Thursday, January 15, 2015

රට අස්ථාවර නොකරනු.... වස්


පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණය සම්බන්ධව විවිධාකාරවූ මතයන් ජ්‍යොතිෂ්‍යය සම්බන්ධව මේ දිනවල පැතිරී යයි. නම් වශයෙන් සදහන් නොකෙරුවත්, විවිධ රාජ්‍ය බැංකු වල අධ්‍යක්ෂක ධූර දැරූ ජ්‍යොතිෂ්‍යෙව්දීන් යැයි කියාගන්නා බක පණ්ඩිතයන්ද, එසේම වෙඩි තියාගන්නවා යැයි කියූ සමහර ජ්‍යොතිෂ්‍යයවේදින්ද හා අප පෙර සදහන් කල ආකාරයට වෙනත් ආකාරයකට සිතා බැලුවොත්, මලු නැතුව කඩේ ගිය ජ්‍යොතිෂ්‍යය වේදීන්ටද මෙහිදී මරු පහරක් වැදී ඇති බව පෙනෙයි.

එසේම මෙහිදී ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රයට කුමක්වත් සිදුවී නොමැත. පරාජය වූයේ ඔවුන්ගේ පෞද්ගලික මතවාදයයි. අප සුවහසක් පාඨකයන්ට සේවය කරන ජ්‍යොතිෂ්‍යය සේවයක් වශයෙන් අප සැමවිටම උත්සහ කරන්නේ අපක්ෂපාති වූත්, මධ්‍යස්ථ වූත් පලාපලයක් සියලුම අංශ වලට ගෙන ඒමටය.

* මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගන්නා බව අප දැන සිටියෙමු.
එතුමා පොදු අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා දෙන්නට බොහෝ පෙර සිටම අප විසින් එතුමාගෙ කේන්දර සටහන දැන සිටියෙමු.
* හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍රය හා සැසදීමේදී එසේම මහින්ද සහ මෛත්‍රි උපන් දින වල චන්ද්‍ර රාශි පිරික්සීමේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙම මැතිවරණයෙදි පරාජය වන බව පැහැදිලි විය. එතුමන් සැබෑවටම පරාජයට පත් වූයේ නොවැ 2 දිනය.
එසේම මෙහිදී යම් මතවාදයක් ඉදිරිපත් කිරීමේදී දේශපාලනයට ප්‍රසිද්ධියේ ජ්‍යොතිෂ්‍යය ඈදාගැනීමෙන් ජ්‍යොතිෂ්‍යයට සිදුවේ.

* එයින් පුද්ගලයාට නොව ජ්‍යොතිෂ්‍යයට හානියක් වන බව අපගේ මතයයි.
එසේම අප හා බැඳි සිටින පක්ෂ විපක්ෂ සියලුම සහෘද පාඨකයන් අතර, විශේෂයෙන්ම එවකට පැවති ආණ්ඩුව සමග හිතවත් අයගේ සිත් නොරිදවනු පිණිස පල නොකිරීමට වග බලාගත්තෙමු.

● මේ මෑතකදී සුප්‍රසිද්ධ ජ්‍යොතිෂ්‍යවේදි මංජුල පීරිස් මහතා නාලිකාවකට පැමිණ, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අත්සන් කල වෙලාවක් ගැන ඔහුගේ මතයක් ඉදිරිපත් කර ඇත.

● නව ජනාධිපතිතුමා අත්සන් කොට ඇත්තේ ජනවාරි 9 වනදා සවස 6.17ටය.
* රවිගේ කාල හෝරාවේ, බුද පංචම කාල හෝරාවේ දිව්රුම් දී ඇත. එය වාසනාවන්ත තත්වයකි.

* එම අවස්ථාවේ පැවතියේ මුල නැකත බව මංජුල පීරිස් නම් ජ්‍යොතිෂ්‍යය දන්නා බව කියූවද, එම අවස්ථාවේ පැවත ඇත්තේ “මා නැකතය“
මුල නැකතේ නම් චන්ද්‍රයා/සඳු සිටිය යුත්තේ ධනුවේය. මා නැකතේ නිසා සිටින්නේ සිංහ රාශියේය...
(ඒ තරම් සරල දෙයක්වත් දන්නේ නැති කෙනෙක් ජ්‍යොතීර්වේදියෙකු වන්නේ කෙසේදැයි අපට සිතාගත නොහැක....)

* තවද ජනාධිපතිතුමාට දැනට ගත වන්නේ සෙනසුරු මහ දසාවේ රවි අතුරු දසාවයි. එයද ඉතාම බලවත් අවස්ථාවකි,

* එතුමන් මේ වන විට ඒරාෂ්ඨක අපලයක වසර 7 හමාරක් ගතකොට ඇත.

●පංච පක්ෂී ශාස්ත්‍රය අනුව බැලුවද ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා උත්‍රපල් නැකතේ බැවින් කාක පක්ෂියා හිමිවේ.
* එසේ නම්, ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිව්රුම් දුන් අවස්ථාවේදී කාක පක්ෂියා “ ගමන “  අවස්ථාවේ පැවතිය.
* පංච පක්ෂි ශාස්ත්‍රය අනුව, “ ගමන “ අවස්ථාව ඉහලින්ම හොද බව ශාස්ත්‍ර නියමයයි..

● නාම ස්වර අතින් පංච පක්ෂි ශාස්ත්‍රය බැලුවත්, මෛත්‍රිපාල යනු නාම ස්වරය “අ“ ස්වරයට අයිති වේ.

● “අ“ ස්වරය “භේරුඩ“ පක්ෂියාට හෙවත් “රාජාලියාට“ හිමිවෙයි.

● මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා 9 වෙනිදා දිවුරුම් දෙන විට, දුරුතු මස අව තියවක තිථිය අවසන් වී අව ජලවක තිථිය ලබා තිබුනි. අව ජලවක තිථිය අවසන් වීමට තිබුනේ 9වන සිකුරාදා දින සවස 6.34ටය.

● භේරුඩ පක්ෂියාට අශුභ වන්නේ. කුජ හෙවත් අගහරුවාදා දිනයයි. එසේ නම්, ජන්ම නැකතේ කාක පක්ෂියා ගමන අවස්ථාවේදී සිටියදී මෛත්‍රිපාල නමේ භේරුඩ පක්ෂියා එදින, “ රජ අවස්ථාවේ“ සිට ඇත.

එසේ නම් මංජුල පීරිස් මහතාගේ ඔලමොට්ටල කතාව කවුරුන් උදෙසාද ???

ඕනම කෙරුමෙකුට අපි අභියෝග කරනවා අපිත් සමග ජ්‍යොතිෂ්‍යයෙන් සටන් කරන්නට...
මිනිසුන්ව ජ්‍යොතිෂ්‍යය මගින් දේශපාලන ගැතිකමට පෙළඹවූ යුගය අවසන් විය...

මංජුල පීරිස් මහතා දන්නා ජ්‍යොතිෂ්‍යයක් නොමැත. ඔහු දන්නේ කර්ණමුණ්ඩයො සහ සුමන ප්‍රේතයන්ගෙන් ඔත්තු බැලීමට පමණි.

පසුගිය කාලයේදි දිගටම ආණ්ඩුවට ගැතිකරමින් අමාත්‍යංශ කීපයක උපදේශක තනතුරුද හොබවා  ඒ වරදාන වරප්‍රසාද දැන් නැති නිසා මෛත්‍රිපාල ජනාධිපතිතුමා අත්සන් කල වෙලාව වැරදී කියමින් රට අස්ථාවර කිරීමේ වෑයමක නියත වෙන බවක් පෙනී යයි.

“ දෙරණ නාලිකාවේදි පවසා ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා පරාජය වන බව තමන් ප්‍රකාශ කලා නම් එය මහින්ද රාජපක්ෂ මහතාට අවාසියක් සිදුවන බවත්, තමන්ට අල්පෙනෙති තුඩක හෝ උදව්වක් කල කෙනෙක්ට අවාසි කිරීමට අකමැති බවයි.
එසේ වුවද, දෙරණ නාලිකාවේ පසුගිය සදුදා දින පැමිණ කීවේ, මෛත්‍රිපාල මහතා අත්සන් කල වෙලාව වැරදි බවත් ඒ අනුව එය බොහෝ විපාක ගෙන දෙන වෙලාවක් බවත්ය.
එසේ නම් යම් පිරිසක් ගෙන යන රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියකට වක්‍රාකාරව උදව් කරන බවක් අපිට දැනේ. “

භූතයන්, ප්‍රේතයන් ගෙනැවිත් මොනවා කිව්වද... ඒවා නොවි රටට යහපතක් වන බව අප අවධාරණය කරමු...

මෙතෙක් කල රැවටීම් වැනි දෑ දැන් අවසන් කල යුතු කාලය බව අප මතක් කර දෙමු.
ජනතාව මුලාවෙන් රැවටූ යුගය දැන් නිමවී ඇත.

Wednesday, January 14, 2015

වසර 18ක රාහු මහ දසාවේ, අන්තර් දශා වල ලැබෙන පලාපල කෙබදුද ....


නාග හිසකින් සහ දේහධාරි පුරුෂ ශරීරයකින් හෙබි රාහු ග්‍රහයාගේ මහ දසාව ගැන, මතක් වන විට සියලුම දෙනාට මතක් වෙන්නේ අවුල්කාරි ගැටළුකාරි සිතිවිල්ලකි. මේ තත්වය නිසාම ඉගෙන ගන්නා දරුවන්ට විශේෂයෙන්ම අපලකාරි තත්වයක් බලපායි.

