Thursday, March 31, 2016

සිකුරු උච්ච වීම - අප්‍රේල් 01 (2016)

ග්‍රහ ලොව සුරූපි තරුණිය වන සිකුරු ග්‍රහ තාරකාව අප්‍රේල් 01 වනදා තම උච්ච රාශිය වන මීන රාශියට පැමිණෙයි ! මීන රාශිය ගුරුට අයත් රාශියක් වන අතර ගුරුටම අයත් නැකතක සිකුරු උච්ච වීම ශුභ තත්වයකි.
පුරා සති 3ක කාලයක් මෙය බල පැවැත්වේ.
මෙය සිදුවන්නේ වසරකට 1 වාරයක් පමණය.

“ මේ ළමයගේ සිකුරු උච්ච වෙලා යැයි “ කියන්නේ මෙවන් කාල වලදි උපදින දරුවන්ගේය. උපතේදි සිකුරු උච්ච ඕනෑම කෙනෙකුට “මහෞෂධ යෝගය“ යෙදෙන අතර, එම උච්ච වීම 1,4,7,10 තැනකදී සිදුවුනි නම් එය පංච මහා පුරුෂ යෝගයක් වන මාලවි යෝග බලයක්ද ගෙන දෙයි.


ලග්න 12ට සිකුරු මාරුව බලපාන අයුරු දැන් බලමු !

- මෙම සියලු පලාපල පොදු ඒවා වන අතර කේන්දර සටහන අනුව වෙනස් විය හැක.



● මේෂ
සමඵලයි.
වැයස්ථානය වන 12 වැන්නට සිකුරු පැමිණෙයි.
ආර්ථික තත්වය යහපත් වුවද අධික වියදම් තත්වයක් මේ කාලයේ පවතින්නට ඉඩ ඇත. එනිසා අරපරිස්සමෙන් කටයුතු කරන්න. අනවශ්‍ය වියදම් වලින් මිදෙන්න. ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න, අසරණ අයට දන් දෙන්න. සිටින තැන අනුව ස්ත්‍රි පාර්ශව වලින් කරදර වීමේ යම් ප්‍රවණතාවයක්ද පවතින නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.



● වෘෂභ
ශුභයි.
අයස්ථානය වන 11 වැන්නට ලග්නාධිපති සිකුරු පැමිණෙයි.
11 වැන්නේ රවි-සිකුරු-බුධ යෝගය නිසා බොහෝ සුබයි. විශේෂ වශයෙන් ව්‍යාපාර වලට සුබයි. සිකුරුට අයත් කර්මාන්ත වල යෙදෙන අයටද විශේෂයෙන් සුභයි. අලංකාරවත්ව සිටින්නට කටයුතු කරන කාලයකි. ශුභ තත්වයන් වැඩි දියුණු කරගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.



● මිථුන
ශුභයි.
රැකියාව ගැන කියවෙන 10 වැන්නට සිකුරු පැමිණෙයි.
මෙම පැමිණීම සමග කේන්දරස්ථානයක සිකුරු උච්ච වීම නිසා ‘මාලවී පංච මහා පුරුෂ යෝගය‘ මිථුන ලග්න හිමියන්ට යෙදෙයි. රැකියාවේ දියුණුව සහ ස්ථිර වීම අපේක්ෂිතය. තමන් විසින් මෙතෙක් අතපසු කල කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි. නව අයෝජන, අලුතින් පටන් ගන්නා තමන්ගේම කටයුතු වලට බොහෝ ශුභ කාලයකි. බාධා දුරු වන කාලයකි.



● කටක
සමඵලයි.
පින ගැන කියවෙන 9 වැන්නට සිකුරු පැමිණෙයි.
මෙය පොදුවේ සුභ වුවද ආදර - ප්‍රේම කටයුතු වලදි කලකිරිම් අැතිවීමට ඉඩ වැඩි කාලයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු ගැන හිතේ තිබුනු සැනසීම, සැහැල්ලුව යම් තරමක් අඩු වන කාලයකි. ප්‍රේම කටයුතු වලට යම් බාධා ගෙන දෙන කාලයක් විය හැක. විශේෂයෙන් තේරුම් ගත යුත්තේ මෙය අපලයක් ලෙස පෙනුනද සැබෑවටම බුද්ධියෙන් කටයුතු කරන්නට අවස්ථාවක් බවයි.


● සිංහ
ශුභයි.
ආයුෂය ගැන කියවෙන 8 වැන්නට සිකුරු පැමිණෙයි.
රවි-බුධ සමග සිකුරු එකතුවීම ශුභ තත්වයකි. රැකියාවේ දියුණුව අපේක්ෂිතයි. ව්‍යාපාර වලට සුබයි. අතපසු වූ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ඇත. දහමට අනුව කටයුතු කරන්න.
හදිසි අනතුරු වලින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි.



