Friday, May 29, 2015

ගුරු - සිකුරු යෝග වීම (මැයි 30 සිට) 



ග්‍රහ ලොව සුපිරි තාරකාවන් දෙදෙනෙකුගේ එක්වීම මෙම මාසයේ 30 වෙනිදා සිදුවේ.
ගුරු සහ සිකුරු යන ග්‍රහ තාරකාවන් විශේෂයෙන් එකිනෙකාගේ ග්‍රහ ගති අනුව වෙනස් උවත්, බොහෝසෙයින්ම ශුභදායක ග්‍රහයන් 2කි.
විශේෂයෙන්ම පුද්ගලයාගේ ලෞකික දියුණුව සහ සැප සම්පත් කෙරෙහි, මෙම ග්‍රහයන් 2නාගේ බලපෑම සුළු පටු නොවේ.

එසේ නම්, ඉදිරියේදී මෙම ග්‍රහයන් 2නාගේ සුසංයෝගයෙන් ඔබට කුමක් වේදැයි, ජ්‍යොතිෂ්‍යය අනාවැකියක් මගින් විමසා බලමු.
මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ, මෙම මාසයේ 30 වන දින රාත්‍රි 8.56ටය. එසේ නම් කටක රාශියෙදි සිකුරු ග්‍රහයා සහ කටකයේ උච්චව සිටින ගුරු/බ්‍රහස්පතීට, සිකුරුව මුණ ගැසේ. එසේ නම් විමසා බලමු ලග්න 12ට මෙම ග්‍රහ මාරුව කෙසේ බලපාවිද යන්න.

● මේෂ
4 වැන්නේ ගුරු - සිකුරු යෝගය පිහිටීම - සුභයි
මෙම ග්‍රහ මාරුව නිසා විශේෂයෙන්ම ගෘහ ජිවිතයේ සුභදායක දියුණුවක් දකින්නට ලැබේ. එසේම පවුල් ජීවිතයේ ශුභදායක පරිවර්ථනයක් සිදුවේ. වෙළද ව්‍යාපාර වල නියුතු වන අයට ව්‍යාපාර කටයුතු දියුණු වේ. එසේම තම තමන්ගේ කටයුතු වල හොඳ තත්වයක් දකින්නට ලැබේ.

● වෘෂභ
3 වැන්නේ ගුරු - සිකුරු පිහිටයි - එය එතරම්ම සුභ වන්නේ නැත.
ශරීර සෞඛ්‍ය ගැන විමසීමෙන් පසුවිය යුතුයි. මන්ද මහත්වීම, සෙම් අමාරු සෑදීම පහසුවෙන් වීමට ඉඩ ඇත. නමුත් මංගල යෝග වලට යම්කිසි ශුභ බලපෑමක් ඇති කරයි. සහෝදරයන් සමග හවුලේ වැඩ කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. ඒ අනුව හොද කාලයකි.

● මිථුන
2 වැන්නේ ගුරු - සිකුරු පිහිටීම, ඉතාම හොඳයි.
ධන ධාන්‍ය තත්වය දියුණු වේ. මෙම නිසා තමන්ගේ වැඩ කටයුතු වලට හොඳ තත්වයක් ඇති වේ. එසේම තමන්ගේ වචනය අන් අයට ඉතාම ප්‍රියමනාප වේ. එය ඉතාම ශුභ තත්වයකි.

● කටක
1 වැන්නට ගුරු - සිකුරු යෝග වීම, ඉතාම ශුභ ආකාරයට බලපානු ඇත.
එනිසා තමන් සමාජයට ඉතාමත් ප්‍රිය වේ. සිත සතුටින් පිරේ. විනෝදයට ප්‍රිය කරයි. එසේම රසවත් ආහාරපාන මෙන්ම, නිතරම සතුටු සිටීමට මෙය ඉවහල් වනු ඇත.