මෙම මහ දසාව පොදුවේ ගත්කල අවුරුදු 40න් පසුව ලබනවා නම් පුද්ගලයන්ගේ සමාජ, ආර්ථික දියුණුව ඇතිවේ. දේශපාලන ක්සෙත්‍රයේ සිටින බොහෝ අයට, කලා ක්ෂෙත්‍රයේ අයට ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ලබාදීමට රාහු පසුබට නොවේ.
මේ අතින් බැලුවොත්, රාහු ප්‍රබල ග්‍රහයෙක් කියල  ඔබට තේරේවි.

රාහු මහ දසාවේ රාහු අතුරු දසාව - වර්ෂ 2යි මාස 8 දින 12කි.
මෙම කාලයේදී අධ්‍යාපනය කඩාකප්පල් වීම, එසේම ව්‍යාපාර වස්තු බංකොලොත් වීම, ශරීරයේ රෝග පීඩා ඇතිවිම, උෂ්ණාධික රෝග ඇතිවිම. තේරුමක් නැති නිෂ්ඵල ගමන් බිමන් ඇතිවේ.
* උපතේදි රාහු බලවත් නම්, ආර්ථික දියුණුව, ජනප්‍රියත්වය, ලොතරැයි වාසනාව ආදිය ලැබේ.

●  රාහුගේ ගුරු අතුරු දසාව - වසර 2යි මාස 4යි දින 24කි.

මෙම කාලයේදී ආර්ථික තත්වය යහපත් වීම, නැති වූ රක්ෂාව ලැබීම එසේම උරුමහරුමකම් ලැබීම, විවාහය සිදුවීම, දරු සම්පත් ලාභ ඇතිවිමට හේතුයි.

●  රාහුගේ සෙනසුරු අතුරු දසාව - වසර 2යි මාස 10යි දින 6

මෙම කාලය ඉතා අශුභයි.
මහා මූසලකමක් ඇති කාලයකි. ව්‍යාපාර බංකොලොත් වේ. තමාගේ නම නරක් වේ. නීතිමය ගැටළු මතුවේ. එසේම තමන්ට මානසික ශාරීරික 2න්ම පීඩා කාලයකි. තමන් සතු වටිනා දේපල නැතිවිමට හේතුවේ. ඉතාම නරක කාලයකි.
කලාතුරකින් ග්‍රහඵල හොද නම් අපල අවම වි සුභ සෙත සැලසීමට ඉඩ ඇත.

●  රාහුගේ බුධ අතුරු දසාව - වසර 2යි මාස 6 දින 18

මෙම කාලය ඉතාම හොදයි. සෙනසුරු අතුරු දසාවෙදි ඇතිවූ අපල පූර්ණ වශයෙන්ම ධූරිභූත වේ. ඉගෙනීම දියුණු වේ. තමන්ගේ ආර්ථිකය යහපත් වේ. හොද කාලයකි.
තරග විභාග ආදියෙන් සමත් වේ.

●  රාහුගේ කේතු අතුරු දසාව - අවුරුදු 1යි දවස් 18යි

ඉතාම නරක කාලයකි. ලෙඩ රෝග ඇතිවේ. ආමාශගත ගෙඩි, දණිස් ආබාධ, කොන්දේ කැක්කුම් ඇතිවේ. ජීර්ණ පද්ධතියේ රෝග ඇතිවේ. ඇගපත කෙට්ටු වේ. පුරුෂ පක්ෂයේ අයට ලිංගික බෙලහීනතාවය ඇතිවන්නේ මෙම කාලයෙදිය.

●  රාහුගේ සිකුරු අතුරු දසාව - වසර 3

ඉතාම හොද කාලයකි. සිත ප්‍රීතියෙන් පිරේ. වාසනාව ලැබේ. තමන්ට දියුණු වීමට හොද කාලයකි. එසේම විවාහයට ඉතාම ශුභයි. අලුත් ගෙවල් දොරවල්, ඉඩකඩම් ලැබේ. කම්සැප ඉතාම හොදින් ලැබෙන කාලයකි.
යාන වාහන ලැබේ. තමන් කුමන තත්වයක හිටියත් ජිවිතයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරයි.

●  රාහුගේ රවි අතුරු දසාව - මාස 10 දින 24කි.

මෙම කාලය එතරම් ශුභ නැත. ඇවිදිලි අධික වේ. සමහරවිට වැඩිහිටියන් සමග විරෝධතා මතු කරයි. උෂ්ණාධික රෝග ඇතිවේ. අක්ෂි අමාරුකම් ඇතිවේ.
පොදුවේ ගත්කල වැඩි හොදකුත් නැත.

●  රාහුගේ චන්ද්‍ර අතුරු දසාව - අවුරුදු 1 මාස 6

පදිංචි ස්ථාන වෙනස් කරයි. කුඩා දරුවෙක් නම් මව්ට එතරම් හොද නැහැ. විදේශ රැකියාවන් වලට අවස්ථාව යෙදේ. විශේෂයෙන්ම රාහු සහ සදු කේන්දරයේ බලවත්ව පිහිටා ඇත්නම් මහා පරිමාණ දියුණුවක් සලසයි. තමන්ට වාසනාවන්ත කාලයක් ඒ ඒ කේන්දර අනුව යෙදිය හැක.

●  රාහුගේ කුජ අතුරු දසාව - අවුරුදු 1 දවස් 18

ඉතාම අශුභ කාලයක්. රාහු  මහ දසාවේ අවසාන අන්තරය බැවින් සමහරවිට අනතුරු කරයි. ශල්‍යකර්ම ආදියට භාජනය වේ. එසේම දියුණුව සම්බන්ධ ගැටළු ඇතිවේ. සහෝදරයන් ඥාතින් සමග ගැටළු මතුවේ. ප්‍රධාන වශයෙන්ම රණ්ඩුවට සරුවලයට සිත පෙළඹේ.

මෙම සියලුම අන්තර් දශා වල පලාපල තම තමන්ගේ උප්පත්ති ග්‍රහචාරය සමග සසදා බැලිය යුතුය. මෙය පොදු තත්වයකි.

Tuesday, January 13, 2015

ස්ත්‍රි පාර්ශවයේ ලිංගික තෘප්තිය වැඩිවිමට හේතු - ජ්‍යෝතිෂ්‍ය ඇසින්

විශේෂයෙන්ම අද මෙම ලිපිය පලකරන්නේ, එක්තරා කාන්තා පුවත්පතක තිබූ ලිපියක් මා නෙත ගැටීමෙන් අනතුරුවය. එම පුවත්පතේ එක්තරා වෛද්‍යවරියකගෙන්, පුවත්පතේ පාඨක තරුණියක් අසා තිබුනේ,
ඇය විවාහ වී සිටින අතර, සැමියා සමග බොහෝ කායික ඇසුර පැවැත්වීමට දැඩි උවමනාවක් පවතින බවයි. එසේ වුවද සැමියා රැකියාව කරන නිසා ඒ සදහා බාධා ඇතිවෙන බවත්, එය ඇයට මානසිකව විටෙක බලපාන බවත් ඇය සඳහන් කර තිබුනි.

මෙවැනි තත්වයන් ඔබද අසා දැක ඇතැයි සිතමු. සමහර අයට  මෙවැනි තත්වයන් ඇතිවන්නේ ඇයි... ?
මෙයට හේතු කවරේද ? සහ පිලියම් කවරේද ... ?

සමහර අයට ලිංගික තෘප්තිය අවශ්‍ය පරිදි ලැබේ. තව සමහර අයට ඕනෑවටත් වඩා ලැබේ. එසේ වන්නේ ඇයි. එයට හේතුවන ග්‍රහමය පදනම කුමක්ද...

ස්ත්‍රි-පුරුෂ අපි දෙකොට්ඨාශයම ලග්න 12න් 1ක උප්පත්තිය ලබන්නෙමු. මෙම ලග්න කාණ්ඩ 4කට බෙදේ.
ආපෝ, තේජෝ, වායෝ, පඨවි රාශි යනුවෙනි.

● ආපෝ ගණයට - කටක, මීන, වෘශ්චික ලග්නද

●  තේජෝ ගණයට - සිංහ, ධනු, මේෂ ලග්නද

●  වායෝ ගණයට - කුම්භ, මිථුන, තුලා ලග්නද

●  පඨවි ගණයට - වෘෂභ, මකර, කන්‍යා ලග්නද

අයිති වේ.

* ස්ත්‍රියකට සේම පුරුෂයාට ලිංගික කාර්යයයේදී විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ, ලිංගික අවයව ලිහිසි වීමයි. එනම්, පුරුෂයාගේ පුරුෂ ලිංගයද ස්ත්‍රි යෝනි මාර්ගයද තෙත් වීම හෙවත් ලිහිසි වීම ලිංගික සංතෘප්තියට අත්‍යාවශ්‍යම සාධකයකි.
එසේම එම තෙත් වන ශ්‍රාවය ඔස්සේ පුරුෂයාගේ ශුක්‍ර තරලය පවා පිහිනා ගොස් ගර්භාෂ බිත්තියේ රැදෙන බව වෛද්‍ය විද්‍යාෙව්  උගන්වයි.

එසේ නම් ලිංගික කටයුත්ත, ලිංගික කාර්යය යම් ස්ත්‍රියකට සතුටුදායක වන විට තවත් ස්ත්‍රියකට නීරස වන්නේ ඇයි ?? වේදනාකාරි වන්නේ ඇයි ??

● කටක ලග්නය =  චන්ද්‍ර - සිකුරු 7,
●  මීන ලග්නය - චන්ද්‍ර 7
●  වෘශ්චික - චන්ද්‍ර 7

* ඉහත සදහන්  ආකාරයට, යම්කිසි කෙනෙකුගේ සඳු-සිකුරු යන ග්‍රහයන් 7 වැන්නේ පිහිටා තිබෙන්නේ නම්, ලිංගික කාර්යයට ලිහිසි වීම පහසුවෙන් සිදුවේ.
මන්ද 7 වැන්න පඨවි රාශියක් වී එහි ජල ග්‍රහයෙකු තැන්පත්වීම එයට හේතුවයි.