● කන්‍යා
ශුභ කාලයකි.
විවාහය ගැන කියවෙන 7 වැන්නට සිකුරු පැමිණෙයි.
මෙම පැමිණිම සමග “මාලවි පංච මහා පුරුෂ යෝගය“ කන්‍යා ලග්න හිමියන්ට උදා වෙයි. ආදර-ප්‍රේමය-විවාහය ගැන 7 වැන්නට යෝගකාරක ග්‍රහයා වන සිකුරුගේ පැමිණිම මංගල යෝග උදා කරයි. අවිවාහක අයට විශේෂයෙන් ප්‍රේම සබදතා ඇතිවිමට හේතුයි. විවාහක අයට අඹුසැමි ප්‍රීතිය ඇතිවිමට අවස්ථා උදා කරයි. සිතට සතුට උදා වෙයි.


● තුලා
ශුභයි.
සතුරන් සහ රෝග ගැන කියවෙන 6 වැන්නට ලග්නාධිපති සිකුරු පැමිණෙයි.
සතුරු බලපෑම් මෙන්ම සතුරන් පරාජය කරගන්නටද හැකියාව ලැබෙන කාලයකි. වෙනදාට වඩා අන් අයගේ උදව්ද අපේක්ෂිත කාලයකි. එසේ වුවද එම උදව් සමග කරදරද පැමිණිය හැකි නිසා ඒ සියලු කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්න.


● වෘශ්චික
ශුභයි.
අධ්‍යාපනය ගැන කියවෙන 5 වැන්නට සිකුරු පැමිණෙයි.
මේ කාලය වෙනදාට වඩා අලංකාරයට සිටින්නට කටයුතු කරන කාලයකි. ඇඳුම් - පැලඳුම් වලට වැඩියෙන් වියදම් කරන කාලයකි. ඉගෙන ගන්නා දරුවන්ට විශේෂ වශයෙන් අධ්‍යාපන කටයුතු වලට අවධානය යොමු කරන ලෙස දෙමාපියන් විසින් අවවාද දිය යුතු කාලයකි. දරුවන් වෙනුවෙන් පින් කටයුතු වල නිරත වීම විශේෂයෙන් සුභයි.


● ධනු
ශුභයි.
දේපල ගැන කියවෙන 4 වැන්නට සිකුරු පැමිණෙයි.
“මාලවි පංච මහා පුරුෂ යෝගය“ ධනු ලග්න හිමියන්ට යෙදෙයි.  දේපල ලාභ ලැබෙන කාලයකි. පැවති බාධා දුරුවන වාසි ලැබෙන කාලයකි. වාහන ලාභද, හදිසි ධනලාභ වාසනාවද ඇති කාලයකි. සිතේ සතුට රජයන ජයග්‍රහණ ලැබෙන කාලයකි.


● මකර
ශුභයි.
වික්‍රමස්ථානය වන 3 වැන්නට සිකුරු පැමිණෙයි.
වෙනදාට වඩා අන් අයගේ ප්‍රශංසාව ලැබෙන, කටයුතු වලට උදව් ලැබෙන කාලයකි. තමා සමග වෙනදාට වඩා පිරිසක් සිටින බවක් දැනෙනු ඇත. ආර්ථික වාසි, තනතුරු උසස් වීම්, රැකියාවේ දියුණුව යනාදි සියලු කටයුතු වලට බොහෝ ශුභයි. යෝගකාරකයාගේ බලය නිසා සතුට රජයන අතර ජයග්‍රහණ රැසක් ලබාගැනිමට හැකියාව ඇත.


● කුම්භ
ශුභයි.
2 වැන්න වන ධනස්ථානයට සිකුරු පැමිණෙයි.
ආර්ථික තත්වය යහපත් වෙයි. වෙනදාට වඩා ප්‍රියමනාපව සිටින, ලෝබයක් නැතිව අලංකාරයට වියදම් කරන කාලයකි. රූප ස්වභාවයද වැඩි වන කාලයකි. මේ සියලු කාරණා අතර වියදම් පාර්ශවය ඉහල යා හැකි නිසා ඒ ගැන බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න. විනෝදයට මෙන්ම දහමට අදාලව පින් දහම් කටයුතු වලට යෙදෙන්නට අමතක නොකරන්න.



● මීන
ශුභයි.
1 වැන්න වන ලග්නයට සිකුරු පැමිණ උච්ච වෙයි.
ඒ අනුව පංච මහා පුරුෂ යෝගයක් වන ‘මාලවි‘ යෝගය මීන ලග්න හිමියන්ට යෙදෙයි. අන් අය ඔබට ප්‍රශංසා කරන, ඔබට වෙනදාට වඩා ආකර්ෂණය වන කාලයකි. මෙනිසා මනාවට අලංකාරවත්ව සිටිමටත් ඒ වෙනුවෙන් වියදම් කිරිමටත් කටයුතු කරන කාලයකි. සිතට සතුට ලැබේ. විනෝදයෙන් සිටිමට කටයුතු කරන කාලයකි. කටයුතු සාර්ථක වෙයි. අවිවාහක අයට මංගල යෝග යෙදෙයි. ප්‍රේමයට තිබුනු බාධා දුරු වන යහපත් කාලයකි.

No comments:

Post a Comment