● සිංහ
12 වැන්නට ගුරු - සිකුරු යෝග වීම තරමක වියදම්කාරි තත්වයක් පෙන්වයි.
10 වියදම් කරන තැනට, 1000 වියදම් කිරීමට සිදුවේ. සමහර වෙලාවට සිකුරු මහ දසා ගත කරන සිංහ ලග්න කරුවන්ට අනියම් කම්සැප විඳීමේ අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් මෙම පිහිටීම විවාහක අයට ඉතාම ප්‍රීතිය ඇති කරන පිහිටීමකි.

● කන්‍යා
11 වැන්නට ගුරු - සිකුරු යෝග වීම - ඉතාම හොදයි.
විශේෂයෙන්ම ලැබීම් භාග්‍ය පැත්තෙන් හොඳයි. අලුත් යාන-වාහන මිලදී ගැනීමටද උරුමහරුමකම් ලැබීමටද හොද කාලයකි. තවද අලුත් නෑදෑ හිතවත්කම්, එසේම මිත්‍ර සබදතා ඇති කරනු ලබයි.

● තුලා
10 වැන්නට ගුරු - සිකුරු යෝග වීම - ඉතා හොදයි.
මෙම ග්‍රහ පිහිටිම නිසා ඉතා වාසනාවන්ත පිහිටීමක් වේ. රැකි රක්ෂා වල දියුණුව, එසේම කරන කියන කටයුතු වල සාර්ථක භාවය ඇතිවෙයි. විශේෂයෙන්ම විදෙස් රැකියා කරන අයට මෙම කාලය හොදයි.

● වෘශ්චික
9 වැන්නට ගුරු - සිකුරු යෝග වීම - ඉතාම හොද බව කිව යුතුය.
වැඩිහිටියන්ට හොද කාලයකි. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙනු ඇත. එසේම පෙර පින් මතු වෙන්නාවූ කාලයකි. එසේම දියුණුව පහසුවෙන්ම ලැබේ.

● ධනු
8 වැන්නට ගුරු - සිකුරු යෝග වීම - මධ්‍යස්ථයි.
උරුමහරුමකම් ලැබීමේ භාග්‍යය පවතී. ඒවාට ශුභ කාලයකි. විශේෂයෙන්ම දියවැඩියා වැනි රෝගාබාධ තිබෙන අය කිසියම් ආකාරයක ප්‍රවේසමකින් සිටීම අවශ්‍යයි. තවද යම් වෙලාවක අනියම් සම්බන්ධකම් ඇතිවිමට හේතුයි. බුද්ධියෙන් කටයුතු කරන්න.

● මකර
7 වැන්නට ගුරු - සිකුරු යෝග වීම - හොඳයි.
කරන කියන කටයුතු දියුණු වේ. එසේම විවාහ මංගල යෝග ඇති වේ. තවද හවුල් ව්‍යාපාර කරන සියලුම දෙනාට ශුභදායක කාලයකි. විවාහ වූ අයට ප්‍රීතියෙන් සිටීමට පුලුවන්.

● කුම්භ
 6 වැන්නට ගුරු - සිකුරු යෝග වීම - මධ්‍යස්ථයි.
තමන්ගේ යටහත් පහත් සේවකයන් තමන්ට ඉතාම සුහදශීලිව කටයුතු කරනු ලබයි. එසේම නැන්දලා මාමලාගෙන් උදව් උපකාර ලැබීමටද හේතුයි. ඔබට කෙසේ වෙතත් රෝග පීඩාදියෙන් නම් ප්‍රවේසම් වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි.

● මීන
5 වැන්නට ගුරු - සිකුරු යෝග වීම - ශුභ බව කිව යුතුය.
මෙම තත්වය නිසා, දරුවන්ගේ දියුණුව ඇති කරනු ලබයි. එමනිසා තමන්ගේ දරුවන්ට ඉතාම හොද බව කියන්ටම ඕනෑ. මීන ලග්නයේ දරුවන් බලාපොරොත්තුව සිටින මව්වරුන්ට වාසනාවන්ත දරු උපත් සිදුවීමට නියමිතයි.



No comments:

Post a Comment