* එසේම සිකුරු ග්‍රහයාද ධාතු ශක්තියට, ඩිම්බ ශක්තියට, ස්ත්‍රි දේහයේ ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් වලට මනාව උදව් කරන ග්‍රහයෙකි.
මෙම ග්‍රහයන් 7 වැන්නේ තැන්පත් වීම සාර්ථක ලිංගික එක්වීමකට මග පාදයි.

යම් ආකාරයකට ලිංගික තෘප්තියට බාධා ඇති ස්ත්‍රීන් විශේෂයෙන්,
* උෂ්ණාධික ආහාර පාන සේවනයෙන් වැලකීම, * එසේම ප්‍රජනන පද්ධතිය ඉතාම පිරිසිදුව තබා ගැනීම, * සබන් භාවිතා නොකිරීම - පිරිසිදු කිරීම සදහා හොදයි.
* මුත්‍රා පිරිසිදු කිරීමට ඖෂධීය කැද බීම.
* කපු වලින් නිර්මිත යට ඇදුම් පැලදීම ලිංගික ගැටළු  මැඩලීමට හේතුවකි.

තෙරුවන් සරණයි !

Monday, January 12, 2015

සතියේ ලග්න පලාපලය (ජන.13 රාත්‍රි සිට)

● මේෂ
ඔබට සමඵල සතියකි.
ආර්ථික වශයෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන, සතියේ මුල් කොටසේ ඔබ, නව වෙලද ව්‍යාපාර ආයෝජන ප්‍රවර්ධන කටයුතු වල නියුතු වනු ඇත. එසේම දැනට පවතින ග්‍රහචාරයත් යහපත් බැවින් විදෙස් රැකියා වල නියුතු ඔබටද සියලුම රැකියා වල නියුතු ඔබටද ආර්ථික වාසි ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර අවිවාහක අයට මංගල යෝග උදාවිම. පෙම් සබදතා වලට වැඩිහිටි අයගේ උදව් උපකාර ලැබිම සිදුවේ.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත. සතිය අගදි සෙම් රෝග සහ ජලාශ්‍රිත බෝවන රෝග වලින් ආරක්ෂා වීම හොදයි.

● වෘෂභ
සාමාන්‍ය සතියකි.
සතිය ආරම්භයෙදි එතරම් ප්‍රබෝධයක් නැහැ ආර්ථික කටයුතු වලට, නමුත් සතියේ අග කොටස වන විට, කිසියම් ආකායරක දියුණුවක් ඔබ සම්බන්ධයෙන් අසන්නට ලැබෙනවා. එමනිසා ඔබ ඒ අනුව වාසනාවන්ත තත්වයකට පත් වෙනව.
ගෘහ ජිවිතය තරමක අවිවේකී බව සහ ආකූල ව්‍යාකූල බව නිසා යම් ගැටළු තත්වයකට මුහුණ පෑවත් සතිය මධ්‍යය කොටස වන විට එය හරියනවා. ඔබ ප්‍රවේසම් විය යුත්තේ, අඹුසැමි ආරවුල් වලිනුයි. ඉවසීම හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. නිදන් ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න.

● මිථුන
ඉතාම වාසනාවන්ත සතියක්.
හදිසි ධනලාභ වාසනාව මෙන්ම, ඔබට දියුණුව ලැබෙන්නේ ඔබගේ උත්සාහයත් නිසාය. එසේම කිව යුතු තවත් කාරණාවක් නම් ඔබට ධනෝපායන මාර්ග ගැන හොද කල්පනාවක්ද මෙම සතියේදී එනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත් වන අතර, ඔබ විවාහක නම් ඔබලා දෙදෙනාගේ කාලය දරුවෙක් ගැන සිතිමට පුලුවන්. අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, තරමක කාමාශාවක්ද උපදිනවා. මිථුන ලග්න මව්වරුන්ට පින්වත් දරු සම්පත් හිමිවීමේ භාග්‍යයක්ද හිමිවෙනවා.
සෞඛ්‍ය ගැටළු ලෙස සතිය අගදී බෝවන රෝග වලින් ආරක්ෂා විය යුතුමයි.

● කටක
ඉතාම වාසනාවන්ත සතියකි.
ආර්ථික වාසි හිමි වෙනව. විශේෂයෙන්ම විදෙස්ගත අයටත්, වෙළදාම් වල නියුතු අයටත් සුවිශේෂි දියුණුවක් ඇතිවේ. ඔබ හොද තීරණ වලට එළඹෙනවා. එමනිසා ඒ සම්බන්ධව ගැටළු නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්. අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. දුවාදරුවන්ගේ ජයග්‍රහණ නිසා සිතට සතුටද ලැබේ. ඥාතින් හිතවතුන් නිවසට ඒම නිසා සතුට වැඩිවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ. සෙම් රෝග වලින් ආරක්ෂා විය යුතුය.

● සිංහ
ඔබට වාසනාවන්ත සතියක් උදාවේ.
තමාගේ උත්සහය සහ උනන්දුව නිසා මෙම සතියේ දියුණුව ලැබේ. එසේම සතිය මැදදී භූමි ලාභ, සැප සම්පත් හිමි වෙනවා. ඔබට ශුභයි.
ගෘහ ජිවිතය හොදයි. සහෝදර සහෝදරියන්ගෙන් දියුණුව උදව් උපකාර ලැබෙනවා මෙන්ම ඔවුන් සමග තිබෙන බැදීම වැඩි වෙනව.
විදෙස් ගතවීමට සිතාගෙන සිටිනවා නම්, එම කටයුතු සාර්ථක වෙනවා.
සෞඛ්‍ය වශයෙන් පපුවේ සෙම් රෝග සහ ගෑස්ටික් ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන් සෙම් රෝග ගැන.

● කන්‍යා
එතරම් යහපත් නැති සතියකි.
මීට මාස ගණනකට පෙර කියූ පරිදිම හොද නැති සතියකි. එය තාමත් පවතිනවා. විශේෂයෙන්ම රැකියා අහිමි විමේ තත්වයන්ද ඇත. එසේම හදිසි තීරණ නිසා තමාගේ වටිනා දේවල් අත්හැරිමට සිදු වෙනව. එසේම අධික කෝපය නිසා තමාට හොද නැහැ. මානසික සෞඛ්‍ය පිරිහිම නිසා ආදායම අඩුවිය හැක. තනතුරු වලින් පහත වැටිම් ආදිය මේ අතර ප්‍රධානය.
ගෘහ ජිවිතයද අයහපත් බවක් පෙන්වයි. තමාට වඩා බාල සහෝදරයන් සමග ආරවුල් වලට පැටලීම, ඔවුන්ව ඇස් දෙකට පේන්නට බැරිවීම, දරුවන් ඇස් 2ට පේන්නට බැරි වීම ඔවුන්ව එපා වීම වැනි දෑ මේ කාලයෙදි සිදුවිය හැක. ඔවුන් නිවසින් එලවා දැමිමටත් සිත් පහල විය හැක.
සෞඛ්‍ය - රාහු ලග්නයේ බැවින්, මානසික ආතතිය සහ කල්පනාව මදකම, මානසික සෞඛ්‍ය දුර්වල වීම ප්‍රධානයි. උප්පත්ති කේන්දරයේ මේෂ රාශියේ සදු සිටින අය ඉතාම ප්‍රවේසම් විය යුතුය.

● තුලා
ජයෙන් ජයයි.
සතියක් තිස්සේ ජයග්‍රාහි මානසිකත්වයෙන් සිටින ඔබට, ඔබට හොද පිබිදීමක් ලැබෙනවා. හොද කල්පනාවක් සමග හොද මානසික තත්වයක් හිමි වෙනව. ආර්ථික වාසි සැලසෙන අතර ඔබට නව රැකියාවක් උසස් පදවි තානාන්තර ලැබිය හැක. ඔබට හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. නමුත් ඔබට දැන් ලැබෙන රැකියා නිසා ඔබ කාර්යබහුල විමෙන් පවුලේ අය සමග ගත කිරීමේ පොඩි නිදහසක් තිබේ. නමුත් ඔවුන් සමග සම්බන්ධය වැඩිවේ.
සෞඛ්‍ය තත්වය යහපත්ය. පසුගිය සතියේම හොද දේවල් සිදුවුනු නිසා ඔබට හොදයි. තිබුනු ලෙඩ හොද වෙනවා.

● වෘශ්චික
මේ සතිය තරමක සමඵලයි.
සතිය මුල් කොටසෙදි වැඩිය ආදායම් මාර්ග බලාපොරොත්තු වෙන්ට එපා. තියෙන දේ රැකගන්න. එසේම ඔබට මුදල් පාඩු සිදුවෙන්ට පුලුවන්. ඒ කියල හිටන් ඔබ කම්මැලි වී සිටියොත් ඒක හොද නැහැ. සතිය මැද වනවිට ඒරාෂ්ටක අපලයක් තමයි ලබන්නේ. නමුත් ඔබ සිතා මතා බුද්ධිමත්ව වැඩ කරලා, හිටන් ඔබගේ ආර්ථික තත්වය යහපත් කරගන්ට.
ගෘහ ජිවිතය ඇතුලේ, දෙන්නා දෙමාල්ලන්ගේ ප්‍රශ්න තිබුනත් ඒවා යටපත් වෙලා ප්‍රේමය ඉස්මතු වෙන්ට පුලුවන්. ඔබ මේ සතියෙදි පින්දහම් වලට යොමුවෙන්ට අධිෂ්ඨාන කරගන්ට. වැඩිහිටියන්ට වැඩිහිටියන්ට සැලකීමට උනන්දු වන්ට. වෙනත් කිසි ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ.
ඔබ ප්‍රවේසම් විය යුතුයි, ණය තුරුස් වලින්. ඒක ගෘහ ජිවිතයට නරක විදියට බලපාන්ට පුලුවන්.

