ටම අනුමෝදන් වේවා ! සියලු ග්‍රහ දෝෂ, අකුසල කර්ම පාප කර්ම දුරු වේවා ! සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා !
( සිතින් ප්‍රාර්ථනා කිරීම වැදගත්ය)

No comments:

Post a Comment