● ධනු
ඉතාම හොදයි.
සතියේ මුල් කොටසේදිම ආර්ථික වාසි හිමිවෙනවා. ඥාතින්, හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. වෙලදාම්, දේශපාලනය කරන අයට හොදයි. විවාහයේ දෑවැදි පවා ලැබෙනව. ඔබට සමාජයේ මෙතෙක් නොසිතූ නොවිරූ ජනප්‍රසාදයක් ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන්නේ ඔබගේ සිත සතුටින් තිබෙන නිසයි. මහා කන්දක් නැගලා බැස්සා වාගේ ඔබට දැනෙනවා. මේ සතියේදි නව තනතුරු ලැබෙන්න පුලුවන්. ඔබගේ කාලය හොදයි.
1ක් කියන්ට ඕන, ඔබගේ පරණ එදිරිවාදිකම් කරපු අය එන්ට පුලුවන් ඔබව මුණ ගැහෙන්න, ඒ ඇවිදිල්ලා හිටන් ඔබට හිතවත්කම ලීලේ පාන්න පුලුවන්. ඒ කපටි වැඩ වලට අහු වෙන්න එපා. උන් දෂ්ඨ කරන්න පුුලුවන්. ආපු ගමන සාර්ථකව යන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් නැහැ.  සතිය අගදී වාහන වල නගිනකොට බහිනකොට පරිස්සම් වන්න. එහෙම ආරක්ෂා උනොත් හිටන් වෙන කරදරයක් වෙන්නෙ නැහැ.

● මකර
බොහෝම හොද සතියක්.
නැතිවුනු රැකියාව ලැබෙනවා වගේම, නව රැකියා ලැබෙනවා. වෙළදාම් කරන අයට හෝටල්, බේකරි, විදෙස් රැකියා කටයුතු කරන අයට දියුණුව ලැබෙනවා. ජලාශ්‍රිත රැකියා කරන අයටත් ඉතාම හොදයි. කිසි ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. මේ සතියේ මංගල යෝග උදා වෙනවා වගේම. පෙම් සබදතා ස්ථිරසාර වෙනවා. නව ඥාති හිතවත්කම් උදා වෙනවා.
සෞඛ්‍ය ගැටළු නැත. නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● කුම්භ
ඉතාම හොද සතියකි.
පෙර පින පෑදෙන සතියකි. දෙයියෝ දුන්න වගේ ආර්ථික ලාභ, නව තනතුරු ආදිය ලැබෙන්න පුලුවන්. ලොතරැයි ලාභ ලැබෙන්න පුලුවන්. සතිය අගදී ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන්, පිටපලාත් වල රැකියාවට යාමට සිදුවෙයි.
ගෘහ ජිවිතය හොදයි. වැඩිහිටියන් සමග ප්‍රීතියෙන් ඒ අයට සලකමින් සිටිමට ලැබෙනවා. උරුමහරුමකම් ලැබෙනවා. ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නමුත් දණිස් අමාරුව, කොන්දෙ අමාරුව මතු වෙන්න පුලුවනි.

● මීන
සමඵල සතියකි.
ආදායම කෙසේ වෙතත් වියදම නම් ඉහලයි. මේ තත්වය සතිය අගදී තරමකට පාලනය වෙනවා. මුදල් පරිස්සම් කරගත යුතුයි. ගොවිතැන්, ව්‍යාපාර ක්සෙත්‍ර වල අය පරිස්සමින් සිටින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. වෙන කිසි ගැටළුවක් නැහැ. සතිය අගදී ආගමික කටයුත්තකට පිට පලාතකට යෑමට සිදුවේවි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, ඇගපත වේදනාව ආදිය ඇතිවෙන්නට පුලුවන්.




Sunday, January 11, 2015

වත්මන් දේශපාලන භූමිකාව සහ ඒ ආශ්‍රිත බැඳි ජ්‍යොතිෂ්‍යය

අපගේ මුහුණු පොතේ ලබැඳි අප දයාබර පාඨකයන් කොපමණ පිරිසක් සිටිනවාදැයි අපවත් නොදනිමු. මේ සියලුම අයගනේ අතිබහුතරය අපගෙන් විමසා සිටියේ මැතිවරණය සම්බන්ධයෙන් අනාවැකි පල කරන ලෙසයි.
ඉරු සේවයේ අනිකුත් ජ්‍යොතීර්වේදි මහතුන්ද, එහි ජාත්‍යන්තර ජ්‍යොතිෂ්‍යය උපදේශක වන වසන්ත රාජකරුණා මහතාත්, කරුණු දක්වමින් කියා සිටියේ, ඉරු සේවයේ එකල පැවති රජයට හිතවත් සහ විරුද්ධ දෙකොට්ඨාශයටම අපගේ සේවය සමග බද්ධ වී ලෙංගතුව සිටි නිසා මේ සම්බන්ධව අනාවැකි ඵල නොකර සිටිම කාලෝචිත බවයි.

* නමුත් අපද ඔබ සියලු දෙනා මෙන්ම, යම්කිසි ප්‍රතිපත්තියකින් හෙබි දේශපාලන මතවාදයක් සිත්හි ඇති පුද්ගලයන්ය. නමුත් අපගේ දේශපාලන වුවමනාවන්, ජ්‍යොතිෂ්‍යය හරහා පුද්ගලයන්ගේ ඔළු වලට බලහත්කාරයෙන් හෝ යාප්පුවෙන් රිංග වීමට අපි උත්සහ නොගත්තෙමු. අද මාධ්‍යය සහ ලංකාවේ ප්‍රබලම මාධ්‍යයක් වන ෆේස්බුක් හරහා දක්නට ලැබෙන්නෙ ජ්‍යොතිෂ්‍යය ඉතාම බරපතල ආකාරයට හෑල්ලු වී ඇති බවයි. එයට ප්‍රධානම හේතුව විශේෂයෙන්ම බඩගෝස්තරවාදි ජ්‍යොතිෂ්‍යය වේදින්ය. ඔවුන් කවුද ඔබ හොදටම දන්නවාය.

සමහරු ජ්‍යොතිෂ්‍යය වෘත්තිය වෙනුවට පවතින රජයට ආවඩන්නන් වී සිටි අතර, තවත් සමහරු තනතුරු තාන්න මාන්න අරන් ආණ්ඩුවට ඔල්වරසන් දෙනව.
සමහරු වෙඩි තියාගන්නවලු... මම දැක්කා ෆේස්බුක් එකෙන් තුවක්කු රාශියක් පෙන්නලා තියෙනවා කැමති එකක් අරගෙන වෙඩි තියාගන්න කියල. මොවුන් එහෙම මැරෙන්නෙ නැහැ.
නමුත් මොවුන් අතින් මැරෙන්නේ.... අවංකව ජ්‍යොතිෂ්‍යය අනාවැකි පල කරන බුද්ධිමත් ජ්‍යොතිෂ්‍යය වේදින්ය. ඔවුන් අමාරුවේ වැටෙන්නේ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරන පොදු ජනතාවය.

නමුත් අනාදිමත් කාලයක සිට, වරාමිහිර, පරාශර, ක්‍රිෂ්ණ මූර්ති, ජයමිණි වැනි පඬිවරුන් රැකගෙන ආ මෙම උතුම් ශාස්ත්‍රය කිසිම වැඩකට නැති නිර්ලජ්ජිත වන්දි භට්ටකම් කරන නිවට නියාලු ජ්‍යොතිෂ්‍යය වේදීන් යැයි කියාගන්නා මානසික රෝගින් නිසා බරපතල විදියට හෑල්ලු වි ඇත.

●  අපත් දැනගෙන සිටියා, ජනවාරි 8න් පසු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිතුමා පරාජය වන බව. මන්ද එතුමන්ගේ උපන් දිනය අනුව, චන්ද්‍රයා මේෂ රාශියේ සිටියදී අස්විද නැකතින් උප්පත්තිය ලැබූ අතර,
2014 නොවැ මස 2වෙනිදා වූ සෙනසුරු මාරුවෙන් එනම් සෙනසුරු වෘශ්චික රාශි ගතවීමෙන් එතුමාට බරපතල අපලයක් උදා වූවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුනේ ජනවාරි 8 නොව, නොවැ. 2වෙනිදාය.
එදා දින, එතුමාට චන්ද්‍ර - අෂ්ටම ඒරාෂ්ටක අපලය ලැබුවා.
අපල අතරින් ඉතාම ප්‍රබල අපලයක් වන මෙය ලැබුවොත් කෙනෙකුට ඉතාම දැවැන්ත ආකාරයට අපල කරනවා. තනතුරු - පදවි නැති වෙනවා.
* ඔබට මතක ඇති අප මීට සති 2-3ක සිට කන්‍යා ලග්නයට පල කරන සතියේ ලග්න පලාපලයෙදි මේ තත්වය තරමක් දුරට පලකිරිමට අප උනන්දු උනා.

●  එසේම අභිනව ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මහතා තුලා ලග්නයට සම්බන්ධව උප්පත්තිය ලබා, කන්‍යා චන්ද්‍ර රාශියෙන් උත්‍රපල් නැකතින් උපත ලැබූ කෙනෙක්.
එතුමන්ගේ කේන්දරයට අනුව නොවැ 2 එතුමාගේ වසර 7 හමාරක ජන්ම ඒරාෂ්ටක අපලය අවසන් වූවා. එතුමාගේම වචනයෙන් සදහන් කරන පරිදි නොවැ 2ට කලින් වසර 2 හමාරක කාලය තුල එතුමා දැඩි පීඩාවෙන් සහ දැඩි කම්පනයකින් සිටි බව පැහැදිලි විය.
සුදුසු තැන නොලැබීම, පක්ෂයට කල සේවයට නිසි ගෞරවය නොලැබීම ආදිය ඉන් ටිකක්.

* නොවැ 2 සෙනසුරු අපලය අවසන් වීමත් සමග එතුමා මුල් පුරවැසියා වීමේ අඩිතාලම වැටුනා. ජ්‍යොතිෂ්‍යයේ ආශ්චර්යය මෙයයි.
තවද කෝටියක් දෝෂ භංග වෙන ආකාරයට සිංහයේ රවි පිහිටා තිබෙන එතුමාගේ කේන්දර සටහන බලවත් කේන්දරයක්.

නමුත් පැවති රජයට මලු නැතුව කඩේ ගිය ප්‍රවීණ ජ්‍යොතීර්වේදී යැයි කියා ගන්නා පුද්ගලයන්ට මෙම ඥානය නොපෙනුනේ ඔවුන්ගේ ආණ්ඩු ගැති භාවය නිසාය.
මොවුන්ගේ ක්‍රියාවන් ජ්‍යොතිෂ්‍යයට මරු පහරකි.
එසේ නොමැති වන්නට,

“ පරිපාලන ක්ෂෙත්‍රයේ පහල නිලයක් වන ග්‍රාමසේවක ධූරයක රැකියාව කර, පක්ෂයක නායකයෙක්ව නොසිට අගමැති ලෙස පත් නොවී, ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති පුටුවේ වාඩි වුනු ඔහුට සැබැවින්ම ග්‍රහ බලයක් පිහිටා නොතිබෙන්ට ඇද්ද.....“
ඔබම කල්පනා කර බලන්න.

අප මේවා දන්නවා. නමුත් අපටත් තිබුනා එක එක මාධ්‍යය ඉස්සරහට ගොස් මේවා කතා කරන්ට. නමුත් ජ්‍යොතිෂ්‍යය වේදියාගේ කාර්ය භාරය අදටත් හෙටටත් මෙය නොවෙයි.
තමා කර අරින පුද්ගලයන්ට හරි වැරද්ද කියා දී ඔවුන්ට කුසල් සිත් උපදවා ඔවුන් ධාර්මික කිරීමයි. බඩ වඩා ගන්නාවූ ජ්‍යොතිෂ්‍යය වේදීන් මින්පසුවවවත් මේවා තේරුම් ගැනීමට ජන විඥානය පහල වේවායි ප්‍රාර්ථනා කරන අතර ජ්‍යොතිෂ්‍යය නැමති පුරසඳ සැමදාමත් ජන හදවත් වල බැබලේවා !

තෙරුවන් සරණයි !

Tuesday, January 6, 2015

සතියේ ලග්න පලාපය (ජන 8 සිට)

● මේෂ
ඔබට ශුභ සතියකි.
පවතින ග්‍රහ චාරයත් සමග බැලූකල සතිය පුරාම ආර්ථික වාසි හිමිවෙයි. එසේම හදිසි ධනලාභ සහ හදිසියේ ලැබෙන මුදල් හදල් වලින් ඔබට යම්කිසි ආර්ථික තත්වයක් මෙම සතියේදි හිමිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, පවුල තුල අන්තර් පුද්ගල සමාජය සබදතා යහපත්ව පවති. ඉගෙන ගන්නා දුවාදරුවන්ට හොදයි. මේෂ ලග්නයෙ මව්වරුන්ට දරුවන් පිළිසිඳ ගන්නා සතියකි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය ගැටළු සතිය අගදි මතුවිය හැක. ඒ සෙම් අමාරු වැනි රෝගයි. ඊට අමතරව බලපාන කිසිම කරදරයක් නොමැත.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
සතිය පුරාම ස්ථාවර ආර්ථිකයක් පවතින අතර, වෙළද ව්‍යාපාර කරන අයටත්, ජලාශ්‍රිත රැකියා කරන අයටත් සතිය පුරාම ශුභයි. සතියේ අවසන් දින කීපය තුල හදිසි ධනලාභ උදාවිමට පටන් ගනී.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩු බාහිරාදියද, තවත් යම් යම් දේද, හිමිකර ගැනීමේ වාසනාව ලැබේ. දරුවන් සමග විනෝද සංචාර වල යෙදීමට අවස්ථාව හිමිවේ.
ජලාශ්‍රිත රෝගද, සෙම් අමාරුද ඔබට මතුවිමට පුලුවන.

● මිථුන
ඉතාම ශුභයි.
මේ සතියේ චන්ද්‍ර චාරයත්, තත්කාල ග්‍රහචාරයේ ඇති ග්‍රහ බලයත් හේතු කරගෙන, ඔබට ඉතාමත් වටිනා සතියක් මෙම සතිය තුල උදාවනු ඇත. ආර්ථික වාසි නිතැතින්ම හිමිවන අතර, තමාගේ උත්සහයේ තරමට වාසි ඇතිවනු ඇත.
ගෙදර දොරේ ජිවිතයද ඉතාම සාමකාමිව ගතවේ. හිතමිත්‍රාදීන් ගෙදරට පැමිණේ. ඔවුන් සමග ඉතාම ප්‍රීතිමත්ව කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබේ.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නොමැත.

● කටක
හොද සතියකි.
තමන් උත්සහයෙන් කරන ව්‍යාපාරික කටයුතු දියුණු වේ. එසේම තමාගේ දියුණුවට සහයෝගය ලැබෙනවා. සතිය අගදී පිටපලාතක ගමනකට නියමයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවනවා. තමාගේ වැඩකටයුතු වලට ගෙදර අයගේ සහයෝගය ලැබෙනවා. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වනවා.
සෞඛ්‍ය තත්වයේ ගැටළු වශයෙන්, සෙම් ගෙඩි සහ සෙම ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් විය යුතුය.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
කරන කියන කටයුතු සාර්ථක වීමද, නව ධනෝපායන මාර්ග එළිපෙහෙලි වීමද, තවද පිට පලාත්වල සිටින මිතුරන්ගෙන් දියුණුව උදෙසා ආධාර උපකාර ලැබීමද මේ සතිය තුලදී සිදුවේ.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිමත්ව සිටිමට අවස්ථාව ලැබේ, නමුත් ඔබට මෙම සතියෙදි චන්ද්‍ර මංගල යෝගයද යෙදෙන නිසා විවාහක අය ඉතාම ප්‍රවේසමෙන් පවුල් ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි.
වචනය ප්‍රවේසම් කරගන්න.
සෞඛ්‍ය ගැටළු නම්, හිස සම්බන්ධ රෝග, සෙම් අමාරු, සෙම ආශ්‍රිත රෝග, උෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල ආදි රෝගයි.

● කන්‍යා
එතරම් ශුභ සතියක් නොවේ.
වැයවීම ස්ථිරයි. එසේම ආර්ථික තත්වයේ කඩා වැටීම් පෙන්නුම් කරයි. විමසිලිමත් නොවුවොත් රැකියාව අහිමි වීමට පවා ඉඩ ඇත. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල මානසික ආතතිය ඇතිවිමට ඉඩ ඇත. එසේම තමාගේ හිතවත් අය තමාව, කොන් කරන්නට පුලුවන්.
මානසික රෝග සහ ඉක්මන් කෝපයෙන් පරිස්සම් වන්න.

● තුලා
ඉතාම සුභයි.
ඔබ කලක් තිස්සේ බලාගෙන සිටි සුපිරිම රැකියාවක් ඔබට ලැබෙනවා. ඔබ මෙම සතිය තුලදි ඉතාම ජනප්‍රිය තත්වයකට පත් වෙනවා. ආර්ථික වාසි හිමිවේ. ව්‍යාපාරික කටයුතු දියුණු වන්නේ ජන ප්‍රසාදය නිසාය.
ගෙදර දොරේ ජිවිතයද ඉතාම යහපත් වෙයි. සිත ප්‍රීතියෙන් පවතින අතර, ඔබ නිසා අන් අයටද ප්‍රීති වීමට පුලුවන් සතියක් උදාවෙනව.
සෞඛ්‍ය ගැටළු නැත. හොදින් ඉන්න වාසනාව ලැබෙන සතියකි.

● වෘශ්චික
ඉතාම සුභ සතියකි.
විදේශ රැකියා වල නියුතු ඔබට, ඉතාම හොදයි. අලුත් රැකියා අවස්ථා උදා වෙයි. ජලාශ්‍රිතව කර්මාන්ත කරන අයට, ඉතාම හොදයි. ඔබ නිතැතින්ම දියුණුවට පත්වෙනවා. එහි ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබට හොදයි. වැඩිහිටියන් සමග සංචාරයට, වන්දනා ගමන් වලටද අවස්ථාව ලැබෙනවා. ආගමික නැඹුරුතාවක් දක්නට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නොමැති වුවත්, හිසේ කැක්කුම් ආදි ගැටළු නිසා වෛද්‍ය උපදෙස් පතන්න.

● ධනු
පින්වන්ත සතියකි.
පෙර පිනට මෙන් යම් යම් දේ ලැබෙනවා. ඔබට දේවාශිර්වාදය සහ ඔබ භාරහාර වුනු යම් යම් ආගමික වතාවත් නිසා ඔබ දියුණු වෙනවා. ඔබට ආර්ථික වශයෙන් වාසි අත්වෙන, ව්‍යාපාරික කටයුතු වලට අතගැසීම මෙම සතියේදි ශුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, වැඩිහිටියන් සමග වන්දනා ගමන් ආදිය යෙදෙනවා. ඔබට හොදයි.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැත. කලවා සහ පාද ආශ්‍රිතව රෝගාබාධ වලින් වේදනා කැක්කුම් වලින් පරිස්සම් වන්න.

● මකර
සමඵල සතියකි.
සතිය මුලදී ආර්ථික වශයෙන් එතරම් යහපතක් නැහැ. ආර්ථික අවාසි ඇතිවේ. එසේම කරන කියන කටයුතු වල යම් පාඩු ඇතිවේ. ඒවගේම හවුල්කාරින් සමග කරන්නාවූ යම් යම් ගනුදෙනු වලින් පාඩු ඇතිවේ. එයද ගැටළුවකි.
ගෘහ ජිවිතය එතරම් සාර්ථක නොවේ. එය ඔබට ගැටළුවකි. එසේම අඹුසැමියන් අතර, යම් නොහොද නෝක්කඩු මතුවිය හැක. නමුත් සතිය අගදී මෙම තත්වයන් වෙනස් වෙයි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු ඇතිවන බැවින් ඔබ ප්‍රවේසම් වන්න.

● කුම්භ
ඉතාම ශුභයි.
මේ තත්වය නිසා, ඔබට මානසික නිදහස ලැබේ. එය ඉතාම ශුභයි. ආර්ථික වාසි හිමිවේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ඔබට හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. ඔබට මංගල යෝජනා උදාවේ. ප්‍රීතියෙන් සිටිමට පුලුවන්. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට ලැබේ.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය වශයෙන් හොදයි. ප්‍රබල ගැටළුවක් නොමැත.

● මීන
ඉතාම හොදයි.
සතිය මුලදී යම් යම් බාධක තිබුනද, සතිය අග වන විට, යම්කිසි ප්‍රගතියක් ඔබගේ දක්නට ලැබෙනවා. ඔබ හොද තත්වයක ආර්ථික තත්වයක් පවත්වාගෙන යනවා. ප්‍රබල ගැටළු නොමැත.
ගෘහ ජිවිතය හොදයි. සතිය මුලදි යම් යම් බාධක කරදර උපද්‍රව තිබුනද ඒවා ක්‍රමානුකූලව යටපත් වීම වෙනවා.
සතිය අගදි අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, ඔබට හොද කල දවසක් උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.


Saturday, January 3, 2015

බොහෝ දෙනෙක්ගේ දැඩි අවධානය දේශපාලන කටයුතු ගැන යොමුවී තිබීම නිසා අපද අපගේ කටයුතු කරමින් ඒ ගැන සංවේදීව සිටිමු.

කෙතරම් කීවද දිනන්නේ කවුද ගැන මසේජ වලින් අසන අයද බොහෝය...
දිනන්නේ කවුද යන්න කෙසේ වෙතත්, පැහැදිලි දළ කේන්දර සටහන් වලට අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත්, පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් කේන්දර සටහන් අනුව විග්‍රහයන් ඉදිරිපත් කිරීමට සිතමින් සිටිමු.

ඒ ගැන විග්‍රහය භාව කේන්දරය, ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය, සූක්ෂම කේන්දර විග්‍රහයන් සහ ලෝකායතන ජ්‍යොතිෂ්‍යයටද අදාලව කල හැකි වුවද එවිට සංකීර්ණ වනු ඇත.
ඇතැම් ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදින් විසින් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියත් ඇතුලත් කරගෙන දෙදෙනා ගැන කරන විග්‍රහයන්හි සදොස් තැන් බොහෝය... ඒවා පෙන්වා දෙන්නට යාමෙන් එයද කඩේ යාමකට ආසන්න විය හැකි නිසා ඒගැන කිසිවක් නොකියමු...

‪#‎ඉරුසේවය‬ ----> Iru Astrology --- Iru Sewaya

Friday, January 2, 2015

2015 වසරේ ලග්න පලාපලය

● මේෂ

ආර්ථිකය : යහපත්ව පවතී.
එසේම නව ආදායම් මාර්ග වලට ඔබට යොමුවීමට සිතෙනවා ඇත.  එසේම විදේශ ගතව රැකියා කරන අයටත් මේ කාලය හොදයි. භූමි ලාභ සැප සම්පත් ලැබෙනවා ඇත.

ගෘහ ජිවිතය : ඉතාම හොද ආකාරයෙන් ගත වේ.
ගැටළු තිබෙනවා නම් ඒවා නිරාකරණය කිරීමටද අවස්ථාව ලැබේ. මේෂ ලග්නයේ ගැබිණි මව්වරුන් සිටී නම්, ඔවුන්ට වාසනාවන්ත දරු උපත් සිදුවේ. ප්‍රේම සබදතා සඵල වන අතර, ජූනි මසින් පසුව විවාහ කටයුතු වලට බොහෝ සෙයින් හිතකරයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වැඩිවන අතර තරග විභාග ආදියෙන් සමත් වේ.

සෞඛ්‍ය : වෙනදා මෙන්ම බරපතල ගැටළු නැති අතර, උදරාබාධ සහ වාත අමාරු සම්බන්ධව සැලකිලිමත් වන්න.
සුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුභ වර්ණය - කහ
සුභ දිශාව - නැගෙනහිර

● වෘෂභ

ආර්ථිකය : මේ වසරේදි ආර්ථික තත්වය ඉතාම ප්‍රවේසම් සහගතව පවතී.
ඔබට කලින් වසරේ උනු ආර්ථික අපහසුතා සිදුවන්නේ නැත. තිබෙන මුදල් ආරක්ෂා වීමද එසේම අලුත් මුදල් හම්බ කිරීමද සිදුවේ. නව රැකියා තත්ව යෑමට හොද කාලයයි. ජූලි මසින් පසු භූමි ලාභ, දේපල ලාභ එසේම උරුමහරුමකම් නිසා ඔබ දියුණුවට පත්වෙනු ඇත.

ගෘහ ජිවිතය : ඉතා වාසනාවන්තයි.
වෘෂභ ලග්න පෙම්වතුන්ට ඉතාමත් හොද කාලයකි. වැඩිහිටි කැමැත්ත, ආශිර්වාදය ඔබට ලැබෙනු ඇත. ඔබට තරග විභාග ආදිය සමත් වීමට වාසනාව ලැබේ. එසේම ජුලි මසින් පසුව සමාජයේ යම්කිසි ආකාරයකට ඔබ ජනප්‍රිය චරිතයක් වෙනු ඇත.

සෞඛ්‍ය තත්වය : තරමක දුර්වලයි.
සෙම් අමාරු, තවද විවිධාකාරයේ රෝගාබාධ ඔබට වැළදීමට පුලුවන්. නමුත් මෙම වසරේ ජුලි මසින් ඔබට එම තත්වයන් අවම වේ.
සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණය - නිල්
සුභ දිශාව - ඊසාන

●  මිථුන

ආර්ථිකය : ඉතාම ශුභදායක තත්වයක පවතී.
එසේම සියලු තත්වයන් කෙරෙහි ඔබගේ වාසනාව එල්ල වේ. නව ආදායම් මාර්ග ලැබෙන අතර, පවතින ආදායම් මාර්ග දියුණු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. රැකියා කටයුතු ගැටළුවකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබේ. එසේම විදේශ රැකියා වල නියුතු අයටත් හොදයි. ධන ධාන්‍ය තත්වය ගැන, ජූලි මසින් පසු ප්‍රවේසම් වීම ඔබගේ වාසියට හේතු වෙනවා ඇත.

ගෘහ ජිවිතය : ඔබට සතුට සමාදානය ඇතිවේ.
ගැටළු මතුවන්නේ නැත. නමුත් ජුලි මසින් පසු, සමහර දේවල් වලට යම් යම් බාධක කරදර එල්ල වීමට පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න. ප්‍රේම සබදතා වලට සහ මංගල යෝග වලට පවතින ග්‍රහචාරයේ කිසිම අසුබ බලපෑමක් නැති බව සලකන්න.
අධ්‍යාපනික කටයුතු, වෙනදා වගේම කරගෙන යාමට පුලුවන්. ප්‍රබල බාධක නොමැත.

සෞඛ්‍ය : ප්‍රබල ගැටළු නොමැත.
ජුලි මසින් පසු තමාගේ පුද්ගලික සෞඛ්‍ය මෙන්ම ලෙඩ රෝග ගැනද වැඩි අවධානයෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම මිථුන ලග්නයේ තරබාරු අය තමාගේ ශරීර ස්වභාවය ගැන යම්කිසි අවධානයකින් සිටීම මැනවි.
සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණය - කොළ
සුභ දිශාව - උතුර

●  කටක

ආර්ථිකය : ඉතාම ශුභයි.
මෙතෙක් පොදුවේ ගත්කල පැවති ශුභමය තත්වයන්, ඉදිරියටද පවතී. නව ආදායම් මාර්ග එසේම ආර්ථික තත්වයේ ශුභමය තත්වයන් ඔබට වෙනදා මෙන්ම පවතී. ජුලි මසින් පසු ආර්ථික තත්වයේ කැපී පෙනෙන වෙනසක් මෙන්ම අලුත් ආදායම් මාර්ග හිමිවේ. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට ඉතාම ශුභයි.
රැකියා කරන අයට තත්වයෙන් උසස්වීම්, නිලතල ලැබීම්, ඊට සමාන්තරව වැටුප් වර්ධක හිමිවීම පෙන්වයි.

ගෘහ ජිවිතය : ඉතාම ප්‍රීතියෙන් ගත වේ.
ඔබගේ පවුලට අලුත් වාසස්ථාන හෝ භූමි ලාභ හිමි කරගැනීමට මෙම කාලය තුලදී හැකියාව ලැබේ. ප්‍රේම සබදතා සම්බන්ධව පැවති ගැටළු නිරාකරණය වන අතර, අවිවාහක අයට මංගල යෝග උදාවීම නියතයි. එසේම තරග විභාග වලින් සමත්වීම ඉගෙන ගන්නා දරුවන්ගේ කැපී පෙනෙන දියුණුව වසර පුරාම පවතී.

සෞඛ්‍ය : ඉතාම යහපත් වේ.
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න. වෙනත් ගැටළුවක් නොමැත.

සුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුභ වර්ණ - කහ, රතු
සුභ දිශාව - නැගෙනහිර

●  සිංහ

ආර්ථිකය : ඉතාම ශුභ ආකාරයට පවතී.
එසේම 2015 වසරේ ජුලි මසින් පසුව කරන කියන කටයුතු පෙරට වඩා දියුණු වේ. ව්‍යාපාරිකයන්ට සුභයි. විදෙස් රැකියා කරන අයටද සුභයි. තමන්ගේ උත්සහයේ උනන්දුවේ හැටියට ප්‍රතිඵල ලැබෙනු ඇත. අප්‍රේල්, මැයි මාස තුල ධන හානි ඇතිවිමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න. රැකියා කරන අයටද ඉතාම හොදයි.

ගෘහ ජිවිතය : පැවති බාධක ක්‍රමානුකූලව අඩුවේ.
භූමි ලාභ, එසේම දේපල සම්බන්ධව තිබුනු යම් යම් ප්‍රශ්න නිරාකරණය වෙයි. එසේම පිට පලාත් වල ඇවිදින්නට සංචාරයේ යෙදෙන්නට කාලය ලැබෙයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, අවිවාහක අයට මංගල යෝජනාද උදාවේ. සමහරවිට නිවසේ සිටින වැඩිමහල් කෙනෙකුට කරදර අනතුරු වීමට ඉඩ තිබේ.
අධ්‍යාපනික තත්වය වෙනසක් නොමැතිව පවතී. සෙනසුරු මහ දසාව සහ රාහු මහ දසාව ගත කරන අයගේ ඉගෙනීමෙට ප්‍රබල බාධාවක් මතුවීමට ඉඩ ඇත. ඒ ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි.

සෞඛ්‍ය : අයහපත් නැත.
උෂ්ණාධික රෝග සහ බෝවන අසනීප වැළදීමට ඉඩ ඇත. එසේම අප්‍රේල්, මැයි කාලය තුල උළුක්කුවීම් සහ අස්ථි අමාරු මතුවිමට පුලුවන්.

සුභ දිනය - අගහරුවාදා
සුභ වර්ණ - රතු
සුභ දිශාව - උතුර


●  කන්‍යා

ආර්ථිකය : යම් ගැටළු ඇතිවනු ඇත.
විශේසයෙන්ම මෙම වසරේදි මාස 6ක් ඇතුලත, දැනට තිබෙන ආර්ථිකය යහපත් වුවද ඉතිරි මාස 6දි එම ආර්ථික තත්වය පිරිහිමට පුලුවන්. ව්‍යාපාරික ඔබගේ ආර්ථිකය පිරිහිමට මෙන්ම, විශාල වශයෙන් ණය වීමට පුලුවන්. එසේම ව්‍යාපාරය කඩා වැටෙන තත්වයක් පෙන්වාවි. එම තත්වය ගැන සැලකිලිමත් වන්න. රාහු මහ දසා ගත කරන අය හිතුමතයට කටයුතු කිරීම ඉතාම අයහපත්. ජෝතිෂ්‍යය උපදෙස් පතන්න.
විදෙස් රැකියා කරන අයට ප්‍රීතීමත්ව කාලය ගත කල හැක. රැකියා කරන අයගේ දියුණුව සාමාන්‍ය පරිදි වේ. සමහරවිට ජුලි මසින් පසු එහි යම් යම් ගැටළුකාරි තත්ව මතුවිමට ඉඩ තිබේ.

ගෘහ ජිවිතය : ගැටළු තත්ව මතුවිමට ඉඩ ඇත.
ඔබගේ අධික කලබලකාරිත්වය නිසා ඔබට කිසියම් ආකාරයක ගැටළු තත්ව මතුවිමට පුලුවන්. ප්‍රේම සම්බන්ධතා බිදී යාමට ඇති ඉඩකඩ වැඩී. විවාහක ඔබ සහකරු/සහකාරිය කෙරේ පවතින විශ්වාසය ගැන සැලකිලිමත් වීම හොදයි. එසේ නොවුනොත් දෙදෙනා අතර, ආරවුල් මතුවීමට පුලුවන්.
අධ්‍යාපනික කටයුතු වලට බාධක එල්ල වන්නේ, විශේෂයෙන්ම රාහු මහ දසාව ගත කරන අයටයි.
තරග විභාග වලින් අසමත් වීමට ඉඩ ඇත, ඒ අධික කලබලය හින්දාය.

සෞඛ්‍ය : මානසික තත්වය සම්බන්ධව ගැටළු පවති.
අධික කෝපය, ඔබට අධික කෝපය නිසා යම් ගැටළු මතුවිමට පුලුවන්.

සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණ - ලා නිල් පාට, ලා කොළ පාට
සුභ දිශාව - නැගෙනහිර


● තුලා
ආර්ථිකය : ආර්ථිකය යහපත්ය.
ව්‍යාපාරික කටයුතු කරන අයට යම්කිසි එහි පිබිදීමක් පෙන්නුම් කරයි. අවහිරව තිබූ ආදායම් මාර්ග සම්බන්ධව සුභදායක තත්වයන් මතුවේ. රැකියා කරන අයට උසස්වීම් ලැබේ. එසේම වැටුප් වර්ධක හිමිවේ. එසේම තුලා ලග්නයේ ගෘහණියන්ට තමාගේ ස්වාමියාගෙන්, සහෝදරයෙන්ගෙන් යම් යම් මුදල් උපකාර හිමිවේ.

ගෘහ ජිවිතය : තමන්ගේ තිබුනු බොහෝ ගැටළු තත්වයන් නිරාකරණය වේ.
උරුමහරුමකම් සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය වන අතර, තමාගේ දේපල සම්බන්ධව තිබුනු යම් යම් ප්‍රශ්නද නිමාවට පත්වේ. ප්‍රේම සබදතා යහපත් ආකාරයට පවතින අතර, මේ වසරේ ජුලි මසින් පසුව ඔබට මංගල යෝග උදාවේ. බොහෝම හොදයි.
අධ්‍යාපනික තත්වයන් සම්බන්ධව ශුභදායකව කල්පනා කිරීමට පුලුවන්. තරග විභාග ආදියෙන් සමත්වීම සිදුවේ.

සෞඛ්‍ය : ඉතාම යහපත්.
තිබුනු රෝග සුව වේ. පාද වල තිබුනු වේදනා ක්‍රමානුකූලව අවසන් වී යයි. ඔබට ශුභදායක කාලයක් උදාවේ.

සුභ දින - සෙනසුරාදා, බදාදා
සුභ වර්ණ - නිල්
සුභ දිශාව - උතුර


 ● වෘශ්චික

ආර්ථිකය : ඉතාම ශුභ බව කිව යුතුයි.
පවතිනවාට වඩා හොද ආර්ථික තත්වයක් නිතැතින්ම උදාවේ. දැනටද ඔබගේ බඹරය කැරකෙන්නේ වැල්ලේය. ඊට වඩා සිය දහස් ගුණයකින් දියුණුවීම පෙන්නුම් කරයි. නව ආදායම් මාර්ග මෙන්ම දෙන දෙයියෝ ටොකු ඇණ ඇණ දෙනවා මෙන් පිට පිට වාසි සැලසේ. හදිසි ධනලාභ, භූමි ලාභ ඔබට ලගාවේ. මා සිතනා ආකාරයට 2015 ඔබට ජයෙන් ජය ලැබෙන වසරකි. ඒ මන්ද 2011, 2012 වසර වල ඔබ තරම් පීඩාවට පත්වූ තව කෙනෙක් නොමැති වූ නිසාය. රැකියා වලටත් ඉතා හොදයි. ජුලි මසින් පසු සමහර අයට විදෙස් රැකියා හිමිවීමට පුලුවන්.

ගෘහ ජිවිතය : ප්‍රීතිය වර්ධනය වේ.
එසේම අඹුසැමි සමගිය, ප්‍රීතිය දෙගුණ තෙගුණ වේ. වසර පුරාම එම බැදීම යහපත් ආකාරයට පවතී. අලුත් ඥාති මිත්‍ර සම්බන්ධකම් ගොඩ නැගේ. අවිවාහක අයට මංගල යෝග මෙන්ම සියලුම ප්‍රීතියෙන් සිටිමට අවශය කරුණු කාරණා යෙදේ. ශනි මහ දසා ගත කරන අයට පමණක් තරමක දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවේවි.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ දියුණුව සැලසේ. එසේම තමන්ට තරග විභාගාදියෙන් ඉහලින් සමත්වීමට වාසනාව ලැබේ.

සෞඛ්‍ය : ඉතාම යහපත්ව පවති.
ඉරුවාරදය, හිසේ කැක්කුම සම්බන්ධ ගැටළු ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න. වෙන ගැටළු නැත.

සුභ දින - බ්‍රහස්පතින්දා, සදුදා
සුභ වර්ණ - කහ, ඇත් දළ පාට
සුභ දිශාව - උතුර


 ● ධනු

ආර්ථිකය : මධ්‍යස්ථ ආර්ථික තත්වයක් පවතී.
යම් යම් ගැටළුකාරි තත්ව පැවතුනද ඔබගේ දැඩි කල්පනාව සහ අවධානයෙන් බොහෝ දේවල් යටපත් කල හැක. ඔබ තුල නිවරදි කළමනාකරණයක් ඇත්නම් පවතින බොහෝ ආර්ථික ගැටළු වලට විසදුම ඔබ ලගම පවතී. මෙම වසර තුල එසේ නොමැති වුවහොත් ඔබට ධන හානි, පාඩු, අලාභ සිද්ධ වීමට ඉඩකඩ වැඩිය. ඔබගේ කේන්දරයට අනුව සෙනසුරු හෝ රාහු මහ දසා ගතවේ නම් විමසිලිමත් විය යුතුයි. රැකියා වල සුරක්ෂිත භාවය ගැන උනන්දු වන්න.

ගෘහ ජිවිතය : ඔබගේ භූමිකාව වඩා ඉවසිලිමත්ව තිබීම ශුභයැයි සිතමි.
අඹුසැමි ගැටළු, ප්‍රශ්න මතුවිය හැක. දෙදෙනා අතර ලිංගික සබදතා පවා අවම විය හැක. එසේම දුවාදරුවන්ගේ ප්‍රශ්න වලට මැදිහත්වීමට ඉඩ තිබේ. මෙම සියලුම කටයුතු සම්බන්ධව ඉතාම බුද්ධිමත්ව මනස යොමුකිරීම යහපත්ය. දුවාදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට බාධක ඇත. මතක ශක්තිය හීනවීමට පුලුවන්. එසේම ගෙදර රැදීම ඉතාම අඩුවිය හැක.

සෞඛ්‍ය : ගැටළු ඇත.
රෝග පීඩා, එසේම සෙම් අමාරු, දෙපා යටිපතුල් ආශ්‍රිත රෝග ඇතිවිමට පුලුවන්. පරිස්සම් වන්න.

සුභ දිනය - බ්‍රහස්පතින්දා, බදාදා
සුභ වර්ණය - කහ , ඇත්දළ පාට
සුභ දිශාව - උතුර


 ● මකර

ආර්ථිකය : ආර්ථික තත්වය හොදයි.
හවුල් ව්‍යාපාර කරන අයට මනාව ලාබ ලැබේ. එසේම නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අවුරුද්දේ මුලදී ලැබේ. උත්සහයේ උනන්දුවේ හැටියට ප්‍රතිඵල ලැබේ. තවද වාසි සහගත ගිවිසුම් වලට එළඹීමට පුලුවන්. රැකියා කරන අයට හොදයි, වැටුප් වර්ධක හිමිවේ. උසස් වීම් හිමිවේ. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල අයට විදේශ ආනයන, අපනයන තත්ව හිමිවේ.

ගෘහ ජිවිතය : ප්‍රීතිමත්ව ගත වේ.
අවිවාහක අයට මංගල යෝග උදාවේ. එසේම ප්‍රේම සබදතා සම්බන්ධයෙන් තිබුනු ගැටළු වලට වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය ලැබේ. පිට පලාත් වල සංචාරය සිදුවේ. විදෙස් ගතවීමටද පුලුවන්. සමහරවිට ජුලි මසින් පසු වැඩිහිටියන්ගේ උරුමහරුමකම් සහ මලගිය ඇත්තන්ගේ උරුමහරුමකම් තමාට ලැබේ.
අධ්‍යාපනික කටයුතු වලට ඉතාම හොදයි. තරග විභාග සමත්වීම, ධාරණ ශක්තිය වැඩිවිම ඇතිවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියුතු අයටත්, උසස් අධ්‍යාපනයේ නියුතු අයටත් හොදයි.

සෞඛ්‍ය : ඉතාම යහපත් වන අතර සැලකිලිමත්ව සිටින්න.
සෞඛ්‍ය තත්වය යහපත්ය. ජුලි මසින් පසුව උළුක්කු වීම්, පාද වල වේදනා අනතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණය - කොළ පාට
සුභ දිශාව - උතුර


 ● කුම්භ

ආර්ථිකය : දැනට පවතිනවාට වඩා වසර මැදෙන් පසු ශුභ වනවා ඇත.
එසේම ඔබගේ හවුල්කාර පාර්ශව සමග ඉතාම අවබෝධයෙන් කටයුතු කිරීමට ලැබෙනවා. ආදායමට තිබුනු බාධක සම්බන්ධයෙන් ගැටළු නිරාකරණය වනු ඇත. එසේම ඔබට වසර මැදදී නව ආදායම් මාර්ග වලට අවතීරණ වෙනවා. රැකියා කරන අයටද තිබුනු බාධක දුරුවන්නේ වසර මැදින් පසුවය. එතෙක් එතරම් හොදකුත් නෑ, නරකකුත් නැහැ.

ගෘහ ජිවිතය : ඔබ සාමාන්‍ය පරිදි හැසිරෙනවා.
සමහරවිට වසරේ මධ්‍ය කාලය තෙක්ම ඔබට නිවසේ වැඩිපුර රැදී සිටීමට නොහැකියි. ඊට ප්‍රධානම හේතුව ග්‍රහයන්ගේ පවතින තත්වයන්ය. නමුත් ජුලි වලින් පසු ඔබට මංගල යෝග උදා වනව. නව ඥාති සබදකම්, එසේම නව තත්වයන් හිමි වෙනව. ඔබට හොදයි.
අධ්‍යාපනික කටයුතු වල නියුතු අයට තිබුනු බාධා ක්‍රමානුකූලව ඉවත් වෙනවා. මතක ශක්තිය වර්ධනය කරගැනීමට අවශ්‍ය කටයුතු කරගන්න. අතපසුවීම් ඇති කරගන්න එපා.

සෞඛ්‍ය : දැනට පවතින තත්වයට වඩා ජුලි වලින් පසු හොද වනු ඇත.
ආමාශගත රෝග, ආහාර ජීර්ණගත රෝග සම්බන්ධයෙන් ඔබගේ සැලකිල්ල යොමුවිය යුුතුය.

සුභ දිනය - සිකුරාදා
සුභ වර්ණය - කොළ
සුභ දිශාව - උතුර


 ● මීන

ආර්ථිකය : ඉතාම යහපත් භාවයක් පවතිනවා.
2015 වසර තුල නව ආදායම් මාර්ග හිමි වෙනවා. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල නියුතු අයට, එසේම ජලය සම්බන්ධව ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම හොද තත්වයක් ඒ තුලින් උදා වෙනවා. රැකියා කරන අයට සහ විදෙස් රැකියා කරන අයට ඉතාම කලබලකාරිව ජිවිතය ගත උනත් යම්කිසි දියුණුවක් හිමි වෙනවා. ආර්ථික තත්වයට ශුභදායකයි.  ජුලි මසින් පසුව සතුරු කරදර නිසා ඔබගේ ආදායම් මාර්ග කිසියම් ආකාරයකට අවහිර වීමක් සිදුවන්නට පුලුවන්. ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න.

ගෘහ ජිවිතය : හොදයි.
වසරේ මැද කොටස වෙන තෙක්ම පවුලේ දියුණුව සහ දරුවන්ගේ දියුණුව ඇතිවෙනවා. තවද විදේශ ගත වෙලා සිටින අයට මව් රටට ඒමට පුලුවන්. දුවාදරුවන්ගේ කටයුතු සම්බන්ධව සිතට ප්‍රීතිය ඇතිවේ. තරග විභාග ආදියට ඉදිරිපත් වී සිටින දරුවන්ට යම් හොද බලාපොරොත්තු ඇති කරගන්නට පුලුවන්.
දියුණුව සම්බන්ධව පවතින තත්වයන් ඉතාම හොදයි. ප්‍රේම සබදතා යහපත් වෙනව. ඒවාට වැඩිහිටියන්ගේ ආශිර්වාදය වසර පුරාම ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ඉතාම ශුභ කාලයකි.

සෞඛ්‍ය : ලොකු අවදානමක් නැහැ.
හිස සම්බන්ධ රෝග එසේම, සෙම් අමාරු ඇතිවිය හැක. මීන ලග්නයේ ගැබිණි මව්වරුන් සැලකිලිමත් විය යුතුයි, උදරාබාධ සම්බන්ධව. වෙනත් ප්‍රබල ගැටළු නැහැ.

සුභ දිනය : බ්‍රහස්පතින්දා, අගහරුවාද
සුභ වර්ණය : කහ, ඇත් දළ පාට
සුභ දිශාව : නැගෙනහිර

*** මෙම ලග්න පලාපලය සැකසුවේ පවතින තත්කාල ග්‍රහචාරයත් 2015 වසරට ග්‍රහයන් හැසිරෙන ආකාරයටත් අනුව පොදු මතයක සිටය.
මෙම තත්වයන් තමාගේ උප්පත්ති ග්‍රහ බලය සමග යම්කිසි වෙනසකට භාජනය වීමට පුලුවන්.
පොදුවේ දැක්වූ පලාපලයක් නිසා තමාගේ කේන්දරයත් සමගම පලාපල බලාගැනීම ශුභ වන අතර, මෙම කාරණාව පල කලේ සමහර අය තොරතෝංචියක් නොමැතිව ඔවුන්ගේ කාලයද අපගේ කාලයද විනාශ කරමින් අපව එක එක ප්‍රශ්න අසා අපගේ කාලය නාස්ති කරන බැවිනි.
එනිසා බුද්ධිමත්ව කල්පනා කර මේ පලාපලය තම උප්පත්ති කේන්දරේ පලාපලය සමග බලා තීන්දු තීරණ ගන්න.

තෙරුවන් සරණයි !







2015 සුභ නව වසරක් වේවා !